lakbima.lk

අපේ රට කලාකරුවන්ට සලකන රටක් නෙමෙයි

මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ. කියන වදන මම මට මහලු  වයසේ හැකිය ගී ලීවීමටත් පෙර සේ කියලා වෙනස් කළා. එසේ කියන්නේ හේම ශ්‍රී ද අල්විස් මහතාය.
ගුවන් විදුලියට සම්බන්ධව අවුරුදු 32ක් පුරා විවිධ තනතුරු දරමින්, හා අතිශය අරුත්බර ගීත දහස් ගණනක ගේය පද රචකයකු වූ හේම ශ්‍රී ද අල්විස් ගැන අපි අද ඔබට කියන්නේ තරමක වෙනස් කතාවකි.
දෑස පා සිනා කියන රහස තේරුණා, දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා, වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා, මයුරාසන මත වැඩ සිටිනා කඳ සුරිඳුනි ඔද තෙද රදනා, මැණිකේ ඔබේ සිනාවේ දිය වැල් ගළා ගියාවේ, ශ්‍රීනි විභූෂිත ලංකා බැබළේ සිංහ ධජය සෙවනේ, දේශයෙන් දේශේ බලා ඉගිලිලා යන්න එපා, සීත වන විල් පෙතේ පිපුණු පියුමක් වගේ, ඇයි බඹරෝ, පෙම් මල අතහැරලා, සඳක් නැගේ, සඳක් දි‍ලේ සාගරේ, සතුට සැනසුම් සුවය බලා  සීත සුළඟ තුරුල් වෙලා, නෙත් යුග රන්තරු යුවල සමයිි ඔබ සොයනා කළු කෙල්ල මමයි...... ආදී වශයෙන් ඔහු අතින් ලියැවුණු ගීත දහස් ගණනකි.
මෙම නිර්මාණ ශිල්පියා ගැන පසුගිය කාලයේදී මාධ්‍ය තුළ කිසියම් කතාබහක් වී නම් ඔහු සිය දයාබර බිරිඳ ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මියව සිය දෑස මෙන් රැක බලා ගත් සොඳුරු මිනිසෙකු ආදරණීය සැමියෙකු ලෙසය. තමන් පද රචනය කර තිබූ දෑස පා සිනා කියන රහස තේරුණා පෙම් ලොවක් දෙපා  මු‍ලේ මවා තබා ඇය මිහිරට ගැයුවාය.
ඇයගේ දෑස් පියන්පත් පියවෙන තුරුම රෝගී ඇයට සියතින් කවමින් ‍පොවමින් බෙහෙත් හේත් දෙමින්        රැක බලා ගත් ඔහු අද සිටින්නේ ජීවිතයේ අග්ගිස්සේය.
ජීවත් වෙන්න කියලා ස්ථිර ආදායම් මාර්ගයක් මට නැහැ. පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා පිටරටක ඉන්නේ. ‍පොඩි පුතා දසුන් තමයි මාව බලා ගන්නේ. මගේ සියලු කටයුතු කරන්නේ පුතා. එයා තමයි මගේ ලොකුම ශක්තිය. පුතාට ඉතාම ලස්සනට ගීත ගායනා කරන්නත් පුළුවන්. පෞද්ගලික අංශයේ රස්සාවක් කරන ගමන් බෑන්ඩ් එකකත් ප්‍ලේ කරනවා. පුතා සංගීතයම තෝරගන්නේ නැතුව තවත් මොකක් හෝ රස්සාවක් කරන එක ගැන මම සතුටු වෙනවා. අපේ රට කලාකාරයන්ට සලකන රටක් නමෛයි. හොද්ද රස කරන කරපිංචා වගේ. පස්සේ වීසි කරලා දානවා. පැණි පිරුණු උක් දණ්ඩක් වගේ, පැණි ටික උරලා හපලා කාලා හප කරලා රොඩ්ඩක් වගේ විසි කරලා දානවා. ඔහු අතිශය ඛිෙදාන්තයක් ඉතා සරලව පවසන්නේ හඬා වැටෙන හදවත රහසේ සඟවා ගෙනය.
ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි ගාණක් දීලා තිබුණා අසරණ කලාකරුවන්ට රු.5000බැගින් මාසිකව දෙන්න කියලා අපි වෙනුවෙන්ම පෙනී ඉන්නා එක්තරා සංගමයකට පුතාගෙයි නෝනගෙයි ජොයින්ට් එකවුන්ට් එකකට ඒ මුදල මාස 2-3 ක් විතර ලැබුණා. ඒත් නෝනා නැති වුණා විතරයි ඒකත් නතර කරලා තිබුණා. අපිත් මැරෙන කම් ද ඉන්නේ....... එහෙම නැත්නම් සදාකාලිකව අසනීප වෙනකම්ද ඉන්නේ සලකන්න කියලා තමයි වගකිව යුත්තන්ගෙන් මට අහන්න තියෙන්නේ ඔහු එසේ විමසයි.
