lakbima.lk

ජෝතිපාලව වෙනස් මගකට යොමු කළ තිස්ස ඩයස්

“එච්. ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් මේ නොනිමෙන දිවි ගමනේ කියන ගීතය මගේ අතින් ලියවුණේ 1980 ගණන්වලදීයි. බොහෝ අය ඒ කා‍ලේ හිතුවා මේ ගීතයෙන් කියවෙන්නේ ජෝති අයියාගේ ජීවිතය ගැන සැබෑ කතාවක් කියලා. අදටත් එහෙම හිතන අය ඇති. හැබැයි ඇත්ත ඒක ‍නෙවෙයි. ඒ ගීතයෙන් කියවෙන්නේ මගේ කතාව. තාත්තාගේ අඩුව දැනෙන්න නොදී අම්මා මාව හදාවඩා ගත් හැටි ගැන හිතලා තමයි මම ඒ ගීතය රචනා කළේ.

අදටත් ඒක ලංකාවේ ජනප්‍රියම මව් ගුණ ගීතයක්. හැබැයි ඒ ගීතය ලියපු මම අද ගත කරන්නේ මොන විදිහේ ජීවිතයක්ද කියලා කලා ලෝකයේ හුඟක් අය පවා දන්නේ නැහැ. මෙහෙම කියන්නේ තිස්ස ඩයස් නමැති ප්‍රවීණ කලාකරුවායි. ඔහු ගී පද රචකයෙකු පමණක් ‍නෙවෙයි, රංගන ශිල්පියෙක් සහ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් ඔහු කළ නිර්මාණ රැසකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. මේ වනවිට තරමක් රෝගාතූරව සිටින තිස්ස ඩයස්ට රිද්ම පාඨකයන් වෙනුවෙන් අපට කියන්නට බොහෝ දෑ තිබුණා.

එච්. ආර්. ජෝතිපාලයන් සහ ඔබ අතර තිබුණ සබැඳියාව මොන වගේ එකක්ද?

මම දැනට ගීත දහසකට වඩා ලියලා ඇති. ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරා ගැයූ අවසන් ගීතය පවා ලිව්වේ මමයි. හැබැයි මම ලියපු ගීතවලිනුත් වැඩිපුරම ජනතාව අතරට ගියේ ජෝති අයියා ගායනා කළ ගීත.දැනට ජීවතුන් අතර සිටින ගී පද රචකයන්ගෙන් එච්. ආර්. ජෝතිපාලයන්ට වැඩිපුරම ගීත ලියපු ගී පද රචකයා මමයි. මම ජෝති අයියාට ගීත 35 ක් ලිව්වා. ඒ හුඟක් ගීත ජනප්‍රිය වුණා. මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි, පතනා දේ ඉටුවේ නම් සහ නව අවුරුදු දා බක් මාසේ ඒ අතරින් ගීත කිහිපයක් විතරයි.

මේ නොනිමෙන දිවි ගමනේ'' කියන අදටත් අතිශය ජනප්‍රිය ගීතය ගැන බොහොම අපූරු මතකයන් ඔබට තිබෙනවාලු නේද?

ඔව්. 1984 වසරේදී එළිදක්වපු ජෝති අයියාගේ කැසට් පටයක් වෙනුවෙනුයි මම ඒ ගීතය ලිව්වේ. ජෝති අයියා තමන්ගේ අම්මාට හුඟාක් ආදරේ කරපු පුතෙක්. ගීතය මුලින්ම පටිගත කරන වෙලාවේ ජෝති අයියාගේ ඇස්වල කඳුළු පිරුණා. හුඟාක් අය හිතුවා ඒ ගීතයෙන් කියැවෙන්නේ ජෝති අයියාගේ ජීවිතයේ ඇත්ත කතාවක් කියලා. ජෝති අයියාගේ තාත්තා ඒ වෙනකොටත් ජීවතුන් අතර හිටියා. මේ ගීතයේ පද පෙළක් තියෙනවා පියතුමා නැති දා ඉඳලා, ගියෙ නෑ මා තනිකරලා කියලා. ඒක අහලා ජෝති අයියාගේ තාත්තා ජෝති අයියාගෙන් ඇහුවලු කවද්ද මම උඹව දාලා ගියේ කියලා

ඔබ ලියූ ගීත සඳහා ජෝතිපාලයන්ගෙන් ඔබට ලැබුණේ මොන වගේ සහතිකයක්ද?

