lakbima.lk

මට තියෙන්නේ කවුරුත් විශ්වාස නොකරන ලෙඩක්

මා ගැන කවුරුවත් නොදන්නා රහසක් තමයි මම අද “රිද්මට” කියන්න හදන්නේ. මේ කතාව අහලා සමහරු නම් හොඳටම හිනාවෙයි. ඒත් මම නම් මේ “රහස” හින්දා අපහසුතාවට පත්වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මට තියෙන අසාමාන්‍ය අමතක වීමේ රෝගය” ගැන තමයි මම අද කියන්න යන්නේ. “අමතක වෙනවා” කියන්නේ අපි කොයි කාටත් සිදුවන සාමාන්‍ය දෙයක්. ඒත් මට තියෙන්නේ ඉන් එහාට ගිය භයානක අමතක වීමක්. කොටින්ම කියනවා නම් බැරිම තැන මේ ලෙඩේ ගැන උපදෙස් ගන්න මම වෛද්‍යවරයකු පවා හමුවුණා. ඔහු කිව්වේ මට එවැනි රෝගී තත්ත්වයක් නැහැ කියලයි. රංගන ශිල්පීන් විදියට අපිට මානසික මට්ටම එක තැනක තියාගෙන ඉඳලා සැණෙකින් එයින් මිදෙන්න සිදුවෙනවානේ. ඒ හේතුව මත තමයි මෙහෙම වෙලා තියෙන්නේ. පුංචි කාලෙදීවත් මට මෙහෙම අමතක වීමේ රෝගයක් තිබුණේ නැහැ. 2008 දී රඟපෑමට ආවට පස්සේ තමයි මේ හැමදෙයක්ම සිදුවුණේ.

මට එක්වරම ඒ මොහොතේ වූ දෙයක් පවා අමතක වෙලා යනවා. මේ හින්දා මම බොහෝ අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා.

ඔන්න එක දවසක් මම මගේ Phone එක නැතිවෙලා හොයනවා. කාමරේ ඇඳන් මේස අල්මාරි හැම එකකම හොයලා බලලා බැලුවත් Phone එක හම්බවුණේ නැහැ. අන්තිමට මම හොඳටෝම හෙම්බත් වෙලා වතුර එකක් බොන්න හිතාගෙන ෆි්‍රජ් එක ඇරියා. මෙන්න ෆ්‍රිජ් එක ඇතුළේ Phone එක තියෙනවා.

තවත් දවසක ඊටත් වඩා අපූරු වැඩක් සිදුවුණා. එදා මම කාමරේ අස්කරමින් ඉන්න අතරේ අයියාගෙන් call එකක් ආවා. අයියත් එක්ක දුරකථන සංවාදයේ යෙදෙන අතර මම ඒ මේ අත යමින් මගේ වැඩකටයුතුත් කරන්න ගත්තා. ඔය වෙලාවේ මට Phone එක මතක් වෙලා  වටපිට බැලුවා. Phone එක නැහැ. අයියත් එක්ක දුරකථන සංවාදයේ යෙදෙමින් මම දැන් Phone එක හොයනවා. Phone එක නැහැ.

“අයියේ චුට්ටක් ඉන්න. මගේ Phone එක නැහැ”

මම එහෙම කිව්වේ ඇමැතුම විසන්දි කරලා Phone එක හොයන්න හිතාගෙනයි.

“ඇයි මිනිහෝ මාත් එක්ක මේ කතා කරකර ඉන්නේ Phone එකෙන් නේද?” අයියා එහෙම කිව්වම මට ‍පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් ඇති වුණා.

තවත් දවසක මම උදේ පාන්දර ෂූටිං යන්න සූදානම් වුණා. ගේ ඉස්සරහ පාරේ වාහනයක් හෝන් ගහනවා. මම දුවලා ගිහින් වාහනයට නැග්ගා. වෑන් එක පුරාම සුදු ඇඳගත්තු ළමයි. රියැදුරු පුදුම වෙලා මා දිහා බලාගෙන ඉන්නවා. ඔය වෙලාවේ එහා ගෙදර අක්කා උදේ පාසල් යන්න සූදානම් කරපු පුතාවත් අරගෙන වෑන් රථයට ආවා. එතකොට තමයි මට වෙලා තියෙන දේ ගැන දැන ගත්තේ. මම රියැදුරාට “සොරි” කියලා ස්කූල් වෑන් එකෙන් බැහැලා ආයෙමත් දුවලා ගියා.

තවත් දවසක මම උදේ ෂූටිං යන්න ලෑස්ති වුණා. එදා මම ෂූටින් යන්න ලෑස්ති වුණේ මගේ වාහනේ. ඔන්න මම දැන් ගෙදර දොර ජනේල වහලා වාහනයට නැගලා පිටත්වෙන්න හදනවා. ඒත් වාහනේ ‘ස්ටාට් කරගන්න බැහැ. දෙතුන් වතාවක් උත්සාහ කරද්දී මට මගේ “අමතක වීම” මතක් වෙලා අතේ තියෙන යතුර දිහා බැලුවා. මම මෙච්චර වෙලා වාහනේ ස්ටාට් කරන්න හදලා තියෙන්නේ ගෙදර යතුරින් බව දැනගත්තේ ඒ වෙලාවේ.

මේ අත්දැකීමට නම් මම කීප වතාවක්ම මුහුණ දීලා තියෙනවා. දත් බෙහෙත් එකයි බුරුසුවයි ෂැම්පු එකයි අරගෙන මම බාත් රූම් යනවා. දත් මදින කොට රසයේ ලොකු වෙනසක් දැනෙනවා. බලනකොට දත් බෙහෙත් එක පැත්තක. මම බුරුසුවට දාලා තියෙන්නේ ෂැම්පු.

අමතක වීම හින්දා මම අපහසුතාවට පත්වූ සිදුවීම් කියන්න ගියොත් නම් “රිද්ම” පත්තරේ පිටු දෙකක ලිපියකින්වත් අවසන් කරන්න බැරිවෙයි. ඒ තරමට ඒ වගේ සිදුවීම් තියෙනවා. සමහර සිදුවීම් පත්තරේකට කියන්නත් බැරි ඒවා (සිනා)

කොටින්ම කියනවානම් මගේ මේ අමතක වීම හින්දා මට හිටපු එක් පෙම්වතියක් පවා මාව අමතක කරලා දාලා ගිය අවස්ථාවක් මගේ ජීවිතේ තියෙනවා.

ආරියවංශ කුලතිලක

ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.