lakbima.lk

උපරිම දක්ෂතා පෙන්නුවත් SMS මනාප දිනාගන්න මට බැරි වුණා

ක්‍රිෂාධි රණතුංග කියන්නේ පසුගියදා නිමාවට පත්වූ දෙරණ ඩී්‍රම් ස්ටාර් අටවැනි අදියරේදී බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ තරගකාරියක්. වෙනස් කටහඬක් ඇති ගායිකාවක ලෙස බොහෝ විට විනිශ්චය මණ්ඩලයේද ඇගැයුමට පාත්‍රවූ ඇය, අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ එකම තරගකාරිනිය බවට පත්වීමටද සමත් වූණා. අවසාන මහා තරගයේදී ලැබුණු තීරණය ගැන අදටත් බොහෝ දෙනා විවිධ මත පළ කරද්දී ක්‍රිෂාධි ඒ ගැන “රිද්ම” ට කීවේ මේ වගේ කතාවක්.

ඩී්‍රම් ස්ටාර් අවසාන මහා තරගයේදී ඔබට ලැබුණේ තුන්වැනි ස්ථානයයි. කිරුළ අහිමිවීම ගැන ක්‍රිෂාධිට කනගාටුවක්ද තියෙන්නේ?

නැහැ. අවසාන මහා තරගයට සුදුසුකම් ලැබිමත් ලොකු අවස්ථාවක්නේ. ඒ නිසා පළමු තැන නොලැබුණා කියලා මට කිසිම කනගාටුවක් නැහැ.

ඔබට හිතෙන විදිහට ඇයි ඔබට කිරුළ දිනාගන්න බැරි වුණේ?

ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. අවසාන මහා තරගයේදී මම මගේ උපරිම දක්ෂතාව පෙන්නුවා. ඒත් තරගය ජයග්‍රහණය කරන්න තරම් එස්.එම්.එස්. මනාප දිනාගන්න මට බැරිවුණා.

තරගයේ මේ තරම් දුරක් එන්න ලැබේවි කියලා මුලදී බලා‍පොරොත්තුවක් තිබුණාද?

විනිශ්චයකරුවන්ගේ මනාපය මට ලැබේවි කියලා විශ්වාසයක් මට මුල ඉඳන්ම තිබුණා. හැබැයි එස්.එම්.එස්. වලින් මේ තරම් දුරක් එන්න ලැබේවි කියලා නම් හිතුවේ නැහැ.

අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ එකම තරගකාරිනිය ඔබ වීම ඔබට දැනුණේ මොන විදිහටද?

ඒ ලැබුණු අවස්ථාව මට සතුටුයි. මොකද, මේ තරම් දුරක් එන්න වෙනත් කිසිම තරගකාරිනියකට බැරිවුණානේ. අනික මේක මම සහභාගි වූ මුල්ම රියැලිටි තරගය. ඒ නිසා තරගකාරිනියක් හැටියට මේ ආපු දුර ගැන මම සතුටු වෙනවා.

අනික් තරගකරුවන් දෙදෙනා තවමත් පාසල් ශිෂ්‍යයන් වීම නිසාත්, ඔවුන් වටා විශාල පිරිසක් එක්රොක් වී සිටි බවක් දැකගන්නට ලැබුණා. ඔබට එබඳු ශක්තියක් නොලැබිමත් තරගයේ අවසාන තීරණයට බලපාන්න ඇති නේද?

ඇත්ත. ඒ අයට එවැනි ලොකු සහයෝගයක් තිබුණා. හැබැයි ඒ වගේ සහයෝගයක් මට තිබුණේ නැහැ. මොකද, මම මේ වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් හමාර කරලයි ඉන්නේ. ඒත් මා එක්ක තරග වැදුණු තනුර සහ රවීන් කියන මල්ලිලා දෙන්නාත් හුඟාක් දක්ෂයි. මේ වගේ ප්‍රතිඵල බලා‍පොරොත්තුවෙන් තමයි අපි රියැලිටි තරගවලට සහභාගි වෙන්න ඕනේ.

