lakbima.lk

මිට්ටෙකුගේ වුණත් ඇඟ ඇතුළේ යෝධයෙක් ඉන්නවා

 බල්ගේරියාවේ පතල් කම්කරුවෙකු විදිහට සේවය කළ තුර්කි ජාතිකයෙකුගේ හා ඔහුගේ බිරිඳගේ ජීවිතයේ සතුටුදායකම දිනයක් උදාවුණේ 1967 ජනවාරි 23 වැනිදායි. ඒ් ඔවුන්ට බොහොම හුරුබුහුටි පුතෙකු ලැබුණු නිසයි. ඔහුට නම් තැබුණේ නයිම් සුලෙයිමනොග්ලූ ලෙසින්. ඔහු උපන්නේ බල්ගේරියාවේ කාඞ්සාලි පළාතේ ටිචාර් නම් ගම්මානයේදීයි.

නයිම් කාලයත් සමග සම්පූර්ණ වියයුතු උස ප‍්‍රමාණයට ළඟාවුණේ නැහැ. තවත් විදිහකින් කිව්වොත් ඔහු වයසට සරිලන විදිහේ උසක් තිබුණු කෙනෙක් නොවෙයි. ඔහුගේ උස අඩි 4 යි අඟල් 10 යි. මීට හේතු වුණේ නයිම්ගේ මව ද උසින් අඩු කෙනෙකු වීමයි. ඇයගේ උස අඩි 4 යි අඟල් 7 යි.

සුදුසු කාලයේදී නයිම් බල්ගේරියානු පාසලකට යොමුකෙරුණා. මේ පාසල් ගමන නයිම්ට කිසිසේත්ම සතුටුදායක අත්දැකීමක් වුණේ නැහැ. ඒ්, ඔහුගේ ‘අසාමන්‍ය උස’ පදනම් කරගෙන අනෙක් දරුවන් ඔහුට උසුඵ විසුඵ කළ නිසයි. පන්තියේ බල්ගේරියානු ජාතික දරුවන් නයිම් ඇමතුවේ ‘තුර්කි කොටා’ ලෙසින්. එ් පමණක් නොවෙයි ඔවුන් නයිම්ට සමහර විට ගුටි බැට පවා එල්ල කළා.

”අනේ අම්මේ, මට නම් බැහැ මේ විදිහට අපහාස විඳ විඳ ඉස්කෝලේ යන්න. මම ගෙදර නවතිනවා” නයිම් එසේ කීවේ බොහොම කලකිරුණු සිතින්.

”පුතේ අපිට බැහැ අනෙක් අයව වෙනස් කරන්න. එ්ගොල්ලන්ගේ කටවල් වහන්නත් අපිට බැහැ. ඉවසන්න පුරුදු වෙන්න. එයාලත් එක්ක ප‍්‍රශ්න ඇතිකර ගන්න යන්න එපා. ඔයාගේ මොකක් හරි දක්ෂකමක් ඇති. ඒ්ක දියුණු කරගෙන ඉදිරියට යන්න හිතන්න. එහෙම ගියොත් ඔයාට විහි`ඵ කරන, හිරිහැර කරන අය එදාට ඔයාට මහ ඉහළින් ගරු කරයි” මව  නයිම් පුතුව දිරිමත් කළා.

එදා ඉඳන් නයිම් පාසල් යන්න බැහැ කියමින් අදි මදි කළේ නැහැ. ඒ් අතරවාරයේ ඔහු තමන් දියුණු කරගත යුතු දක්ෂකම ගැන කල්පනා කළා.

උසින් අඩුවුවත් නයිම්ට තිබුණේ ඉතාමත් ශක්තිමත් ශරීරයක්. කුඩා කල සිටම ඔහුට බරැති කඵ ගල් සහ ගස්වල තරමක් විශාල අතු ඉතා පහසුවෙන් එසවීමේ හැකියාව තිබුණා. මේ හැකියාව වයසින් වැඩිවීමත් සමගම තව තවත් වැඩිදියුණු වුණා.

