lakbima.lk

මම රට යනවා

ඉල්ලන් යං අපි ගේම,

මතකේ තාම,

කකියයි බෝම,

හැප්පෙමු පෙර සේම...

මේ දවස්වල බොහෝ තරුණ තරුණියන් මුමුණන ඒ පදවැල් ඇතුළත් ගීතය රස විඳින්නට ලැබෙන්නේ මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන “වෙස්” ටෙලි නාට්‍යයෙන්්. “වෙස්” තේමා ගීතයට ලැබි තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය පිටුපස ඇත්තේ එහි ගායකයාගේ හඬෙහි ඇති සුවිශේෂත්වයයි කීවත් වැරදි නැහැ. එම තේමා ගීතය ගායනා කරන්නේ මිහිඳු ආරියරත්න වෙස් තේමා ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන වගේම මිහිඳුගේ සංගීත ෙශෙලිය ගැන දැන ගන්නත් එක්ක ‘රිද්ම’සමග මෙවැනි කතාබහකට ඔහුව එක්කරගත්තා.

“වෙස්” ටෙලි නාට්‍යයේ තේමා ගීතය සඳහා මිහිඳුට අවස්ථාව ලැබුණේ කොහොමද කියලා මුලින්ම ඇහුවොත්?

“වෙස්” ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂ උදාර සමරවීර අයියා තමයි මට මුලින්ම ඒ සඳහා ආරාධනා කළේ. ඔහු මගෙන් ඇහුව්වා “මල්ලි අලුත් වෙනස් ආරක ටෙලි නාට්‍යයක ගීතයක් තියෙනවා, ඔයාට ඒක කියන්න පුළුවන්ද?” කියලා. පස්සේ ඒ සින්දුව ගැන හොයලා බැලුවාම මට ඒකට ලොකු කැමැත්තක් ඇති වුණා. එතකොට ටෙලි නාට්‍යය ගැන නම් මම මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. විශේෂයෙන් මේ ගීතයේ පද රචනය කළේ නිලාර් එන්. කාසිම් කියලා කිව්වම මම පුදුම වුණා. මොකද මේ වගේ ගීතයක් එවැනි කෙනෙක් අතින් ලියැවෙනවා කියන එක අපිට හිතන්න අමාරුයි. මොකද ඔහු කලින් පද රචනා කළ ගීත මීට හාත්පසින්ම වෙනස්. ඉතින් ප්‍රවීණ සහ දක්ෂ පද රචකයෙකුගේ ගීතයක් වීමත් මම මේ ගීතය ගයන්න කැමති වෙන්න ලොකු හේතුවක් වුණා.

නිකුත් කරලා දින කිහිපයක් වුණත්, මේ දවස්වල ප්‍රේක්ෂකයන් වැඩිපුරම නරඹපු තේමා ගීතය විදිහට ‘වෙස්’ තේමා ගීතය ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

සාමාන්‍යයෙන් මම ගායනා කරන ගීතයක් වැඩියෙන්ම බලපු ගීතයක් බවට පත් වෙන්න ඕනෑ. නමුත් සංගීතඥයකුට තමන් ගායනා කරන ගීතයක් වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන එක ලොකු සතුටක්. ඒ සතුට වෙස් තේමා ගීතයත් එක්ක මම මේ දවස්වල භුක්ති විඳිනවා. අපි කතාවට කියනවනේ බොක්කෙන්ම කරන නිර්මාණ කියලා. මට හිතෙන විදිහට අන්න ඒ වගේ නිර්මාණ රසිකයන් වැලඳගන්නවා කියන්නේ හරියට කේක් එකකට අයිසින් දානවා වගේ වැඩක්.

වෙස් තේමා ගීතයෙන් ටෙලි නාට්‍යයේ කතාව ගැනත් හොඳ ඉඟියක් ලබා දෙනවා. මේ ගීතයෙන් කියවෙන දේ ගැන ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

‘වෙස්’ නාට්‍යයෙන් කියවෙන්නේ, තමන්ගේ පෙම්වතිය සහ යාළුවෝ නිසා එක් කාලයකදී පරාජයට පත්වෙන පුද්ගලයෙක්, පස්සේ තමාට සිදුවූ අසාධාරණකම්වලට අභියෝග කරමින් තම උත්සහයෙන් නැගිටලා ජීවිතය ජයගන්නා ආකාරය ගැනයි. එහි පදරචනය නිලාර් එම්. කාසිම් මහතාටත් සංගීත අධ්‍යක්ෂ උදාර සමරවීරටත් මේ ගීතයට ලැබෙන ප්‍රතිචාරවල ගෞරවය හිමිවිය යුතුයි. ඒ වගේම වෙස් ටෙලි නාට්‍යයට මේ ගීතයෙන් උපරිම සාධාරණයක්, ඉටු වුණා කියලා මම විශ්වාස කරනවා. මොකද හුඟක් අය මට පෞද්ගලිකව කතා කරලා කිව්වා “වෙස්’’ තේමා ගීතය අහලා ටෙලි නාට්‍ය බලන්න පුරුදු වුණා කියලා. පෞද්ගලිකව මම ඔය කතාවේ කියවෙන දේවින්ද්‍ර වගේ ද්‍රෝහී කමකට ලක්වුණ කෙනෙක් නමෛයි. ඒත් අපි ජීවිතේ වැටුණු වෙලාවක කොහොම හරි නැගිටිනවා කියන එක හිතට ගන්න “වෙස්” අපි හැමෝටම හොඳ පාඩමක් කියලා දෙනවා. එහි තේමා ගීතයෙන් ඒ පාඩම ඉගෙන ගන්න හොඳ පෙළඹවීමක් ලබා දෙනවා කියලා මට හිතෙනවා. ගීතය ගායනා කරනකොට මටත් මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්න හොඳ නැහැ කියන හැඟීම තමයි දැනුණේ.

