lakbima.lk

අද ලයිට් බිල ගෙවා ගන්නත් බැරි තත්ත්වයක් කලාකරුවන්ට ඇතිවෙලා

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසු ප්‍රසංග වේදිකාව මේ වන විට නැත්තටම නැති වී තිබෙනවා. ප්‍රසංග වේදිකාවෙන්ම ජීවත් වූ ඔබට මේ තත්ත්වය කෙසේද බලපා තිබෙන්නේ?

මැයි 5 වැනිදා දක්වා භාරගත් ප්‍රසංග 20ක් පමණ මේ හේතුව නිසා නැවතුනා. හැබැයි මේ සිදුවීම මුල් කරගෙන මට වූ දෙයට වඩා ‍පොදුවේ සංගීත ප්‍රසංගවලට වූ බලපෑම ගැන කතා කරන්න මම කැමතියි.

 හොඳයි මෙන්න ඊට අවස්ථාව.

ඔය කියන ත්‍රස්ත ප්‍රහාරය සහ රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය නිසා යොදාගත්තු ප්‍රසංග සියල්ලම පාහේ නැවතිලයි තියෙන්නේ. මා දන්නා තරමින් මේ විදියට රට පුරා යොදාගෙන තිබූ ප්‍රසංග 100කට අධික ප්‍රමාණයක් නැවතුණා.  ගායක ගායිකාවන්, වාද්‍ය ශිල්පීන්, නිවේදකයන්ට විතරක් නමෛයි මෙහි බලපෑම වුණේ විදුලි ආලෝකය සපයන්නන්, වේදිකා අලංකරණය කරන්නන්, ශබ්ද විකාශන යන්ත්‍ර යොදවන අයගේ සිට කඩල වෙළෙන්දන්, අන්නාසි වෙළෙන්දන් දක්වා විශාල පිරිසකගේ ජීවිතවලට මේ නිසා විශාල බලපෑමක් සිදුවුණා.

බොහෝ දෙනෙකුගේ ආර්ථිකය කඩා වැටුණා. තමන්ගේ බඩ වියත පමණක් නොවෙයි, දරුමල්ලන්ගේ බඩ වියතත් පුරවන්නට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට අද නොහැකි වී තිබෙනවා. පෞද්ගලිකව මමත් මගේ සම්පූර්ණ කාලය යොමු කළේ කලාව වෙනුවෙන් විතරයි. කලාකරුවන්ට රජයේ වැටුප් ලැබෙන්නේ නැහැ. ගෙදර ලයිට්බිල ගෙවන්න සිදුවන්නේත් කලාවෙන් හම්බ වෙන මුදලින්. මේ වගේ සිදුවීම් නිසා අද ගෙදර ලයිට් බිල ගෙවා ගන්නවත් කලාකරුවන්ට නොහැකි වී තිබෙනවා.

 දශක 6ක් අඛණ්ඩව ප්‍රසංග වේදිකාවේ රැඳුණු ඔබට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය රජකළ සමයේත් මෙබඳු අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවෙන්න ඇති නේද?

ඔව්. එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය වගේම 88-89 භීෂණ යුගය නිසාත් මාස, අවුරුදු ගණන් මට ප්‍රසංග නැතුව හිටියා. තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳා ගන්න ප්‍රසංගවලදී ගැටුම් ඇති කරගත්තාම ඒ ප්‍රදේශවල ප්‍රසංග  පැවැත්වීමට ‍පොලීසියෙන් ඉඩ නුදුන් අවස්ථාත් තියෙනවා. වෘත්තීමය ගායකයකු විදියට ඒ හැම අවස්ථාවකටම මම මුහුණ දී තිබෙනවා.

කලාවෙන්ම යැපෙන අය මෙබඳු අවස්ථාවලට මුහුණ දිය යුත්තේ කොහොමද?

තණකොළ පෙත්තාගෙයි කූඹියාගෙයි කතාව අනුව අපිත් අපේ ජීවිත සකසා ගත යුතුයි.  ප්‍රසංග පිට ප්‍රසංග තියෙන විට ලැබෙන මුදල නිසි ලෙස පරිපාලනය කරගෙන ජීවිතය සැලසුම් සහගතව පවත්වා ගත යුතුයි කියන එක අපිත් හිතට ගත යුතුයි. මොකද මෙබඳු නොසිතූ අර්බුද ජීවිතයේදී උදාවිය හැකියි.

 ඔබත් පියවරෙන් පියවර ඒ ස්ථාවරත්වය ගොඩ නගාගත් කෙනෙක්. ඒ ගමනේ මූලාරම්භය සිහිපත් කළොත්?

මගේ ගම මොරටුව. මුලින්ම නිර්දොයි මරිය පාඨශාලාවෙන් (වර්තමානයේ රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පර්ශද පාඨශාලාව) අධ්‍යාපනය හදාරලා ඉන්පසු මොරටු මහා විදුහලට ගියා. මම මුලින්ම නිවස හා පාසල තුළ  දස්කම් පෙන්නලා ඉන්පස්සේ ගම් පළාතේ ප්‍රසංගවල ගී ගැයුවා. මංගල උත්සවයක ගී ගයද්දී ඒ. ජේ. කරීම් මහතා මාව හඳුනාගෙන ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ව මුණ ගැස්සුවා.

ඒ තමයි ප්‍රසංග වේදිකාව තුළ ස්ථාවර වීමේ මූලාරම්භය. 1962 දී හා හා පුරා කැංටි ‍ලේන් ක්ලබ් එකේ රුක්මනී දේවි, එඩී  ජයමාන්න, ලතා වල්‍පොල, ලතා දිසානායක හා මම ගිය ගමන තමයි එහි මූලික අවස්ථාව. එදා හා හා පුරා කියලා මට රුපියල් 5ක් ලැබුණා. ඒ 1962 දී. ඒ කා‍ලේ වනවිට රුපියල් 5 ගොඩක් වටිනවා. මම එයින් ගෙදරට රුපියල් 2ක් දීලා ඉතුරු රුපියල් 3න් මට අවශ්‍ය ගොඩක් දේවල් ගත්තා. ඔය වෙද්දී මට වයස 15යි.

අද ප්‍රසංග වේදිකාවේ ඉහළම මිලක් අය කරන ගායකයන් අතර ඔබත් සිටිනවා නේද?

ප්‍රසංග වේදිකාවේ අය කරන මිල ගණන් පෞද්ගලිකයි. පළාත් අනුව, දුර අනුව එය    වෙනස් වෙනවා.

මේ හැම දෙයක් එක්කම සාමාන්‍ය ජීවිතය ගෙවී යන්නේ කොහොමද?

මට දැන් අවුරුදු 72යි. ඒත් මැරෙන තුරුම සින්දු කියනවා. සතුටින්, සැහැල්ලුවෙන් ඉන්නවා. මගේ බිරිඳ මාලි. මගේ පුතා තරංග. පුතාට ගායන, වාදන හැකියාවන් තිබුණත් තෝරා ගත්තේ පරිගණක ක්ෂේත්‍රය. පුතා විවාහකයි. පුතාගේ බිරිඳ ගයනි. ළඟඳීම මම සීයා කෙනෙක් වෙන්නත් යනවා. ජීවිතේ හැටි ඔහොම තමයි. අපි වයසට යද්දී තව කෙනෙක් ඒ තැනට එනවා. අපි කරපු දේවල් විතරක් මිනිසුන්ගේ හදවතේ ඉතිරි වෙනවා.
 

ආරියවංශ කුලතිලක
නිහාල් නෙල්සන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.