lakbima.lk

ලංකාවේ රූපවාහිනී නාලිකා දෙකක් අතර තරගයට මැදිවූ කුල්ෆි කුමාර් බජෙවාලා

දිනෙන් දින නිර්මාණය වන  ටෙලි නාට්‍ය අතර දැන් පවතින්නේ තරගයක් කීවොත් එහි වරදක් නැහැ. එක් නාලිකාවක් තවත් නාලිකාවක් පරයා ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නට උත්සාහ දරනවා. ඇතැම් නාලිකා විදෙස් ටෙලි නාට්‍ය සිංහල බසින් හඬ කවා විකාශනය කරද්දී, තවත් නාලිකාවක් ඒ කතාව දේශීය නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්නට උත්සාහ ගන්නවා. පසුගිය කාලය පුරාම අපි එවැනි නිර්මාණ දැක්කා. බුද්ධ චරිතය, රාවණා චරිතය ආදිය මේවාට උදාහරණ ලෙස සඳහන් කළ හැකියි. මේ දිනවල අප රටේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් සඳහා පාදක වුණු තවත් ඉන්දියානු ටෙලි නිර්මාණයක් තමයි 'කුල්ෆි කුමාර් බජෙවාලා' (කුල්ෆි කුමාර් නම් සංගීතඥයා) මේ කතාව අප රටේ නිෂ්පාදනයක් ලෙස ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙද්දී, මේ නිර්මාණයම 'මිණි පහන ඔබයි' නමින් සිංහල බසින් හඬ කවා ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වෙනවා.

ඉන්දියානු සංගීතමය ටෙලි නාට්‍ය මාලාවක් ලෙස නිෂ්පාදනය වුණු මෙය 2018 මාර්තු 19 වැනිදා 'ස්ටාර්ප්ලස්' සහ 'හොට්ස්ටාර්' යන නාලිකා දෙක ඔස්සේ විකාශය වන්නට පටන් ගත්තා. මේ ටෙලි නාට්‍යය සඳහා පාදක වී තිබෙන්නේ '‍පොතොල් කුමාර් ගාන්වාලා' කියන බෙංගාලි ටෙලි නාට්‍ය මාලාවයි. එය 2015 වසරේදී 'ස්ටාර් ජල්සා' නම් නාලිකාව ඔස්සේ විකාශය වුණා.

ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට මේ කතාව ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු නැතත්, තවමත් මෙය නරඹා නැති 'රිද්ම' පාඨකයන් වෙනුවෙන් මේ ගැන කෙටි හැඳින්වීමක් කරන එක වඩා සුදුසු යැයි අපි සිතුවා.

කුල්ෆි කියන්නේ සුප්‍රකට ගායකයකු වූ සිකන්දර් සිං ගිල්ගේ සහ නිම්රත්ගේ දියණියයි. සිකන්දර් ගායකයකු වෙමින් සිටි සමයේ නිම්රත් සමග ආදරයෙන් වෙලී ඇයව විවාහ කරගත්තත්, ඔහු කමෛන් ප්‍රසිද්ධියට පත් වෙද්දී නිම්රත් පවසන්නේ ඔහුට අවශ්‍ය තමාද, නැත්නම් සංගීතයද යන්න තෝරා ගත යුතු බවයි. එහිදී තීරණයක් ගන්නා සිකන්දර් නිම්රත් අතහැර ලව්ලීන් සමග විවාහ වෙනවා. නමුත් ඒ වන විටත් නිම්රත් ඔහු නිසා මවක් බවට පත්ව සිටින බව ඔහු දන්නේ නැහැ. ලව්ලීන්ද කලින් විවාහ වී සිටි කාන්තාවක්. ඇයට අමීරා නමින් දියණියක් සිටිනවා. මේ අතරවාරයේ තමයි කුල්ෆි ඉපදෙන්නෙත්. නමුත් ඇය සිය පියාව හඳුනන්නේ නැහැ. කෙසේ නමුත් ඇයට ගායන හැකියාව සහජයෙන් පිහිටා තිබෙන බව පෙනෙනවා. මේ අතරේ නිම්රත් සහ කුල්ෆි, නිම්රත්ගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වන ගමේ ජීවත් වන්නට යනවා. නිම්රත්ගේ නෑනා, කුල්ෆිට කැමති නැතත් ඇගේ ගායන හැකියාවෙන් මුදල් උපයා ගන්නට තීරණය කරනවා. මේ අතරේ ලව්ලීන්ගේ මෝටර් රථයට හැපී නිම්රත් මිය යනවා.

මෙන්න මේ ආකාරයට කුතුහලයෙන් පිරි සිදුවීම්වලින් යුක්තව කතාව ඉදිරියට ගලාගෙන යනවා.

මෙහි ප්‍රධාන චරිතය වන කුල්ෆි සිං ගිල්ගේ චරිතය නිරූපණය කරන්නේ ඉන්දීය ළමා නිළියක වන ආක්රිති ෂර්මා විසින්. ඇය මේ දිනවල ඉන්දියාවේ මෙන්ම අපේ රටේත් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් දැරියක් බවට පත්වී හමාරයි. 2011 වසරේදී ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ උපන් ඇය රඟපාන පළමු ටෙලි නාට්‍යය මෙයයි. මේ නාට්‍යය සඳහා ඇය සතියක් තුළ ගීත 8 ක් කටපාඩම් කරගත් බව සඳහන් වෙනවා. ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිසාම ඇයව දිල්ලියේ සිට මුම්බායි කරා රැගෙන ආ බව ඇගේ පියා වන හරි ෂර්මා පවසනවා. ඔවුන්ගේ බලා‍පොරොත්තුව වන්නේ මුම්බායි සිය ස්ථිර වාසස්ථානය බවට පත්කර ගැනීමයි. එයට එකම හේතුව වී ඇත්තේ සිය දියණිය නිළියක් වනු දැකීම නිසා බව ආක්රිතිගේ මව වන ඩිම්බල් ෂර්මා පවසනවා.

'කුල්ෆි කුමාර් බජෙවාලා' දැනට පළමු කතා මාලාව පමණක් නිෂ්පාදනය කොට ඇති අතර එය මිනිත්තු 21 කොටස් 210 කින් යුක්ත වෙනවා. මෙය විකාශය වන්නට ආරම්භ කළ මොහොතේ සිට ලැබි ඇත්තේ බහුල වශයෙන්ම ධනාත්මක ප්‍රතිචාර වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්. බොහෝ විචාරකයන් මෙහි ප්‍රධාන චරිත, කතාව, සංකල්පය සහ සංගීතය පිළිබඳ අගය කොට කතාබහට ලක්කොට තිබෙනවා. මෙය විකාශය වී පළමු සතිය තුළ ඉන්දියාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය 16 අතරට පැමිණෙන්ට සමත් වුණා. සති 38 ක් ගතවෙද්දී එය පැවැතුණේ තෙවැනි ස්ථානයේ. ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන 5 ක් දිනා ගන්නටද මෙය සමත් වී තිබෙනවා. 2018 වසරේ හොඳම ළමා නිළියට හිමි ස්වර්ණ සම්මානය දිනා ගත්තේ ආක්රිති ෂර්මා.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.