lakbima.lk

මේ විදියට ඡායාරූප ගන්න විශේෂ හේතුවක් තිබුණා

 
 හිමාලිට ආයෙමත් මනාලියක් වෙන්න හිතුණේ ඇයි?
 
ඇත්තම කීවොත් මම නැවත වතාවක් මනාලියක් වුණේ නැහැ. මංගල ඇඳුමින් සැරසිලා ෆොටෝ ෂූට් එකකට පෙනී සිටියා විතරයි.
 
 ඇයි මංගල ඇඳුමින්ම සැරසිලා ඡායාරූප ගන්න හිතුණේ?
 
ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පසුගිය ජනවාරි මාසයට අපි විවාහ වෙලා අවුරුදු දොළහක් සම්පූර්ණ වුණා. ඒ නිසා මමයි, මගේ මහත්තයයි තීරණය කළා කාලෙකට පස්සේ මේ වගේ වෙනස් ෆොටෝ ෂූට් එකකුත් කරලා ඒ සතුට සමරන්න.
 
 ඇයි ඒ සතුට සමරන්න ටිකක් ප්‍රමාද වුණේ?
 
පුතා ලැබුණට පස්සේ මම ටිකක් මහත් වෙලයි හිටියේ. ඒ නිසා මනාලියක් විදිහට සැරසුණොත් මාව කැතට පෙනෙයිදෝ කියලා මට හිතුණා. ඒ හේතුව නිසයි මේ කටයුත්ත ටිකක් ප්‍රමාද කරන්න හිතුවේ.
 

 විවාහ සංවත්සරයේ සතුට සමරද්දී පුතාවත් අමතක කළේ නැහැ නේද?
 
අනේ ඔව්. පුතා මේ ඡායාරූපවලට පෙනී හිටපු එක තමයි ලොකුම විශේෂත්වය. පුතාට දැන් මාස දහයයි. අපි කවදාවත් මීට කලින් පුතාගේ ඡායාරූප මේ විදිහට ප්‍රසිද්ධ කරලා නැහැ.
 
 පුතාගේ උපතත් එක්කම හිමාලි රඟපෑමට සමු දුන්නාද?
 
එහෙම දෙයක් නෑ. ඒත් පුතා තවම ‍පොඩි නිසා මම එයා එක්කම ඉන්න ඕනෑ. ඒ හින්දා මම හිතාගෙන ඉන්නේ පුතාට අවුරුදු දෙකක්වත් වනතුරු රංගන කටයුතුවලට දායක නොවෙන්නයි. අනික පුතා වෙනුවෙන් කැප කිරීමක් කරලා හරි රඟපාන්න ඕන විදිහේ කිසිම නිර්මාණයකට මට ළඟදී ආරාධනා ලැබුණේ නැහැ.
 
 ඔබේ නර්තන කණ්ඩායමට මොකද වුණේ?
 
පුතා ලැබෙන්න ඉන්න කාලෙම මම තීරණය කළා නර්තන කණ්ඩායමේ වැඩ කටයුතුවලින් ඈත්වෙන්න ඕන කියලා. මොකද, පුතාගේ වැඩත් එක්ක නර්තන කණ්ඩායමේ වැඩ කටයුතුවලට කාලයක් යනතුරු සම්බන්ධ වෙන්න මට බැරිවෙන නිසා. 
 
ඒත් “සෙන්ෂේසන්” කියන මගේ නර්තන කණ්ඩායමේ නම අහද්දීම බොහෝ අය බලා‍පොරොත්තු වෙනවා මම නර්තන කණ්ඩායමේ ඉන්නම ඕනෑ කියලා. ප්‍රසංගයකට ආරාධනා කළත් “අ‍පෝ... හිමාලි නැත්නම් වැඩක් නෑ” කියලයි සමහරු කියන්නේ. ඒ හින්දා මම හිතුවා නර්තන කණ්ඩායමේ නමත් රැකගෙන එය නවත්වා දැමීම හොඳයි කියලා.
 

ඔබේ තීරණය නිසා නර්තන කණ්ඩායමේ ශිල්පිනියන්ට අසාධාරණයක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
 
එහෙම කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒ සමහරු තමන්ගේම කියලා නර්තන කණ්ඩායම් පිහිටුවා ගත්තා. තවත් සමහරු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුරේ තමයි නර්තන කටයුතුවලට එක්වුණේ. ඒ හැමෝම මා එක්ක අදටත් බොහොම සුහදයි.
 
කිෂාන් කනංකෙ
 
ඡායාරූප - මංජුල පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.