lakbima.lk

කලාකරුවන් හැමෝටම සුබ උපන් දිනයක් කියන කවුද මේ සිරි කහවල

ඕනෑම කෙනකුගේ උපත, විවාහය වගේම විපත ලියාපදිංචි කරන්නෙත් රජය විසින්. ඒත් අපේ කලා ලෝකයේ ජනප්‍රිය කලාකරුවන්ගේ උපත, විවාහය හා විපත ලියාපදිංචි කරන නිල නොලත් ලියාපදිංචිකරුවකු ඉන්නවා. නම කියූ පමණින් ප්‍රවීණ හෝ නවක ඕනැම කලාකරුවෙක් ඔහුව දන්නවා. තමන්ගේ වියදමින්, තමන්ගේම දුරකථනයෙන් ඔහු අවුරුද්ද පුරාවට හැම කලාකරුවකුගේම උපන් දිනයට සුබ පතන්නේ හරිම නිර්ව්‍යාජ විදියටයි.

ඒත් ඔහුගේ උපන් දිනයට සුබ පතලා කළ ගුණ සලකන්න මේ කලාකරුවන් අතරින් කීයෙන් කී දෙනකුට මතක් වෙනවාද කියන්න අපි දන්නේ නැහැ. හැමෝටම සුබ උපන් දිනයක් පතන මේ අපූරු පුද්ගලයා තමයි ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවලගේ. ඔහුගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි 16 වැනිදාටයි. අපි මේ සූදානම් වන්නේ ඔහුට උපන් දිනයට සුබ පතන ගමන්ම ඔහු ගැන තොරතුරු ටිකක් ඔබට කියන්නයි.

මුලින්ම අපි රිද්ම තුළින් ඔබට සුබ උපන් දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

බොහොම ස්තුතියි.

පුවත්පත් කිහිපයක් හරහාම කලාකරුවන්ගේ උපන් දින ගැන පාඨකයන් දැනුවත් කරන නිසා සිරි කහවල කියන නම දැන් බොහෝ දෙනාට පුරුදුයි. ඇත්තටම කවුද මේ සිරි කහවල කියලා ඔබේ වැඩි විස්තර දැනගන්න ඒ අයට ආශාවක් ඇති?

මගේ ගම කළුතර. මිල්ලෙනිය මිශ්‍ර පාසල, හොරණ තක්ෂිලා විදුහල, පානදුරේ ශාන්ත ජෝන්ස් විදුහල හා කොළඹ ආනන්ද විදුහලෙනුත් මම අධ්‍යාපනය ලැබුවා. ඉන්පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරලා එහිම සහකාර කථිකාචාර්යවරයෙක් විදියට සේවය කළා. පසුව ඉන් ඉවත් වෙලා ‍පොහොර සංස්ථාවේ රැකියාවට ගියා.

එතකොට මාධ්‍ය ක්ෂේත්‍රය පැත්තට යොමුවුණේ කොහොමද?

මුලින්ම සම්බන්ධ වුණේ ‘චිත්‍රවාහිනී’ සඟරාවට. ඒ 1963 දී. ඉන්පසුව 1965 දී සරසවිය පුවත්පතට සම්බන්ධ වුණා. පසුව සත්සර සහ දිනකර පුවත්පත්වලටත් සම්බන්ධ වුණා. හැබැයි මම රැකියාව කරන අතරතුරේ නිදහස් මාධ්‍යවේදියකු විදිහට තමයි මේවාට සම්බන්ධ වුණේ.

බොහෝ අය නොදන්නවා වුණාට පිටපත් රචකයෙක් විදිහටත් ඔබ නිර්මාණ රැසකට දායකත්වය ලබාදී තිබෙනවා නේද?

ඔව්. 'නැවත හමුවෙමු', 'රෝසි' සහ 'සුරනිමල' යන චිත්‍රපටවල තිරනාටක ලිව්වේ මමයි. ඒ වගේම මම ටෙලිනාට්‍ය පිටපත් රැසක් ලියා තිබෙනවා. කෙටි චිත්‍රපට 150 කට පමණ උපසිරැසි යොදන්න දායක වෙලා තියෙනවා.

කලාකරුවන්ගේ ජීවදත්ත එකතු කිරීම සහ ඔවුන්ගේ උපන් දිනවලදී සුබ පැතීම ආරම්භ කළේ කොයි කාලයේදීද?

කලාකරුවන්ගේ උපත, විපත සහ විවාහ වූ දවස වැනි දත්ත එකතු කරන එක මම මගේ මාධ්‍ය ජීවිතය පටන් ගත්තු කා‍ලේ ඉඳන්ම කළ දෙයක්. ඒත් සුබ පතන්න පටන් ගත්තේ 1993 විතර ඉඳලා.

මේ වෙද්දී කීදෙනකුගේ විතර තොරතුරු ඔබ සතුව තියෙනවාද?

දැනට ජීවතුන් අතර සිටින කලාකරුවන්ගේ වගේම මියගිය කලාකරුවන්ගේද තොරතුරු ඇතුළුව සමස්තයක් වශයෙන් 3000 කගේ පමණ තොරතුරු දැනට මා ළඟ තියෙනවා.

සිරි කහවල මේ තරම් තොරතුරු එක්රැස් කරගෙන තියාගන්නේ කොහේද කියලා බොහෝ අය හිතනවා ඇති. ඇත්තටම කොහේද ඒ තොරතුරු ගබඩා කරලා තියෙන්නේ?

මේ සියලු තොරතුරු මම ‍පොතක සටහන් කරගෙන තියෙනවා. නවක ශිල්පීන් ක්ෂේත්‍රයට ආවම ඒ අයගේ තොරතුරුත් හොයලා ඒ ‍පොතේ සටහන් කරගන්නවා.

කලාකරුවකුගේ උපන් දිනය දා උදෙන්ම සුබ පතන්නේ ඔබ.3000 කගේ දත්ත ඇතුළත් ‍පොතකින් ඒ ඒ දිනවල උපන් දින සමරන අය කවුද කියලා හරි වේලාවට තෝරාගැනීම අසීරු නැද්ද?

මම සෑම වසරක් ආරම්භ වෙද්දිම කලාකරුවන්ගේ උපන් දින සුබ පැතුම් සඳහා වෙනමම දින ‍පොතක් පාවිච්චි කරනවා. ඒ ඒ දිනවල උපන් දින යෙදෙන අයගේ විස්තර අදාළ දිනයේ ලියලයි තියෙන්නේ. දින ‍පොත පෙරළනකොට එදා දවසේ උපන් දිනය සමරන්නේ කවුද කියන එක සොයාගන්න අපහසු නැහැ.

උපන් දිනයට ඔබෙන් සුබ පැතුම් ලබන අයට ඔබේ උපන් දිනය මතක තියෙනවාද?

මම සුබ පතන බොහෝ අය දැන් මගේ හිතවතුන්. ඔවුන් අතරින් මගේ උපන් දිනය දන්න අය උපන් දිනය දාට මට සුබ පතනවා.

ඔබේ උපන් දිනයට සුබ පතන්න ආශාවෙන් ඉන්න අය ඇති. මේ පෙබරවාරි 16 වැනිදා ඔබට සුබ පතන්න ඒ අය බලා ඉඳියි. ඒ අය වෙනුවෙන් ඔබේ දුරකථන අංකය කියමු නේද?

0714454251 තමයි මගේ දුරකථන අංකය.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.