lakbima.lk

මහ ඇමැති ඉසුර නළු කමට බහී

කොළඹ නගරාධිපති නිලනිවස තුළ පවතින්නේ තරමක කාර්යබහුල තත්ත්වයක්. කැමරා ආම්පන්න හා විදුලිඑළි මැද බස්නාහිර පළාතේ මහ ඇමැති ඉසුර දේවප්‍රිය එක් අයෙකු සමග ලොකු කතාබහක. ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. බුද්ධදාස විතානාරච්චි හා සුසන්තා චන්ද්‍රමාලිත් ජනප්‍රිය කලාකරුවන් දෙදෙනත් මේ දෙදෙනා ළඟට ඇවිත් මොන මොනවාදෝ කියනවා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සමග අමාත්‍යවරයා කරන මේ කතාබහ දේශපාලන කතාබහක් නම් නොවෙයි. මෙතැන සිදුවන්නේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක්.     ජාතික රූපවාහිනියේ සතියේ දින පහේම රාත්‍රී 8.35ට විකාශය වන අළු ටෙලි නාට්‍යය තමයි අද මෙතැන මේ විදිහට රූගත කෙරෙන්නේ. මෙම ටෙලි නාට්‍යයේ මහාචාර්ය රණවීරගේ චරිතය රඟපාන්නේ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතායි.

ඔන්න දැන් එක දර්ශනයක රූපගත කිරීම් නිමවුණා. ඔය අතර නිෂ්පාදන කණ්ඩායම තවත් ජවනිකාවකට සූදානම් වෙනවා. ඒ අතරේ අපි අමාත්‍යවරයාට ළංවුණේ දේශපාලන භූමිකාවෙන් මඳකට මිදිලා හිටපු නළු භූමිකාව ගැන තොරතුරු ටිකක් විමසන්නයි. අපි ඔහුගෙන් මුලින්ම ඇහුවේ මොකක්ද මේ කරන අලුත්ම රඟපෑම කියලයි.

දේශපාලන ක්‍ෂේත්‍රය කියන්නේ ගොඩක් කාර්යබහුල තැනක්. එහිදී අපිට ලොකු වෙහෙසක් දරන්න සිදුවෙනවා. හැබැයි මේ විදිහට කලා කටයුත්තකට දායක වීම මනසට ලොකු විවේකයක්.

ඒ විදිහට පවසමින් ඔහු කතාබහ ඇරඹුවා. අළු ටෙලි නාට්‍යයේ මහාචාර්ය රණවීරගේ භූමිකාව තුළින් ටෙලි නාට්‍යය පුරාම ප්‍රබල රංගනයක යෙදෙන මහ ඇමැතිවරයා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට නවකයෙක් නම් ‍නෙවෙයි. මීට පෙරත් ඔහු නළුවෙකු ලෙස කරළියට පැමිණ තිබෙනවා.

මම මේ වෙද්දී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. නමුත් කතාව පුරා ප්‍රබලව දිවෙන චරිතයක් කරන පළමු අවස්ථාව තමයි මේ

එහෙම කියපු මහ ඇමැතිවරයා තමන් රඟපෑමට එක් වූ ආකාරය ගැනත් මෙසේ සිහිපත් කළා.

මම පුංචිම කා‍ලේ ඉඳලම කලාවට ලොකු ඇල්මක් දැක්වූ කෙනෙක්. ඒ දවස්වල අපේ ගම් පළාතේ වේදිකා නාට්‍ය පෙන්වනවා. අපේ රටට රූපවාහිනිය එන්න කලින් ඒ වගේ පෙන්වන වේදිකා නාට්‍යවලට ගම්වල ලොකු ඉල්ලුමක් තියෙනවා. මට මතක හැටියට මම රඟපෑ ප්‍රථම නාට්‍යය තමයි දිගිති කෝසල ජාතකය. මා එහි රාජසභාවේ සේවකයකු විදියට රඟපෑවා. මම මුලින්ම නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ 8 වසරේදී. ඒ නාට්‍යය තමයි ගජමුතු. ඔය විදිහට කලාවට ඇල්මක් තිබුණත්, පාසල් දිවිය හමාර කළාට පස්සේ මම තෝරා ගත්තේ දේශපාලනයයි. ඒ නිසා කලාව ටිකෙන් ටික මගෙන් ඈත් වුණා.

රංගනයට වගේම ගායනයටත් ඉසුරු දේවප්‍රිය කියන මහඇමැතිවරයා දක්ෂ බව අපි දන්නා නිසා ඒ හැකියාව ගැනත් අපි ඔහුගෙන් විමසා සිටියා.