”බර ඉසිලීමේ ක‍්‍රීඩකයෙක් වුණානම් මට ගොඩාක් දුර යන්න පුඵවන් වේවි” නයිම්ට එහෙම සිතුණා. එතැන් පටන් ඔහු වෙහෙසුණේ වඩාත් දක්ෂ, බර ඉසිලීමේ කී‍්‍රඩකයෙක් වීමේ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි.

මේ අතර 1980 ගණන්වලදී    බල්ගේරියානු රජය එ් රටේ ජීවත්වෙන සියලූම සුඵ ජාතීන් වෙත නියෝගයක් නිකුත් කළා. එයින් කියවුණේ සුඵ ජාතීන් හැම දෙනාගේම නම් බල්ගේරියානු භාෂාවට ගැළපෙන අන්දමට වෙනස් කරගෙන භාවිත කළයුතු බවයි. ඒ් අනුව නයිම් සුලෙයිමනොග්ලූ නම වෙනුවට ඔහුට නාවුම් ශලමනොව් යන නම භාවිත කරන්නට සිදුවුණා.

නයිම් බල්ගේරියාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු බර ඉසිලීමේ තරගාවලියේ 1985. 1986 වසරවල රන් පදක්කම් 2 ක්ද 1983 දී රිදී පදක්කමක්ද දිනාගත්තා.

1988 දී නයිම් තුර්කිය බලා ගියා. එ් වසරේදීම සියෝල් හි පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේදී බර ඉසිලීම වෙනුවෙන් රිදී පදක්කමක්ද 1992 දී බාසිලෝනා හිදී හා 1996 දී ඇට්ලන්ටා හිදී පැවැත්වුණු ඔලිම්පික් තරගාවලිවලදී රන් පදක්කම් දිනාගනිමින් තුර්කිය වෙත ඉමහත් ගෞරවයක් හිමිකර දුන්නා.

තවද තුර්කිය නියෝජනය කරමින් බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝක ශූරතා රන් පදක්කම් 5 ක්ද යුරෝපීය ශූරතා රන් පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 1 ක්ද දිනාගන්නට නයිම් සමත් වුණා. එ් හැරුණු විට රන් පදක්කම් 2 ක්ද රිදී පදක්කම් 1 ක්ද දිනාගන්න ඔහු සමත් වුණා.

බර ඉසිලීමේ ලෝක ශූරතා 16 ක් බිඳහෙළා ඇති නයිම්, සින්ක්ලෙයාර් ලකුණු සටහනේ අදත් ලෝකයේ හොඳම බර උසුලන්නායි.

”මගේ උස ගැන දුක් වෙමින් සිටියා නම් අදටත් කිසි කෙනෙක් මා ගැන දන්නේ නැහැ. මම ඉදිරියට යන්න මාවතක් තෝරාගත්තා. ඒ මාවත දිගේ ගිහින් මම අද ලෝකයේම කතාබහට ලක්වූ බර උසුලන්නෙක් බවට පත් වුණා. කියන්න බැරි තරම් බාධක මැදින් තමයි මම මේ ගමන ආවේ. ඒ් ගමන දිහා ආපසු හැරිලා බලද්දී මට දැනෙන්නෙ මුළු ලෝකයම දිනාගත්තා වගේ සතුටක්” නයිම් පැවැසුවා.

නයිම්ට ගරු කිරීමක් විදිහට පැරගුවේ රාජ්‍යය සමරු මුද්දරයක් පවා නිකුත් කර තිබෙනවා.
මේ ලෝක ශූරයා 2017 නොවැම්බර් 18 වැනි දින තුර්කියේදී අභාවයට පත්වුණා. ඒ සිරෝසීස් රෝගයට ගොදුරු වීමෙන්.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.