lakbima.lk

ඩෙන්සිල් නුගේගොඩ සංගීත කණ්ඩායම් එකතු කරගෙන කරන්න යන දේ



ප්‍රසංග වේදිකාවේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින නිවේදන ශිල්පියකු වන ඩෙන්සිල් නුගේගොඩ අපේ රටේ සංගීත කණ්ඩායම් වෙනුවෙන් අලුත් කටයුත්තකට මැදිහත් වෙලා. ඒ ගැන වැඩිදුර විස්තර ඔහුගෙන්ම විමසන්න අප තීරණය කළා.

• නිවේදකයෙක් වන ඔබ ඇයි සංගීත කණ්ඩායම් වෙනුවෙන් මැදිහත් වෙන්න හිතුවේ?


මම වෘත්තීය නිවේදන ශිල්පියෙක්. මම අද ගොඩ නගාගෙන තිබෙන ස්ථාවරයේ හැටියට මට මගේ වෘත්තියේ යෙදෙන්න එළිමහන් ප්‍රසංග වේදිකාවටම නගින්න වුවමනා නැහැ. හැබැයි මම නිවේදන ශිල්පියෙක් විදිහට ගොඩනැගුණේ එළිමහන් වේදිකාවෙන්. එතනදී මට වැඩිපුරම ගනුදෙනු කරන්න වුණේ සංගීත කණ්ඩායම් එක්කයි. ඉතින් මම හැදුණු තැනට කරන කෘතගුණ සැලකීමක් විදිහට තමයි සංගීත කණ්ඩායම් මුහුණ දෙන ගැටලුවලටත් විසඳුම් ලබාදෙන්න හිතාගෙන ශ්‍රී ලාංකේය සංගීත කණ්ඩායම් සංසදය පිහිටුවන්න මූලිකත්වය ගත්තේ. මේ කටයුත්තේදී මට සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ නායක ප්‍රදීප් කේ. මට විශාල සහයෝගයක් ලබාදුන්නා.


• සංසදයේ මැදිහත්වීමෙන් පසුගියදා සංගීත ප්‍රසංගයකුත් පැවැත්වුණා නේද?
ඔව්. ලංකාවේ මීට කලින් කවදාවත් කරපු නැති විදිහේ වැඩක් කරන්න එදා අපට හැකියාව ලැබුණා. ස්ලම්බා මෙගා බෑන්ඩ් ෂෝ නමින් ජනවාරි 25 වැනිදා පවත්වපු මේ ප්‍රසංගයේදී ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් හයක් ජාඇල නගර සභා ක්‍රීඩාංගණයට ගෙනල්ලා ජනතාව පිනවන්න අපි කටයුතු කළා. සන්ෆ්ලවර්, සහරා ෆ්ලෑෂ්, සනිධප, පර්පල් රේන්ජ්, ඔක්සිජන් සහ ෆීඩ්බෑක් කියන සංගීත කණ්ඩායම් තමයි එදා ප්‍රසංගය සංගීතවත් කළේ. තවත් විශේෂත්වයක් තමයි මේ ප්‍රසංගයට අපි පිටින් කිසිම ගායකයෙක් හෝ ගායිකාවක් සම්බන්ධ කරගත්තේ නැහැ. අපේ සංසදයේ සාමාජිකත්වය දරන සංගීත කණ්ඩායම් 40 ක ගායක ගායිකාවන් පමණයි එදා ගීත ගායනා කළේ.


• මේ විදිහේ ප්‍රසංග ඉදිරියේදීත් පවත්වනවාද?
අවුරුද්දකට මෙවැනි ප්‍රසංග එකක් හෝ දෙකක් පවත්වන්න තමයි අපි සැලසුම් කරගෙන ඉන්නේ. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනෑ දෙයක් තමයි කිසිම ශිල්පියෙක් මේ ප්‍රසංගය සඳහා මුදල් අය කළේ නැහැ. ප්‍රසංගයෙන් ලැබුණු මුළු ආදායමම සංසදයේ සුබසාධන කටයුතු සඳහා තමයි බැර කළේ. හැම සංගීත කණ්ඩායමකම අය වේදිකාවට නග්ගගන්න ඕන නිසා ප්‍රසංගය ළංවෙද්දී අපි සංගමයට සාමාජික කණ්ඩායම් බඳවා ගැනීමත් නතර කළා. හැබැයි නැවතත් සාමාජිකයන් බඳවා ගන්නා විට ලංකාවේ අනික් සංගීත කණ්ඩායම්වලටත් සංගමයේ සාමාජිකත්වය ලබාගන්න පුළුවන්. හැබැයි බඳවා ගැනීම්වලදී අපි ඒ ඒ සංගීත කණ්ඩායම්වල වෘත්තීය මට්ටම ගැනත් සැලකිලිමත් වෙනවා.


• ප්‍රසංගයක් වේලාසනින් අවසන් කළා කියලා පසුගිය දිනක ලංකාවේ ප්‍රකට සංගීත කණ්ඩායමකටත් නරඹන්නන්ගෙන් ප්‍රහාරයක් එල්ල වුණා. මේ විදිහේ ගැටලු විසඳන්න සංසදයට මැදිහත් වෙන්න පුළුවන් වේවිද?
එළිමහන් ප්‍රසංග සඳහා මුළු රටටම බලපාන ‍පොදු නීතියක් නැති හින්දයි ඔය විදිහේ ගැටලු මතුවෙන්නේ. ප්‍රසංගයක් වුණත් අඩුම තරමේ අලුයම 1 වෙනතුරුවත් පවත්වන්න අවසර දෙනවා නම් හුඟාක් හොඳයි. නරඹන්නෝ ප්‍රසංගය හොඳට රසවිඳින වෙලාවක නම් ‍පොලිස් නිලධාරීනුත් ටිකක් මානුෂිකව හිතන්න ඕනෑ. මේ වගේ ප්‍රශ්න වගේම සංගීත කණ්ඩායම් අතර සහජීවනය සහ වෘත්තීයමය ගරුත්වය රැකගැනීම සඳහා සංසදයක් විදිහට මැදිහත්වීම තමයි අපේ අරමුණ.

 - කිෂාන් කනංකෙ-

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.