lakbima.lk

නම නොදා රෝහණ වීජේවීරගේ චිත්‍රය ඇඳපු මහින්ද පතිරගේ අල්ලයි වලිගේ යැයි කියයි

 

 

හාසේ‍යා්ත්පාදක රංගනයෙන් වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවත් ජයගත්තු මහින්ද පතිරගේ අලුත් කටයුත්තකට සූදානම් වෙනවා. ඒ ගැන විමසන්න අපි ඔහුට කතා කළාම ඔහු තවත් විස්තර ගොඩක් රිද්ම පාඨකයන්ට කිව්වා.

මහින්ද අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි?

ඔව්. මගේ අලුත්ම වේදිකා නාට්‍යය අල්ලයි වලිගේ මංගල දර්ශනය මාර්තු 3 වැනිදා 3.30 ට හා 6.30ට බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්වෙනවා. කතාව ලියලා අධ්‍යක්ෂණය කළා විතරක් නමෛයි මේ වේදිකා නාට්‍යයේ එන මාස්ටර් සර් ගේ චරිතය රඟපාන්නේත් මමයි.

මහින්ද වේදිකාවට වැඩි නැඹුරුතාවක් දක්වන හින්දා දැන් ටෙලි නාට්‍යවලින් හා සිනමාවෙන් ඈත් වෙලාද?

මේ දවස්වල මම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපානවා. අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනෑ හා හදන්නට බෑ කියන නාට්‍යත්, රෝහණ බැද්දගේ ගේ නිර්මාණ රාළහාමි, ප්‍රියන්ත රන්ජන්ගේ රයිගමයයි ගම්පලයයි ඒ අතර තියෙනවා. ටෙලි නාට්‍ය එකකට විතරයි මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ. ගෙම්බර ජරමර කියන ඒ ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියෙන් රාත්‍රී 7 ට විකාශය වෙනවා.

අලුත් හොරෙක් ඕනෑ නාට්‍යයේ ඇමැතිතුමාගේ චරිතය රඟපෑවේ ප්‍රවීණ නළු විජය නන්දසිරි. නමුත් ඔහුගේ අභාවයෙන් පසු ඔබට එම චරිතය ලැබි තිබෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙලා සති තුනකට පස්සේ තමයි මම ඒ චරිතය හා හා පුරා රඟපෑවේ. ඇත්තටම මුලදී මම එය භාර ගන්නත් අකමැති වුණා. ඒත් ඒ වනවිට භාරගත් දර්ශන වාර කීපයක්ම තිබූ නිසා නිෂ්පාදන කණ්ඩායම දැඩි අසීරුතාවට පත්වෙලයි හිටියේ. බොහෝ අය මට කිව්වා එම අභියෝගය භාරගන්න කියලා. ඒ හින්දයි මම ඒ චරිතය භාර ගත්තේ. විජය නන්දසිරි මහතාට වගේම මටත් හොඳ ප්‍රතිචාර මේ නාට්‍යය නිසා ලැබෙනවා. විජය නන්දසිරි මහතාගේ බිරිඳ දේවිකා හා පුතා පවා මම මේ චරිතය නිරූපණය කරන හැටි දැකලා මාව අගය කළා.

මහින්ද පතිරගේ කියන දක්ෂ චිත්‍ර ශිල්පියා ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ නේද?

ඇත්ත තමයි. නළුකමට ආවට පස්සේ මහින්ද පතිරගේ කියන චිත්‍ර ශිල්පියා යටපත් වුණා. හැබැයි ඒ දවස්වල මගේ ප්‍රධාන වෘත්තිය වුණේ චිත්‍රපටවල කටවුට් අඳින එකයි. අනුරාධපුරේ විජේන්ද්‍ර, නිව් විජේන්ද්‍ර හා චිත්තම්පලම් යන චිත්‍රපට හෝල්වල කටවුට් ඇන්දේ මමයි. හුලවාලි හා පෙම්බර මධු චිත්‍රපටවලට මම ඇන්ද කටවුට් ඒ චිත්‍රපටවලට ලංකාවේ හැම ශාලාවකම තිබුණ කටවුට් අතරින් හොඳම කටවුට් බව චිත්‍රපට නිෂ්පාදකවරු පවා මට කිව්වා. ඩිජිටල්කරණයත් එක්ක මගේ ඒ රැකියාව මට නැතිවුණා.

රෝහණ විජේවීරගේ චිත්‍රයක් ඇඳලා ඇයි ඒකේ ඔබේ නම සඳහන් නොකළේ?

මට ඒ ඇණවුම ලැබුණේ භීෂණ සමයේ. ඒ කා‍ලේ තිබුණු වාතාවරණය අනුව මම ඒකට මගේ නම දාන්න බයවුණා. අදත් ජනතා විමුක්ති පෙරමුණ ඒ චිත්‍රය භාවිත කරනවා. ඒ විතරක් නමෛයි රෝහණ විජේවීරගේ රුව සම්බන්ධයෙන් ඇති ජනප්‍රිය චිත්‍රයත් ඒකයි.

මහින්ද ඇයි තවම අනුරාධපුරේට වෙලා ඉන්නේ?

මට අනුරාධපුරේ සොමිදිසි කියලා ෂොප් එකක් තියෙනවා. පින්තූර රාමු කිරීම, පූජා භාණ්ඩ හා අටපිරිකර වගේ දේවල් එහි අලෙවි කරනවා. පුතා (නඳුන් ඉෂාර) ත්‍රී ඩී ඇනිමේෂන් හදාරලා දැන් වැල්ලවත්තේ ආයතනයක සේවය කරනවා. මගේ කලා කටයුතු හින්දා බොරලැස්ගමුවේ තාවකාලික නවාතැනක් අරගෙනයි මම දැන් ඉන්නේ. බිරිඳ කුමුදුනී, දුව නිපුනි ඉෂාරා හා පුතා තවමත් අනුරාධපුරේ ඉන්නේ. මගේ දුව පුංචි කා‍ලේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ අතුල අධිකාරි සමග ගීතමය ජවනිකාවකට පෙනී සිටියා. මේ දවස්වල දුවයි, නදී කම්මැල්ලවීරයි ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වන වේදිකා නාට්‍යයක රඟපාන්න ගිහින් ඉන්නේ.

ආරියවංශ කුලතිලක

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.