lakbima.lk

ඔයා හරිම සෙක්සි කියලා සමහර ගෑනු ළමයින්ට කමෙන්ට්ස් දමලා

මගේ ෆේස්බුක් ගිණුමේ මිතුරු පිරිස අතරට මම නාඳුනන අය එකතු කරගන්නේ නැහැ. ඒ හින්දා මට මගේ ෆේස්බුක් ගිණුම හරහා අනවශ්‍ය විදිහේ මැසේජ් ලැබෙන අවස්ථා අඩුයි. හැබැයි මගේ එෆ්.බි. පේජ් එකට ඕනෑම කෙනෙකුට මැසේජ් කරන්න පුළුවන්. පේජ් එකට නම් හරියට අනවශ්‍ය කමෙන්ට් ඇවිල්ලා තියෙනවා.
 
ඒවායේ තියෙන දේවල් දැක්කාම හිතෙනවා කොයිතරම් අසහනකාරී අය මේ රටේ ඉන්නවද කියලා. මගේ පේජ් එක පවත්වාගෙන යන්නේ මගේ අක්කා. සමහර වෙලාවට අක්කා ඒ වගේ මැසේජ් මට පෙන්නනවා. මට ඒවා පෙන්නලා ඒ අයව බ්ලොක් කරලා දානවා.
 
ඒ හැරුණාම අපි වගේ ජනප්‍රිය චරිතවලට ෆේස් බුක් හින්දා බොහෝ විට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ ෆේස්බුක් එකේ අපි නමින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් නිසයි. අපි අපේ ඔරිජනල් ගිණුමට මොකක් හරි ෆොටෝ එකක් හෝ ‍පෝස්ට් එකක් දැම්මොත් ඔවුන් ඒවා හොරකම් කරලා ඒ ව්‍යාජ ගිණුම්වල පළකරනවා.
 

අපේ කාර්යබහුල බවත් එක්ක අපිට ඉඳහිට තමයි ෆේස්බුක්වල සැරිසරන්න වෙන්නේ. ඒත් ඔය විදිහට අපේ නමින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන අයට වෙන වැඩක් නැති හින්දා ඔවුන් වැඩි කාලයක් වැය කරන්නේ ෆේස්බුක් වෙනුවෙන්. ඒ හින්දා අපේ ඡායාරූප හා ‍පෝස්ට් හොරකම් කරගෙන එයාලගේ ගිණුම්ට බැර කරගන්න විතරක් නමෛයි අපි විදිහට විවිධ අයට මැසේජ් කරන්න, චැට් කරන්න වගේම් ‍පෝස්ට්වලට කමෙන්ට් දාන්නත් ඒ අයට ඕනෑ තරම් කාලවේලාව තියෙනවා.
 
ඔන්න ඔය වගේ කෙනෙක් නිසා දවසක් හරි අපූරු සිදුවීමකට මට මුහුණදෙන්න සිදුවුණා. එක දවසක් මම පන්සලට ගිය අවස්ථාවක ගෑනු ළමයෙක් මගේ ළඟට ඇවිත් කතා කළා. මමත් සාමාන්‍යයෙන් මට කතා කරන ඕනෑම කෙනෙකුට සුහදව කතා කරනවා. ඉතින් මමත් මේ ළමයට කතා කළා.
 
අක්කි...ඔයා මගේ ෆොටෝ එකකට කමෙන්ට් එකක් දාලා තිබුණා නේද?
 
මේ ළමයා මගෙන් එහෙම අහනවා. සාමාන්‍යයෙන් මම හොඳටම දන්න කියන කෙනෙකුට හැර කිසිම කෙනෙකු වෙනුවෙන් කමෙන්ට් දාන්නේ නැහැ. මම මේ ළමයාව කවදාවත් දැකලත් නැහැ. ඒ නිසා මට මේ කතාව හරිම ප්‍රහේලිකාවක් වුණා.
නංගි මම ඔයාට කමෙන්ට් කළේ නැහැ.
 
මම එහෙම කිව්වා ඒ ළමයා එයාගේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් ගිහින් මම දාපු කමෙන්ට් එක පෙන්නුවා.
නංගි ඔයා හරිම සෙක්සි ඒ ළමයාගේ ෆොටෝ එකකට මගේ නමින් එහෙම කමෙන්ට් කරලා තියෙනවා. ඒ වැඩේ කරලා තියෙන්නේ මගේ නමින් පෙනී සිටින ව්‍යාජ කෙනෙක් කියලා මම ඒ ළමයට කිව්වා. සමහර විට  මෙහෙම කමෙන්ට් එකක් දාන්න ඇත්තේ කොල්ලෙක් වෙන්න ඇති කියලත් මම එයාට පැහැදිලි කරලා දුන්නා.
 

මේ වගේ විවිධාකාර සිදුවීම් කිහිපයකටම පසුගිය කා‍ලේ මම මුහුණ දුන්නා. ඒ නිසා මම දවසක් ෆේස්බුක් ගිහින් මගේ නම සර්ච් කරලා බැලුවා. ඒ වෙද්දී මගේ නමින් ව්‍යාජ ගිණුම් 6ක් තිබ්බා. ඒත් අද අපි කතාකරන මේ මොහොත වන විට ඒ සංඛ්‍යාව වැඩිවෙලාද දන්නේ නැහැ.
 
ඉතින් ඔය විදිහට මගේ නමින් ව්‍යාජ ගිණුම් දකිද්දී මට හිතුණා නිකමට වගේ ඒ එක ගිණුමක් එක්ක චැට් කරලා බලන්න.
ඇයි මේ වගේ වැඩ කරන්නේ...
මම එයාගෙන් ඇහුවා.
මොනවද
එයා උත්තර දුන්නා.
ඇයි මේ වෙන අය විදිහට ෆේස්බුක් එකේ සිටින්නේ.
මම ඇහුවා.
ඔයා කවුද?
එයා මගෙන් අහනවා.
මම තමයි පියුමි බොතේජු..,
 
මම උත්තර දුන්නා. ඒ පාර එයා දීපු උත්තරේ මොකක්ද දන්නවද?
බොරු කියන්න එපා.. මමයි පියුමි බොතේජු..
ඉතින් තව මොන කතාද? මම ඒ කතාබහ එතැනින්ම නතර කරලා දැම්මා.
 
ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.