මම විවේකයක් ලැබුණු හැම වෙලාවකම සතුටින් සින්දුවක කෑල්ලක් මුමුණ මුමුණ තමයි ඉන්නේ. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්.ජෝතිපාල වැනි අයගේ ගීත තමයි මම වැඩිපුරම ගායනා කරන්නේ. පසුගියදා ජෝති රාත්‍රිය ප්‍රසංගයේදී සමිත් අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණිය ඩිල්කි අබේගුණවර්ධන සමග චන්ද්‍රා මේ රෑ පායා ආවා... කියන ගීතයත් මා ගැයුවා. දැනටත් ඒ වගේ විශේෂිත අවස්ථාවල මා ගීත ගායනා කරනවා.

ටෙලි නාට්‍යයේ ඊළඟ ජවනිකාව රූගත කිරීම් සඳහා ඒ වෙලාවේ මහ ඇමැතිවරයාට අධ්‍යක්ෂවරයාගෙන් කැඳවීමක් ලැබුණා. ඔය අතර අපි දර්ශන තලය තුළ සිටින අනෙක් පිරිස අතරටත් ගියේ අළු ටෙලි නාට්‍යය ගැන තවත් වැඩිවිස්තර හොයා ගන්නයි.

රුවන් බුද්ධික රූපවාහිනියට රචනා කරන චනික පෙරේරා අධ්‍යක්ෂණය කරන අළු එස්.කේ. ප්‍රඩක්ෂන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ සුසිලා කාන්ති විජේසිංහයි. බුද්ධදාස විතානාරච්චි, සුසන්තා චන්ද්‍රමාලි, මහේෂි මධුසංඛා, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, අමිල අබේසේකර, රංගන ප්‍රේමරත්න, නුවනි වලිමුණි, ක්ලීටස් මෙන්ඩිස්, නයනා කුමාරි, ඩබ්.ජයසිරි, මහේන්ද්‍ර වීරරත්න, මිහිර සිරිතිලක ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.

අළු කොටස් 100ක ටෙලි නාට්‍යයක්. මෙය වෙනස් ආකාරයක කථාවක්. මනෝ විද්‍යාව වගේම ගුප්ත විද්‍යාව එකට එක්කළ කතාවක්. ඒ වෙනසට මේ වනවිට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින්නේ. නළු නිළියන්ට විධාන දෙන අතරතුර අධ්‍යක්ෂවරයා වන චනික පෙරේරා අපි ළඟට ඇවිත් එහෙම කිව්වා.

ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමේ යෙදෙන මහ ඇමැතිවරයාගේ රඟපෑම හොඳද කියලත් අපි පුංචි ප්‍රශ්නයක් යොමු කළා.

කියලා වැඩක් නෑ. ලොක්කා වැඩේ හොඳටම කරනවා අධ්‍යක්ෂවරයා හිනාවෙවී එහෙම කිව්වා. මහාචාර්ය රණවීර පුටුවක වාඩිවෙලා රංගනයේ යෙදෙන ජවනිකා කිහිපයක් එක දිගට රූගත කළා. මේ දර්ශන අතරේ බුද්ධදාස විතානාරච්චි හා මහ ඇමැතිතුමා ඇවිදමින් දෙබස් කියන ජවනිකාවක් තිබුණා. එය දීර්ඝ දෙබස් එක දිගට රූගත කරන දිග ජවනිකාවක්. මේ ජවනිකාව මහ ඇමැතිතුමාට අසීරු වේද කියලයි අපි බලාගෙන හිටියේ. ඒත් එක වතාවකින්ම ඔහු එය බොහොම අපූරුවට නිරූපණය කළා. දර්ශන තලයේදීත් සියලු දෙනා සමග හරිම සුහදශීලීව, විහිළුවෙන් තමයි ඔහු කාලය ගත කළේ.

අළු දර්ශන තලයෙන් සමු ගන්නට පෙර අපි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගෙන් ඉදිරි දේශපාලන කටයුතු ගැන අසනවා වෙනුවට ඔහුගේ අනාගත කලා කටයුතු ගැන ප්‍රශ්න කළා.

මම මගේම ගීත දෙකක් ගයන්න මේ දිනවල සූදනම් වෙනවා. හැබැයි මම මගේ ගීත විදිහට තෝරාගෙන තියෙන්නේ සුභාවිත ගීතයි. ඉදිරියේදීත් රංගනයට යොමු වෙන්නයි හිතාගෙන ඉන්නේ. නමුත් මම දේශපාලන චරිතයක්. අයහපත් ප්‍රතිරූපයක් මතුවෙන චරිතයක් ලැබුණොත් නම් මම බාර ගන්නේ නැහැ. දේශපාලනය තුළ මට ආදරය කරන පිරිසක් ඉන්නවා. කලාව තුළිනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමයි මගේ උත්සාහය.

ඒ විදියට පැවැසූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සුහදශීලී ලෙසින් අපිට සමුදුන්නා.

ආරියවංශ කුලතිලක

ඡායාරූප - මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.