lakbima.lk

කලාකරුවන්ගේ උපන් දින කටපාඩමින් කියන කලාකාමී අපූරු රසවතා

සමන් රංජිත් කියන නම පාඨක ඔබට නුහුරු නුපුරුදු එකක් වුවත්, කලා ක්ෂේත්‍රයේ අයට නම් ඔහු ආගන්තුක චරිතයක් ‍නෙවෙයි. 'රිද්ම'ටත් බොහෝසෙයින් ලෙන්ගතු අයකු වන සමන් ගැන තොරතුරු බිඳක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළේ ඔහු සැබැවින්ම සුවිශේෂී චරිතයක් බව අපට හැඟී ගිය නිසයි.
කලා ක්ෂේත්‍රයේ උදවියට තමන්ගේ උපන් දිනය යෙදී තිබෙන දාට නොවරදවාම සමන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුම ඔහුගෙන් ලැබෙන  උපන්දින සුබපැතුමක්.
කලාකරුවන් සහ කලාකාරිනියන්ගේ උපන් දිනවලදී ඔවුන්ට සුබපැතීම වසර ගණනාවක ඉඳන් මම කරන දෙයක්. මේ නිසා බොහෝ කලාකරුවන් සමග අද වෙද්දී මගේ බොහොම සමීප සම්බන්ධතාවක් ගොඩ නැගිලා තියෙනවා සමන් එසේ පවසනවා.
කලාකරුවකු හෝ කලාකාරිනියකගේ නමක් කියූ සැණින් ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය කවදාද යන්න කීමට ඇති හැකියාව සමන් සතුව තිබෙන සුවිශේෂී දක්ෂතාවක්. පුවත්පත්වල පළවෙන කලා අතිරේක නොවරදවාම කියවන පාඨකයකු වන සමන් සතුව කලාකරුවන් සහ කලාකාරිණියන්ගේ ලිපි සහ ඡායාරූප විශාල එකතුවක් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ආධුනික සහ ප්‍රවීණ කලාකරුවන් බොහොමයක් දෙනා පෞද්ගලිකව සමන් වෙත එවූ ලිපි රාශියක්ද ඔහු සතුව තිබෙනවා.
2002 වසරේ ඉඳන් තමයි මම සති අන්ත පුවත්පත්වල කලා අතිරේක සහ කලා පුවත්පත් එක්කාසු කරන්නේ. මම කලාව සම්බන්ධ තොරතුරු එකතු කරන්න පටන් ගත්තේ මගේ අම්මාගේ වියෝවෙන් පසුවයි. අම්මාත් කලාවට හරිම ආදරෙයි. මේ වන විට නැසීගිය කලාකරුවන් පිළිබඳ ලිපි සහ ඡායාරූප විශාල සංඛ්‍යාවක් මා සතුව තිබෙනවා. රූපවාහිනියෙන් විකාශය වන සෑම කලා වැඩසටහනක්ම මම නරඹනවා. ඒ වැඩසටහන් නිම වුණාට පස්සේ ඒවාට සහභාගි වූ කලාකරුවන්ට සහ කලාකාරිනියන්ට කතා කරලා ගුණදොස් කියනවා. මේ නිසා නළු නිළියන්, නිවේදක නිවේදිකාවන් ඇතුළු කලා ලෝකයේ බොහෝ දෙනා මා සමග බොහොම හිතවත්. සති අන්ත පුවත්පත්වල කලා අතිරේක කාලයක් තිස්සේ එක්කාසු කළ සහ ඒවායේ පළවූ ලිපි රස විඳපු පාඨකයෙක් විදිහට මම දකින දෙයක් තමයි එම අතිරේක අතර අදටත් ඉදිරියෙන්ම සිටින්නේ ඉරිදා ලක්බිම පුවත්පතේ 'රිද්ම' අතිරේකය බව. කලා ලෝකයේ නැවුම් තොරතුරු ගැන නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවන සමන් එසේ පවසනවා.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.