lakbima.lk

මගෙයි මාලාගෙයි ලොකු වෙනසක් නෑ

ටෙලි නාට්‍යවල චරිත ‍පොදු ජනතාව අතරට පහසුවෙන්ම යන හින්දා ටෙලි නළු නිළියන්ට ඉක්මනින්ම ජනප්‍රිය චරිත වීමට පුළුවන්. හැබැයි මේ විදියට ජනප්‍රිය චරිත බවට බොහෝ විට පත්වන්නේ නාට්‍යයේ ප්‍රධාන චරිතයි. ඒ කියන්නේ කොල්ලයි කෙල්ලයි දෙන්නයි. තමන් ආශාවෙන් බලන ටෙලි කතාවේ ඉන්න ආදරණීය පෙම් යුවළට අන්තිමට මොකද වෙන්නේ කියලා ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නෙත් බොහොම ආශාවෙන්. ඔය විදිහට මේ දවස්වල බොහෝ දෙනෙකු කතා කරන “ටෙලි චරිතයක්” ගැන කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. හැබැයි මේ චරිතය අදාළ කතාවේ ප්‍රධාන නළු නිළි දෙ‍පොළ නම් ‍නෙවෙයි. මේ චරිතය දුෂ්ට චරිතයක්. ඒත් ඒ චරිතය රඟපාන නිළියගේ අපූරු ඉදිරිපත් කිරීමේ විලාසය හින්දම අද හැමෝම මේ චරිතය ගැන කතා කරනවා. ඒ තමයි “සකූගේ කතාව“ නාට්‍යයේ මාලා. හැබැයි ඇගේ ඇත්ත නම හර්ෂිකා කෞමලී රත්නායකයි.

හර්ෂිකා දැන් මාලාම වෙලා නේද?

අනේ ඔව්, පාරෙ තොටේ යද්දීත් ගොඩක් අය “මාලා” එහෙම නැත්නම් මාලක්කා කියලා තමයි කතා කරන්නේ. ඒ විතරත් නම් කමක් නැහැ. මම දන්න අය අතරේ ඉන්න සමහර අයත් මගේ අංකය ඩධදඥ එකේ ඉචමඥ කරලා තියෙන්නෙත් මාලා කියලයි.

මාලාගේ චරිතය මේ තරම් අපූරුවට රඟපාන්නේ හර්ෂිකා සැබෑ ජීවිතයේත් “මාලා” වගේමද?

මමත් ටිකක් විතර විනෝද බර චරිතයක්. යාළුවොත් එක්ක එකතු වුණාම ඒ විනෝදබර ගති වැඩි වෙනවා. හැබැයි ඉතින් මම “මාලා” තරම් පිස්සු වැඩ කරන්නේ නම් නැහැ.

හර්ෂිකා පුංචි තිරයට අලුත් මුහුණක් වුණත් වේදිකාව ඔබට නුහුරු නැහැ. පාසල් අවධියේම නේද ඔබ රංගනයට අවතීර්ණ වුණේ?

මගේ ගම නුවර පරණපට්ටිය. ඉගෙන ගත්තේ ස්වර්ණමාලි බාලිකා විදුහ‍ලේ. පුංචි කා‍ලේ ඉඳන් මම ක්‍රීඩාවට දක්ෂයි. කඩුලු පැනීමෙන් හා නෙට්බෝල්වලින් ජාතික මට්ටමේ ජයග්‍රහණයන් ලබලා තියෙනවා. උසස් පෙළට නැටුම්, නාට්‍ය කලාව හා තර්ක ශාස්ත්‍රය තෝරා ගත්තට පස්සේ තමයි කලාව පැත්තට යොමුවුණේ. පාස‍ලේ වගේම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඇන්ටිගනී, විසේකාරියෝ. ‍පොත් ගුල්ලි, දඟ මල්ල වගේ වේදිකා නාට්‍යවලත් රඟපාලා තියෙනවා.

සකූගේ කතාවේ “මාලා” වුණේ කොහොමද?

ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාලා තිබුණට මම ප්‍රාසාංගික ටෙලි නාට්‍යවල රඟපාලා තිබුණේ නැහැ. මම රඟපෑ “ප්‍රේමවන්ත කුමාරයො” වේදිකා නාට්‍යය ප්‍රියන්ත කෙළඹගේ බලල තිබුණා. සකූගේ කතාව කරද්දී ඔහුට මාව මතක් වෙලා තමයි මට ආරාධනා කළේ.

පුංචි තිරයේ නූගත්, මෝඩ, කපටි ගැහැනියක වුණාට සැබෑ ජීවිතයේ ඔබ ඊට හාත්පසින්ම වෙනස්...

මම වෘත්තියෙන් කථිකාචාර්යවරියක්. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව විෂයයන් හා නැටුම් විෂයය උගන්වනවා.

ඔබට නාට්‍ය හා රංග කලාව උගන්නපු ගුරුවරයා අද ඔබේ ජීවිතයේම කොටසක් වෙලා. ඒ ගැනත් අපි කතා කරමු...

රුහුණු විශ්වවිද්‍යාලයේ මට නාට්‍ය හා රංගකලාව ඉගැන්වූයේ ප්‍රියංකර රත්නායක. එදා ඔහු මගේ ගුරුතුමා. අද ඔහු මගේ සැමියා. අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව බිනරිට වයස 11යි. දෙවැනියා කිනරිට වයස 3 1/2යි.

සකූගේ කතාවේ “මාලා” ගැන ප්‍රියංකරගේ ප්‍රතිචාර මොනවගේද?

එයා මගේ ගුරුවරයා විදියට මගේ දෙබසක පුංචි ඉරියව්වක අඩුපාඩු පෙන්වලා දෙනවා. සැමියා විදියට නම් දක්වන්නේ එකම ප්‍රතිචාරයයි.

මොකක්ද ඒ ?

මාලාගෙයි ඔයාගෙයි ලොකු වෙනසක් නෑනේ. කටවල් දෙකම එකයිනේ... කියනවා. (සිනා)

සකූගේ කතාව රූගත කරද්දී සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

එක ජවනිකාවක් තියෙනවා ප්‍රසන්නජිත් අයියා මට කම්මුලට ගහද්දී මම බේසමත් පෙරළාගෙන ගඟට වැටෙන ජවනිකාවක්. ඔන්න රූගත කිරීම් පටන් ගත්තා.

ප්‍රසන්නජිත් අයියා මට ගැහුවා... මට වැටෙන්න අමතක වුණා. ඒ නිසා ප්‍රසන්නජිත් අයියා මාව ඇත්තටම ගඟට තල්ලු කළා. මම පණ බයේ ගැහෙන්න ගත්තා. හිතුවටත් වඩා හොඳට ජවනිකාව රූගත කෙරුණා කියලා අධ්‍යක්ෂතුමා කිව්වා.  තවත් අවස්ථාවක මම ‍පොල් බෑයක් සහ හිරමනයක් අරගෙන නටන ජවනිකාවක් කරද්දී නම් කැමරා කණ්ඩායම අත්වලින් කටවල් තදකරගෙන ඉඳලා “කට්” කිව්ව හැටියේ මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. එදා මම නිසා ටෙලි නාට්‍ය කණ්ඩායමටම හිනා.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.