මම හිතන්නේ ගායකයෙක් විදිහට ජෝති අයියාව වෙනස් මගකට යොමු කළේ මමයි කීවොත් නිවැරදියි. මොකද මම විවිධ තේමාවන් ගැන ගීත ඔහු වෙනුවෙන් ලිව්වා. ප්‍රේම ගීත ලිව්වේ ටිකයි. මේ විවිධත්වය නිසාමද කොහෙද අන්තිම කා‍ලේ දවසක් ජෝති අයියා මට කිව්වා මීට පස්සේ මම ගායනා කරන්නේ ඔයා ලියන ගීත විතරයි කියලා.

ඔබ ලෙඩ ඇඳට වැටුණේ කොහොමද?

මීට අවුරුද්දකට විතර කලින් මොළයට විෂබිජයක් ඇතුළු වෙලා මම දැඩි ලෙස රෝගාතුර වුණා. මගේ බිරිඳවත් විශ්වාස කළේ නැහැ ඒ වෙලාවේ මගේ ජීවිතය බේරේවි කියලා. නමුත් මොකක්දෝ වාසනාවකට මගේ ජීවිතයට අනතුරක් වුණේ නැහැ. අසනීප තත්ත්වය නිසා මට හරියට ඇවිද ගන්නවත් බැරුවයි හිටියේ. දැන් නම් මට ටිකක් සුවයි. ඒත් පඩි පෙළක් නගිද්දී එහෙම කාගේවත් වාරුවක් නැතිව තනියම යන්න මට බැහැ.

එදා ඔබේ ළඟින් හිටපු කලාකරුවන් දැනුත් ඔබ ගැන සොයා බලනවද?

මම අසනීප වෙච්ච වෙලාවේ කලාකරුවන් පිරිසක් එකතු වෙලා මා වෙනුවෙන් බෝධි පූජාවක් පවා සංවිධානය කළා. හැබැයි පුදුමේ කියන්නේ මගෙන් උදව් උපකාර ලබාගත් කලාකරුවන් ‍නෙවෙයි ඒ වෙලාවේ මා ගැන හොයා බැලුවේ. නිහාල් නෙල්සන් වගේ මගෙන් කිසිම උපකාරයක් නොලද කලාකරුවන් මා වෙනුවෙන් හුඟාක් දේවල් කළා. මම රංගන සහ ගායන ක්ෂේත්‍රයේ බොහෝ කලාකරුවන් අලුතෙන් හඳුන්වා දුන් කෙනෙක්. හැබැයි ඒ කාගෙන්වත් මට අදටත් දුරකථන ඇමතුමක්වත් ලැබෙන්නේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ විශාල කලකිරීමක්.

ඔබේ ඉදිරි වැඩ කටයුතුවලට මොන විදිහේ උපකාරයක්ද ඔබ බලා‍පොරොත්තු වෙන්නේ?

මම 1970 ගණන්වලදී ජනතා පුවත්පතේ මාධ්‍යවේදියෙක් විදියටයි වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. ඊට පස්සේ මම පුවත්පත් කිහිපයකටම නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට සම්බන්ධ වෙලා හිටියා. අදටත් මම ගෙදරට වෙලා ලියන කියන වැඩ තමයි කරන්නේ. මම මීට අවුරුදු දෙකකට විතර කලින් ආරම්භ කරපු සෙල්ලම් නැත්නම් ලෙල්ලම් කියන චිත්‍රපටයේ  වැඩත් මගේ අසනීප තත්ත්වය නිසා දැන් නතර වෙලයි තියෙන්නේ. මගේ බේත් හේත්වලටත් දැන් මාසිකව විශාල මුදලක් වැයවෙනවා. මම අලුතෙන් ලියලා තියෙන ‍පොත් කිහිපයවත් මුද්‍රණය කරගන්න මේ වෙලාවේ කවුරු හරි උපකාර කරනවා නම් ඒක ලොකු දෙයක්.

කිෂාන් කනංකෙ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.