මිහිඳු කොහොමද සංගීත ක්‍ෂේත්‍රයට පිවිසුනේ කියන කාරණය ගැන වගේම ඔබේ ඉදිරි කලා කටයුතු ගැන දැනගන්නත් ඔබේ රසිකයෝ බලාගෙන ඉන්නවා.

2010 මම “චකිතය” කියන ගීතය හරහා තමයි සංගීත ක්‍ෂේත්‍රයට පිවිසුනේ. පස්සේ “මිසිස් පෙරේරා”, “යන තැනක” වගේ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ඒ හරහා රසිකයන් මාව ආදරෙන් වැලඳ ගත්තා. පසුගිය ජූලි හතර වෙනිදා මගේ පළවෙනි ඇල්බම් එක නිකුත් කෙරුණා. ඊට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මේ අගෝස්තු 12 යාත්‍රිකයා කියන, මගේ පළවෙනි ඇල්බම් එකෙන් කළ ප්‍රසංගයත් සාර්ථකව නිමවුණා. චිත්‍රාල් සෝමපාල සහ ඉන්ද්‍රචාපා මට ලොකු සහයෝගයක් ඒකට ලබා දුන්නා. ඒ ප්‍රසංගය සැප්තැම්බර් 01 වෙනිදා ගාල්ලෙත් සැප්තැම්බර් 29 නුවරත් පවත්වන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම මගේ සංගීත ජීවිතයට අතදුන් “වායෝ”සංගීත කණ්ඩායමත් මම මතක් කරන්න ඕනේ. ලබන අවුරුද්දේ පිටරට ගිහින් සංගීතය හදාරන්න මගේ විශාල බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ විදේශ සංචාරය නිසා තමයි මම “වායෝ” සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණේ. මේ වනවිට සොලෝ ආට්ස් කෙනෙක් විදිහට අපේ රටේ සංගීතයට හොඳ නිර්මාණ කිහිපයක් එකතු කරන්නත් ආශාවෙන් ඉන්නවා. ඒ වගේම මම තේමා ගීත කලාවට උපරිම සාධාරණයක් ඉටු ක.රන්නත් බලා‍පොරොත්තු වෙනවා. “දේදුණු ආකාසේ” චිත්‍රපට, “මුතුමලී” ටෙලි නාට්‍ය, “විසුවියස් කඳු පාමුල” ටෙලි නාට්‍ය වගේ නිර්මාණවලට මම ගායනා කළ තේමා ගීතවලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම “වෙස්” ටෙලි නාට්‍ය තමයි මගේ තේමා ගීත සංගීතයට වැඩිම වටිනාකමක් එක් කළ අවස්ථාව.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් මතක් කරමු නේද?

අද මම මෙතන ඉන්නේ මගේ ආදරණීය පවුල නිසා. මගේ අම්මා බ්‍රිගේඩියර් වෛද්‍ය නිමල්කා ආරියරත්න, තාත්තා වෛද්‍ය ජගත් ආරියරත්න. මගේ ආදරණීය බිරිඳ කථිකාචාර්යවරියක්. ඇය නිමන්ති ආරියරත්න. දැන් මගේ වෘත්තීයේ කළමනාකාරිය විදිහට ඉන්නේ මගේ ආදරණීය බිරිඳ. තාම අපිට බබාලා නම් නැහැ (හිනැහී). මම පවු‍ලේ එකම දරුවා. මගේ දෙමව්පියෝ තමයි මිහිඳු කියන කොල්ලව රටම හඳුනන ගායකයෙක් බවට පත් කළේ.

ඔබේ දෙමව්පියන් වෛද්‍යවරු. ඒ වගේම ඔබත් ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මිහිඳුට ඉංජිනේරුවරයෙක් වෙන්න කියලා දෙමව්පියෝ ඒ කා‍ලේ බල කළේ නැද්ද?

හොඳ ප්‍රශ්නයක්. ‍පොඩි කා‍ලේ ඉඳලම සංගීතයයි, ක්‍රිකට් ක්‍රීඩාවයි තමයි මගේ විලාසිතාව වුණේ. මම ‍පොඩි කා‍ලේ හොඳට ක්‍රිකට් සෙල්ලම් කළා. දැනටත් මම ක්ලබ්වලට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මියුසික් තමයි මගේ ෆැෂන් එක. මගේ දෙමව්පියෝ වෛද්‍යවරු වුණාට එයාලා මට කවදාවත් ඩොක්ටර් කෙනෙක් වෙන්න හෝ ඉංජිනේරුවෙක් වෙන්න කියලා මට බල කළේ නැහැ. මම ක්‍රීකට් ගහන්න ඕනේ කිව්වාම තාත්තා තමයි මට ක්‍රිකට් බැට් එක අතට දුන්නේ. මියුසික් කරන්න ඕන කිව්වම අම්මා තමයි මට මුල්ම ගිටාර් එක අරගෙන දුන්නේ. මම මැක්ස් කරන්න පටන් ගත්තේ මගේ කැමැත්තටයි. මගේ දෙමව්පියෝ කවදාවත් ඒකට බල කළේ නැහැ. මට හොඳ සංගීතඥයෙක් වෙන්න ආත්ම විශ්වාසය ඇති කළේ මගේ ආදරණීය දෙමව්පියෝ. ඉංජිනේරුවරයෙක් වුණේ නැහැ කියලා මට වැරදිලා නැහැ. මොකද ගායකයෙක් විදිහට මම දිනලයි ඉන්නේ.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.