එස්.එම්.එස්. මනාපයෙන් ජයග්‍රාහකයන් තෝරාගන්නා තරගයක මේ තරම් ඉදිරියට යන්න මොන වගේ ප්‍රචාරක ව්‍යාපාරයක්ද ඔබ දියත් කළේ?

තරගකාරිනියක් නිසා මට තැන තැන ගිහින් ප්‍රචාරක කටයුතුවලට ගොඩක් සහභාගි වෙන්න බැරිවුණා. ඒත් මගේ ගම් පළාත වන ‘ගල්දොළ’ ජනතාව ඇතුළුව තවත් විශාල පිරිසක් මේ ගමනේදී මගේ පිටුපස හිටියා.

ඔබ බොහෝවිට ගායන ශිල්පීන්ගේ ගීත තෝරාගැනීම ගැනත් බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණා. ගායිකාවන්ගේ ගීත ඕනෑතරම් තිබියදී ඇයි ඔබ ඒ වගේ අත්හදා බැලීමක් කළේ?

සාමාන්‍යයෙන් බොහෝ ගායිකාවන්ගේ කටහඬවල්වල ඉහළ පරාසයක් තමයි තියෙන්නේ. නමුත් මගේ කටහ¾ෙඩ් තියෙන්නේ පහළ පරාසයක් නිසා මම හිතුවා මම ගායකයන්ගේ ගීත ගායනා කළොත් ඒක ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි කියලා. මගේ කටහ¾ෙඩ් තියෙන විශේෂත්වය ගැන මම හොඳටම අවබෝධ කරගත්තේ විනිශ්චය මණ්ඩලයෙන් මට ලැබුණු ප්‍රතිචාර නිසයි. නදීක ගුරුගේ සර් කිව්වා මේ වගේ කටහඬක් මීට කලින් රියැලිටි තරගයකදී අහලා නෑ කියලා. මම ගායන ශිල්පීන්ගේ ගීත ගායනා කිරීම ගැන ප්‍රේක්ෂකයන්ට විවිධ මත තිබුණා. හැබැයි මට හිතෙන්නේ ඒ ගැන මට හොඳ පැත්තට ලැබුණු ප්‍රතිචාර හුඟාක් වැඩියි කියලයි.

ඩී්‍රම් ස්ටාර් තරගයෙන් පස්සේ ඔබ ඉදිරි කටයුතු සැලසුම් කරගෙන ඉන්නේ මොන විදිහටද?

ළඟදීම මගේම කියලා ගීතයක් එළිදක්වන්න කටයුතු සූදානම් කරගෙන යනවා. මේ වෙද්දී මම කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් ආර්ථික විද්‍යා විශේෂ උපාධිය සම්පූර්ණ කරලයි ඉන්නේ. ඉතින් ඒ අංශයෙන් රැකියාවක් කරනා ගමන් සංගීතය පැත්තෙනුත් ඉදිරියට යන්නයි මම හිතාගෙන ඉන්නේ.

පවු‍ලේ තොරතුරු ගැනත් කතා කළොත්?

මගේ පවු‍ලේ තව ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. ඒ අයගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා ඩී්‍රම් ස්ටාර් තරගාවලියේ මේ තරම් දුරක් එන්න.

ඒ වගේම මේ ගමනේදී තවත් විශේෂ කෙනෙකුත් ඔබේ පසුපස හිටියලු නේද?

ඔව්. ඒ තමයි මගේ පෙම්වතා. එයා මා එක්ක විශ්වවිද්‍යාලයේ එකට අධ්‍යාපනය හදාරපු කෙනෙක්. ඔහුගෙන් ලැබුණු සහයෝගයත් අමතක කරන්න බැහැ.

කිෂාන් කනංකෙ

ඡායාරූප - මංජුල පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.