lakbima.lk

මුහුණු‍පොතේ ඉඳන් මාව නොමරා මරනවා

මුහුණු‍පොත කියන්නේ අද බොහෝ දෙනාට නැතුවම බැරි දෙයක්. ඒ වගේම අපට ආදරය කරන රසික පිරිස අතරට යන්නට හැකි හොඳම මාර්ගයක් තමයි මුහුණු‍පොත කියන්නේ. හැබැයි ඉතින් අද කා‍ලේ අපි කවුරුත් හීනෙන්වත් නොහිතන දේවල් වැඩිපුර ඔළුවට කඩා පාත්වෙන්නෙත් මේ කියන මුහුණු‍පොත හරහාම තමයි.
 
මීට සති දෙකකට විතර කලින් මටත් ඔය වගේම ඇබැද්දියකට මුහුණ දෙන්න සිදුවුණා. මේකයි ඒ කතාව.
මීට ටික කාලයකට කලින් මාව හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කළා. 
 
ලංකාවේ හැම මාධ්‍යයක් හරහාම වගේ ඒ පුවත ප්‍රචාරය වුණා. මගේ හිතවතුන් වගේම රසික පිරිසත් ඒ පුවත අහලා කම්පාවට පත්වුණා. කොහොම හරි ඒ අසනීපය සුවවෙලා ඇවිත් මම ආයෙම සුපුරුදු විදියට මගේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. දැන් දෙයියනේ කියලා මම බොහොම සනීපෙන් මගේ වැඩ කටයුතුත් කරගෙන යහතින් ජීවත් වෙනවා.
 

ඔය අතරේ මීට සති දෙකකට විතර කලින් මගේ හිතවතෙක් හදිසියේම මට Call කළා. එයා කතා කළේ බොහොම කලබලෙන් වගෙයි. මට අසාධ්‍ය වෙලා මරණාසන්නව රෝහ‍ලේ ඉන්නවා කියලා ලැබුණු ආරංචියක් ඇත්තද කියලා බලන්නයි ඔහු කතා කරලා තියෙන්නේ. ඒ කතාව ඇහුවම මම උඩබිම බැලුවා. ඔය බොරු ආරංචිය කිව්වේ කවුද කියලා ඇහුවම එයා කිව්වා ඒක Facebook එකේ පළවී තිබුණු ආරංචියක් කියලා.
 
මම සාමාන්‍යයෙන් විසිහතර පැයේම මුහුණු‍පොතේ රැඳිලා ඉන්න කෙනෙක් නමෛයි. ඒ හින්දා මට ඒ වගේ පුවතක් දකින්න ලැබුණේ නැහැ. ආරංචිය ලැබුණු හැටියේ මම Facebook  ගිහින් බැලුවා. ඒ Post  එක දැක්කම මගේ ඇඟම හිරිවැටිලා ගියා. මම අසාධ්‍ය වෙලා රෝහ‍ලේ ඉන්න පින්තූරයකුත් එක්කයි මේ පුවත පළකරලා තිබුණේ.
 
ඒ මොහොතේ ඉඳන් මගේ හිතට විතරක් ‍නෙවෙයි දුරකථනයටත් නිවනක් නැතුව ගියා.
 
දන්නා කියන අය වගේම රසික රසිකාවියන් පවා ඛිචතත කරලා දිගට හරහට මගේ රෝගී  තත්ත්වය ගැන අහනවා. ඒ විතරක් නෙමෙයි දෙතුන් දෙනෙක්ම මාව හොයාගෙන ගෙදරටත් ආවා. මේ සිද්ධිය හින්දා ලොකු මානසික කැළඹීමක් ඇතිවුණත් මම ඒ හැමෝටම හිනාවෙලා සුහදව කතා කරලා ඒක බොරු ආරංචියක් කියලා කිව්වා.
මිනිස්සුන්ට විවිධ විදිහේ කටකතා හැදෙනවා. සමහරු හිතාමතාම අනිත් අයට බොරු කතා හදනවා.
 
ජනප්‍රිය පුද්ගලයන්ට ඒ වගේ දේවල් වෙනවා වැඩියි. ඒත් කෙනෙක් මැරෙන්න වැටිලා ඉන්නවා කියලා බොරු කතාවක් හදන්න තරම් පහත් මට්ටමේ අය ඉන්නවාද කියලා හිතන්නත් පුදුමයි. කාට හරි බොරු කතාවක් හදලා, මඩ ගහලා සතුටු වන අය අතර ඉන්න මේ වගේ අය ලබන සතුට මොකක්ද කියලා හිතද්දී මට ඇතිවෙන්නේ ලොකු කලකිරීමක්. මේ වගේ බොරු ප්‍රචාර නිසා මට හානි දෙකක් සිදුවනවා. එකක් තමයි මීට පස්සේ ඇත්තටම මට ලෙඩක් දුකක් කරදරයක් වෙලා ඒ ගැන Facebook දැම්මත් අනිත් අය ඒක විශ්වාස කරන්නේ නැතුව යන එක. අනෙක තමයි මට ලැබෙන්න යන වැඩ නැතුව යන එක.
 
චිත්‍රපටවලට, ටෙලි නාට්‍යවලට මාව ගන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න නිර්මාණකරුවෝ මාව ඊට එකතු කරගන්න බය වෙන එක. ඇයි ඉතින් බරපතළ ලෙඩෙක්ව රඟපාන්න අරගෙන තමන්ගේ නිර්මාණය කරගෙන යන්න බැහැනේ.
මේ වගේ ව්‍යාජ Post පළකරන අය හොයන්න ලොකු තාක්ෂණික දැනුමක්වත්, කාලයක්වත් මට නැහැ. ඒ නිසා මම වෙනත් කෙනෙකුට කිව්වා මේ වැඩේ කළේ කවුද කියලා හොයලා දෙන්න කියලා. දැනට හොයාගත්තු කරුණු අනුව නම් සංගීතයට සම්බන්ධ කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. 
 
එයා ජනප්‍රිය නැහැ. හැබැයි එයාගේ පිටිපස්සේ ජනප්‍රිය කෙනෙක් ඉන්නවද කියන්න නම් මම දන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේක කරලා තියෙන්නේ Facebook හරහා Share කරන මේ වගේ Post නිසා ඔවුන්ට යම් ආර්ථික ලාභයක් ලැබෙන නිසාද, එහෙමත් නැත්නම් මේ වගේ දේවල් කරලා විකෘති වින්දනයක් ලබන්නද කියලත් මට හරියටම කියන්න බැහැ. ඒ කොහොම වුණත් ඒ වගේ මානසික ලෙඩ්ඩුන්ට මම අනුකම්පා කරනවා.
 
 ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.