මගේ අම්මා කොයි තරම් මිහිරි හඬක් තිබුණු සංගීත ක්ෂේත්‍රයට කොයි තරම් වැඩ කරපු කෙනෙක්ද කියලා මම අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. මගේ තාත්තත් එහෙමයි. සින්දු දහස් ගාණක් ලිව්වා. ඒ සින්දු හැම ගායක ගායිකාවක්ම ගායනා කළා. ඒ සින්දු රස විඳපු නැති කෙනෙක් නැති තරම්. මම කියන්නේ නෑ කලාකාරයෝ ගැන රටක් බලා ගන්න ඕනේ කියලා. ඒත් මේ වගේ කලාකාරයන්ට ආත්මාඅභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදා දෙන්න වගකිව යුත්තන් මැදිහත් වෙන්න ඕනේ. දැන් සින්දුවක් ලියන්න කියන්න ‍ලේසියි. ඒත් මගේ අම්මා, තාත්තා නිර්මාණ කරන කා‍ලේදී ඒක ඉතාම
දුෂ්කරයි.
ඇත්තම කිව්වොත් මම මේ ක්ෂේත්‍රය ගැන විශාල කළකිරීමකින් ඉන්න කෙනෙක්. ඒත් කරන්න දෙයක් නැහැ. මගේම අම්මාගේ ගීත සමහර ගායිකාවන් අම්මා ජීවත් වුණු කාලෙදීම තුට්ටු දෙකක් අම්මා අතේ මිට මොලවලා ස්ටේජ්වල කියන්න ගත්තා. මමත් ඒ සින්දුවලටම සංගීතය දුන්නා. ගායකයෙක් යැයි කියා ගන්නා කෙනෙක් දැන් සීත වන විල් පෙතේ පිපුණු පියුමක් වගේ කියන අම්මා ගැයු ගීතය ගායනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ සින්දුව ඔහු කියලා යූ. ටියුබ් දාලත් තියෙනවා. අර තරම් ලස්සන මිහිරි ගීතයක් ඔහු විකෘති කරලා ගායනා කරනවා. මේවා අන්තිම පහත් කැත වැඩ.
මගේ තාත්තාට තාමත් ලස්සනට සින්දු ලියන්න පුළුවන් රුපියල් 500-1000ක් දීලා සමහරු තාත්තාගෙන් සින්දු ලියවාගෙන යනවා. මේවා කියන්නත් හරිම ලැජ්ජයි. තාත්තයි අම්මයි මේ ක්ෂේත්‍රයට කොයි තරම් සේවයක් කළත් අදත් මම තාත්තා ජීවත් කරවන්නේ මගේ වැටුපෙන්.
අම්මාගේ මරණයේදිත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කර ඇරියා. ගායන ශිල්පි ජානක වික්‍රමසිංහ පෞද්ගලිකවම මැදිහත් වෙලා ජනාධිපති අරමුදලින් රුපියල් 55,000ක් අවමඟු‍ලේ කටයුතු කරන්න අරන් දුන්නා.
මගේ දරුවන්ටත් ගීත ගායනා කරන්න හැකියාව තියෙනවා. ඒත් දරුවෝ වුණත් මේ ක්ෂේත්‍රය තෝර ගන්නවට මම කැමැති නැහැ. මේ රට කලාකාරයන්ට සුදුසු, ඔවුන් අගයන, ඔවුන් රකින රටක් නමෛයි හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයාගේ පුතු දසුන් අල්විස් අප සමග එසේ පැවැසීය.
මගේ ලොකුම ආසාව තමයි මගේ නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පවත්වන්න. මේකට දසුන් පුතාටත් ලොකු ඕනෑකමක් තිබුණා. ඔහු සමරු කලාපය පවා නිර්මාණය කර තිබුණා. නමුත් මේවා කරන්න සල්ලි බාගේ නැති නිසා අත්හැරලා දාන්න වුණා. හොඳ සංවිධායකයෙක් ඉන්නවා නම් ඒක කරන්න පුළුවන්. මගේ අන්තිම සතුට ඒක විතරයි. හේම ශ්‍රී ද අල්විස් මහතා බලා‍පොරොත්තු දැල් වුණු වියපත් දෑස් ඈතට විහිදුවමින් අප සමග කීවේ එබඳු කතාවකි.

පද්මිණි මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.