lakbima.lk

ෂෙල්ටන් මුතුනමගේ ලෙඩ ඇඳේ

ෂෙල්ටන් මුතුනමගේ කියන්නේ තමන්ටම ආවේණික වූ හඬ පෞරුෂයකින් ගීත ලෝලීන් වෙත සමීප වූ ගායන ශිල්පියකු ලෙස හැඳින්වූවොත් නිවැරදියි. “මේ දෙව් මැදුරේ”, “සමාව ඉල්ලා”, “දීග නොයන් රත්තරනේ” වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් තමයි 80 දශකයේ මුල් භාගයේදී ඔහු සංගීත කරළියට ආවේ. දශක ගණනාවක් තිස්සේ ප්‍රසංග වේදිකාවේද සුපුරුදු මුහුණක් බවට පත්ව සිටි ෂෙල්ටන් මුතුනමගේ ගැන මේ දිනවල නම් අසන්නට ලැබෙන්නේ එතරම් සතුටුදායක ආරංචි නමෛයි. ඒ ගැන ඔහුගේ දියණිය වන වයංගා මුතුනමගේ ‘රිද්ම’ට කීවේ මෙවැනි කතාවක්.

වෙනදා නිතරම පාහේ ප්‍රසංග වේදිකාවේ දකින්නට ලැබුණු ෂෙල්ටන් මුතුනමගේ දැන් පේන්නට නැත්තේ ඇයි කියලා. මේ දිනවල බොහෝ දෙනා විමසිලිමත් වෙනවා. ඇත්තටම මොකක්ද ඒකට හේතුව?

ඒකට හේතුව තමයි තාත්තා මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් පසුවීම තාත්තා ලෙඩ ගාණට වැටිලා දැන් ටික කාලයක් වෙනවා. හැබැයි මීට සති දෙක තුනකට කලින් තාත්තාට හුඟාක් අමාරු වුණා. තාත්තාගේ ‍ලේවල සීනි මට්ටම, මනින්න පුළුවන් උපරිම මට්ටමටත් වඩා ඉහළ නැගලා තිබුණා. රෝහල් ගතකරලා ප්‍රතිකාර කරන්න තව ටික වේලාවක් ප්‍රමාද වුණා නම් තාත්තාට කෝමා තත්ත්වයක් පවා ඇති වෙන්න ඉඩ තිබුණා කියලයි වෛද්‍යවරු කිව්වේ.

නමුත් වාසනාවකට ඔහුට එතරම් බරපතළ තත්ත්වයක් ඇති වුණේ නැහැ නේද?

ඔව්. මීගමුව මහ රෝහ‍ලේ සතියක් නැවතිලා ඉඳලා ප්‍රතිකාර අරගෙන දැන් තාත්තා ගෙදර ඇවිල්ලයි ඉන්නේ. ‍ලේවල සීනි මට්ටම අඩු වැඩි වෙන එක තමයි තාත්තට තියෙන ලොකුම රෝගී තත්ත්වය. ඒ තත්ත්වය පාලනය කර ගන්න තාත්තා දිගටම ප්‍රතිකාර ගන්නවා.

වෙනදා දැක පුරුදු ෂෙල්ටන් මුතුනමගේ රෝගී තත්ත්වයත් එක්ක ටිකක් වෙනස් වෙලා නේද?

තාත්තා දැන් හොඳට කතාබහ කරලා ඉන්නවා. හැබැයි වෙලාවකට මතකය ටිකක් අඩු ගතියක් තියෙනවා. ඉස්සරට වඩා ශරීරයත් කෙට්ටු වෙලා.

හොඳට හිටපු තාත්තා මේ විදිහට අසනීප වෙන්න පටන් ගත්තේ කොහොමද කියලා මතකද?

ගිය අවුරුද්දේ අපේ අම්මාට රෝගී තත්ත්වයක් ඇතිවෙලා ශල්‍යකර්මයක් කරන්න සිද්ධ වුණා. අම්මාව බේරාගන්න අමාරුයි කියලා තමයි ඒ වෙලාවේ වෛද්‍යවරු කිව්වේ. ඉතින්, ඒ සිදුවීමත් එක්ක තාත්තා මානසිකව හුඟක් වැටුණා. ඔය එක්කම වගේ තමයි සීනි මට්ටම ඉහළ යෑමත් පටන් ගත්තේ.

තාත්තා ප්‍රසංග වේදිකාවෙන් ඈත් වුණේ කොයි කාලයේ වගේද?

පසුගිය අවුරුද්දේ තාත්තා ප්‍රසංග විශාල සංඛ්‍යාවකට සහභාගි වුණා. මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙත් ප්‍රසංග හුඟක් ලැබුණාට අසනීප තත්ත්වය එක්ක ප්‍රසංග දහයකට පමණ තමයි තාත්තා එක් වුණේ. ඊට පස්සේ තාත්තා ප්‍රසංගවලට සහභාගි වුණේ නැහැ.

ලෙඩ ගානට වැටුණට පස්සේ ඔහුගේ දුක සැප බලන්න කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන් ආවාද?

කීර්ති පැස්කුවල්, ජානක වික්‍රමසිංහ, රොහාන් ද සිල්වා, සහරා ෆ්ලෑෂ්හි ප්‍රදීප්, ජෝර්ජ් රොබ්සන්, සිහනද බෑන්ඩ් එකේ සාමාජිකයෝ වගේ අය තාත්තාගේ දුක සැප බලන්න ආවා. තාත්තා පුළුවන් කා‍ලේ ගායක ගායිකාවන්ට වගේම සංගීත කණ්ඩායම්වලටත් හුඟක් උදව් උපකාර කරපු කෙනෙක්. ඒත් කියන්න කනගාටුයි තාත්තාගෙන් උදව් උපකාර ලබාගත් ළඟපාත ඉන්න සමහර බෑන්ඩ් පවා මේ තාක් වන තුරු දුරකථනයෙන්වත් කතා කරලා තාත්තාගේ දුක සැප හොයලා බැලුවේ නැහැ. ඒගැන අපට තියෙන්නේ විශාල කලකිරීමක්.

ෂෙල්ටන් මුතුනමගේ කියන ගායන ශිල්පියා ප්‍රසංග වේදිකාවේ නැති අඩුව පුරවන්න ඔහුගේ පවු‍ලේම කෙනෙක් ළඟදී වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?

ඇත්ත අපේ පවු‍ලේ දරුවෙකුට ඉන්නේ මම විතරයි. කාලයක් මම නිරූපණ ශිල්පිනියක් විදියට කටයුතු කළා. මගේ සැමියා සුරේෂ් අමරසිංහත් ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙක්. මේ අවුරුද්දේ මම මගේම ගීත සහ තාත්තාගේ ගීතත් ගායනා කරමින් ප්‍රසංග වේදිකාවට පිවිසෙන්නයි බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.