lakbima.lk

රාජකීය උපන්දින සාදයක් ගත් චන්දිමාල් ජයසිංහ ගැන වෙනස්ම විදියේ කතාවක්

Facebook වගේ සමාජ ජාල වබේ අඩවිවලට පුළුවන් සමාජයට ලොකු බලපෑමක් කරන්න. ඒවායේ පළකරන එක Post එකකට ඇතැම්විට ආන්දෝලනාත්මක නිමිත්තක් බවට පත්වෙන්නත් පුළුවන්. එකී හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් Facebook වල තියෙනවා. මේ අපි කතා කරන්න සූදානම් වන්නේ Facebook නිසා සිදුවූ යහපත් කටයුත්තක් ගැනයි. මේ කටයුත්තට දායක වූ තැනැත්තා මීට මාස කීපයකට කලින් Facebook තුළ වගේම අන්තර්ජාලය හරහා උණුසුම් පුවත් මැවූ කෙනෙක්. හැබැයි ඒ වෙලාවේ නම් ගොඩක් අය කළේ ඔහුව විවේචනය කළ එකයි. හැබැයි මේ වතාවේ නම් ඔහු කරලා තියෙන්නේ කාගේත් පැසසුමට ලක්වෙන විදිහේ දෙයක්. ඔහු චන්දිමාල් ජයසිංහ.

මීට මාසයකට දෙකකට විතර කලින් මුළු රටේම කතාබහට ලක්වෙන විදිහේ උපන්දින සාදයක් පවත්වපු චන්දිමාල්, නැවතත් හැමෝගෙම අවධානයට ලක්වෙන වැඩක් කරලා. කියන්න බලන්න එදා ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියලා?

ඔය කියන්නේ මේ දිනවල ෆේස්බුක්වල මගේ නමත් ඈඳිලා කතාබහට ලක්වෙන සිදුවීම ගැන වෙන්න ඇති. ඔව් කිරිඳිවැල පාර අයිනේ අසරණව වැටිලා හිටපු වයසක අම්මා කෙනෙක් රෝහලට ගෙනිහින් ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න මම කටයුතු කළා. ඇගේ කකුලක් ඉතා දරුණු තුවාලවලට ලක්වෙලා කපා දමන්න ඔන්න මෙන්න වගේ මට්ටමකයි තියෙන්නේ. මේ දවස්වල ඒ අම්මා ජයවර්ධනපුර රෝහ‍ලේ 14වැනි වාට්ටුවේ 8වැනි ඇඳේ ප්‍රතිකාර ලබනවා. ඇගේ නම කරුණාවතී. ඇය වයස 78ක විතර මවක්.

කොහොමද චන්දිමාල්ට ඒ අම්මා ගැන ආරංචිය ලැබුණේ?

ඒ අම්මා දවස පුරා බස් නැවතුමට වෙලා ඉන්නවා. කාඩ්බෝඩ් කෑල්ලක් ඉල්ලලා නිතරම ඇය හඬා වැටුණාලු. ඒ වෙලාවේ මල්ලි කෙනෙක් ඒ අම්මා ගැන post එකක් හදලා FB එකේ දාලා තිබුණා. ඒක දැක්කාම මට හිතුණා මේ අම්මට මොකක් හරි උදව්වක් කළයුතුයි කියලා. මම ගොඩක් කාර්යබහුල හින්දා මම පියුමි හංසමාලිට වාහනයක් දීලා මේ අම්මා ගැන හොයන්න කිව්වා. පියුමි කීප වතාවක්ම ගිහින් තමයි මේ අම්මගේ තොරතුරු හොයා ගත්තේ.

ඇය කාත් කවුරුවත් නැති කෙනෙක්ද?

නැහැ. ඇය දුවලා තුන්දෙනෙකුගේ මවක්. දුවලා දෙන්නෙක් නම් වසර 15කින් මේ අම්මව බලන්න ඇවිල්ලා නැහැ. එක දුවයි මේ අම්මා එක්ක ඉන්නේ. ඇය රුපියල් 5000ක මාසික කුලියට පුංචි කාමරයක් අරගෙන මේ අම්මා එක්ක ජීවත් වෙනවා. ඇය උදේ ගිහින් නිවසක මෙහෙකාර සේවයේ යෙදිලා හවස එනවා.  ඒ කාලය තුළ මේ අම්මව බස් නැවතුමේ දාලා යන්නේ කරන්න දෙයක් නැතිකමට කියලයි ඇය කිව්වේ. ඒ අම්මගේ කකුල කුණුවෙලා තදබල ලෙස දුර්ගන්ධය හමන හින්දා කුලී කාමරයේ අය කැමති නැහැලු දවල් වරුවට ඒ අම්මව කාමරයේ තනියම තියෙනවාට.

ඇගේ පාදය ඉවත් කරන්න සිදුවෙයිද?

අපි මුලින්ම ඇයව ගෙනාවේ හේමාස් රෝහලට. එහිදී වෛද්‍යවරු කියා සිටියේ කකුල කපන්න ඕනෑ කියලයි. ඒක අහපු හැටියේ මේ අම්මා පුංචි දැරියක් වගේ අඬන්න පටන් ගත්තා. පස්සේ අපි ටිකට් කපාගෙන ගිහින් දවස් දෙක තුනකින් ඇගේ හිත හැදුනට පස්සේ ආයෙම ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළා. සමහර විට කකුල කපන්න වෙයි.

ඊට පස්සේ ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තවත් යමක් කරන්න ඔබේ අදහසක් නැද්ද?

මේ දවස්වල ඒ අම්මගේ දියණියත් රැකියාවට නොයා අම්මගේ ළඟ ඉන්නවා. ඔවුන්ගේ කුලී කාමරයේ කුලිය, රෝහල් බිල සහ දෙදෙනාගේම පැවැත්ම වෙනුවෙන් මම මට හැකිදේ කළා. ඒත් මටත් සීමාවක් තියෙනවා. රෝහලෙන් පිටවූ පසු මේ මවටයි දුවටයි ඉන්න නිවහනක් ලබා දෙන්න කවුරු හරි උදව් කරනවා නම් හොඳයි. මොකද කකු‍ලේ තුවාලය හින්දා මේ අම්මාව භාර ගන්න මහලු නිවාසවලිනුත් කැමති නැහැ. FB එකේ මේ අම්මට දාලා තිබුණු Comment දැක්කාම මම හිතුවා රෝහ‍ලේ වාට්ටුව ළඟ ‍පෝලිං ගැහිලා මිනිස්සු ඉඳියි කියලා. ඒත් අද ඇයට උදව් කරන්න කිසි කෙනෙක් නැහැ.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.