lakbima.lk

අවුරුදු 14දී මට හමුවූ මගේ සංගීත ගුරුතුමා අද මගේ පුතාටත් සංගීතය කියලා දෙනවා

අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නේ බොහෝදෙනා ඇළුම් කරන හඬක් ඇති ගායන ශිල්පියෙක්. ඔහු මීට කලකට ඉහතදී ගායනා කළ බොහෝ ගීත අදටත් ඉතා ජනප්‍රියයි. ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ නිතර දක්නට ලැබෙන මුහුණක් වන අසංකගේ අලුත් ගීත එදා තරම් අද අසන්නට නොලැබෙන්නේ මන්ද යන්න ඔහුට ඇළුම් කරන ගීතලෝලීන් බොහෝදෙනා තුළ තිබෙන පැනයක්. එම පැනයට මෙම සංවාදයේදී සෘජු පිළිතුරක් දීමටත් අසංක ප්‍රියමන්ත අමතක කළේ නැහැ.

බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන් අද අලුතෙන් ගීත ගායනා කරන්නේ නැහැ. තමන්ගේ පැරණි, ජනප්‍රිය ගීතවලින්ම තමයි ඔවුන් යැපෙන්නේ. ඔබටත් අද සිද්ධවෙලා තියෙන්නේ ඒ දේම නේද?

කොහෙත්ම නැහැ. මගේ පැරණි ගීත රැසක් අදටත් ජනප්‍රිය බව ඇත්ත. ප්‍රසංගයකට ගියත් රසික රසිකාවියෝ මගෙන් ඉල්ලන්නේ ඒ ගීත තමයි. හැබැයි එහෙම වුණා කියලා මම අලුතෙන් ගීත නිර්මාණය කරන එක නවත්වලා නැහැ.

එහෙනම් ඒ ගීත, පැරණි ගීත තරම් ජනතාව අතරට නොයන්නේ ඇයි?

මම ළඟදීත් අලුත් ගීත කිහිපයක් ගායනා කළා. ඒවා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා රසවිඳින්න පුළුවන්. හැබැයි අද වෙද්දී කැසට් කර්මාන්තය කඩා වැටිලයි තියෙන්නේ. ඉස්සර නම් අපේ කැසට්වලින් සහ සී.ඩී. තැටිවලින් අඩුම තරමේ අවුරුද්දකට ගීත 10-15ක්වත් ජනතාව අතරට යනවා. ඒත් අද අපට එහෙම කරන්න බෑ. ඒ නිසා සින්දුවක් ජනතාව අතරට ගෙනියනවා කියන්නේ අද හුඟක් අමාරු  වැඩක්.

ගුවන් විදුලි නාලිකාවලින් ලැබෙන සහයෝගය ගැනත් සතුටු වෙන්න බැරිද?

කොහෙත්ම බැහැ. සල්ලි අරගෙන ගීත ප්‍රචාරය කරන ක්‍රමවේදයක්නේ අද හුඟක් රේඩියෝ චැනල් අනුගමනය කරන්නේ. මට නම් කාටවත් මුදල් දීලා මගේ ගීත ජනප්‍රිය කරවා ගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.

මේ විදිහේ බාධකත් එක්ක, වෘත්තීය ගායන ශිල්පියෙක් විදියට ජීවිතය ගෙනියන එකත් පහසු නැතුව ඇතිනේද?

ඒකනම් ටිකක් අමාරුයි තමයි. ඒත් වෙන මොනවා කියලා කරන්නද? මම දැන් සංගීත ක්‍ෂේත්‍රයට පය තියලා අවුරුදු 30ක් වෙනවා. ඒ අවුරුදු 30ම මම හරිහම්බ කර ගත්තේ සංගීතයෙන් තමයි. ප්‍රසංග සංවිධායකවරුන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක තමයි ගායක ගායිකාවන් විදියට අපි අපේ ගමන යන්නේ. ඉදිරි කාලයේදී ව්‍යාපාර කටයුතු පැත්තටත් ටිකක් යොමුවෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මොකද මේ ගමන තව කොයි තරම් දුර යන්නද කියලා මට හිතාගන්න බැහැ.

ඔබේ පුතත් මේ වෙද්දී ගායන ක්‍ෂේත්‍රයට පිවිසිලයි ඉන්නේ. තාත්තටයි පුතාටයි දෙන්නාටම දැන් එකට ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්න පුළුවන් නේද?

ඔව්. පුතාගේ නම අසංක ශ්‍රීමාල්. පුතා දැනට තමන්ගේම කියලා ගීත තුනක් ගායනා කරලයි තියෙන්නේ. ඉදිරි කාලයේදී පුතා එක්ක එකතුවෙලා ප්‍රසංගයක් පවත්වන්නත් මගේ හිතේ බලා‍පොරොත්තුවක් තියෙනවා.

ඔබ අද රටේ නමක් දිනාගත් ගායකයෙක්. මේ විදිහේ ගමනක් එන්න ඔබට අතදීපු, අමතක කරන්න බැරි චරිතයකුත් ඉන්නවාලු නේද?

ඇත්තටම ඔව්. මගේ තාත්තා වෘත්තිය විදිහට කළේ වඩුවැඩ. පුංචි කාලෙදීම මම ලී කැටයම් කපන්න පුරුදු වුණා. ඔය කාලෙදීම තමයි සංගීතයටත් මට දක්ෂතාවයක් තිබෙන බව මම හඳුනා ගත්තේ. පාසල් යන කා‍ලේ මට හමුවුණු ත්‍යාගා අමරගුරු කියන සංගීත ගුරුතුමා තමයි මගේ හැකියාව ඔපමට්ටම් කළේ. ඒ කා‍ලේ ඔහු සේවය කළේ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ. අමරගුරු මහතා අපේ ගෙදරටම ඇවිල්ලයි මට එදා ශිල්ප ලබාදුන්නේ. දැන් මගේ පුතාලා දෙන්නත් අද ඒ ගුරුතුමාගෙන්ම සංගීතය හදාරනවා.

සංගීත ගුරු ත්‍යාගා අමරගුරු මෙසේ කියයි

අසංක කුඩා කාලයේ ඉඳන්ම විවිධ ගායනා තරගවලට සහභාගි වුණා. පානදුර ප්‍රදේශයේ පැවැති ගායනා තරගයකට ඇවිත් තමයි ඔහු මට මුලින්ම මුණගැහුණේ. මම ඒ තරගයේ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් විදියට කටයුතු කළා. ඔහු ඒ කා‍ලේ වයස 14-15ක විතර පාසල් ශිෂ්‍යයෙක්. එදා ඇතිවෙච්ච දැනහැඳුනුම්කම මත පසුව මම ඔහුගේ නිවසට ගිහිල්ලත් ගායනය සහ වාදනය ඉගැන්නුවා. බොහොම කීකරු සහ නිහතමානී ශිෂ්‍යයෙක් විදිහට මගෙන් ඉගෙනගෙන ඔහු අද ඇවිත් තිබෙන දුර ගැන මට හුඟක් සතුටුයි. මොනතරම් කරදර බාධක ආවත් දෙවියන් විසින් දුන් ඒ අපූරු කටහඬට සමුදෙන්න එපා කියලයි මම අසංකට හැමදාමත් කියන්නේ.

කිෂාන් කනංකෙ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.