lakbima.lk

ලිට්ල් ස්ටාර් පුංචි තරුවට ඇන්ජලින් ගුණතිලක දුන් සුපිරි තෑග්ග මොකක්ද?

 

Derana Little Star (හයවැනි අදියර) තරගාවලිය පුරාවට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තේ වයස 8න් පහළ ගායන අංශය සඳහා තරග වැදුණු ආක්ෂා චමෝදි නම් පුංචි දැරියයි. මේ හුරුබුහුටි දියණිය ජනතා ආදරය දිනාගත්තේ ඇගේ ගායන කුසලතාවය වගේම ඇයටම ආවේණික වූ නර්තනයත් නිසයි. කොහොම කොහොම  හරි වැඩිම ප්‍රේක්ෂක මනාප ලබමින් වයස 8න් පහළ ජනප්‍රියම තරුව වන්නටත් මේ පුංචි දියණියට හැකියාව ලැබුණා. තරගයේ අනු ශූරතාව හිමි වුණේත් ආක්ෂාටයි. තරගයෙන් පසුව අද වනවිට ආක්ෂා ප්‍රසංග වේදිකාවේත් ජනප්‍රිය ගායිකාවක් බවට පත්වී සිටිනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලට හා ටෙලි නාට්‍ය රංගනයටත් අද ඇය එක් වෙලා.

ඔය අතරේ පසුගිය දවසක ආක්ෂාට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න අවස්ථාව උදා වුණා. ප්‍රවීණ, ජනප්‍රිය ගායිකා ඇන්ජලින් ගුණතිලක  ඇගේ උපන්දින උත්සවයට සහභාගී වන ලෙස ආක්ෂාට ඇරයුම් කර තිබුණා. ආක්ෂාත් මේ ආරාධනය සතුටින් පිළි අරගෙන ඊට සහභාගි වුණා. එහිදී ඇන්ජලින්ගේ ගීත ආක්ෂාගේ හඩින් ගයන්නටත් ඇන්ජලින්ගෙන් ඉල්ලීමක් ලැබුණා.

ඇන්ජලින්  ගුණතිලක කියන්නේ අපේ රටේ යුග ගණනාවක් එළිය කළ දක්ෂ ගායිකාවක්. එදා මෙදා ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගීත අතුරින් වැඩි ප්‍රමාණයකට මුසු වුණේ ඇන්ජලින්ගේ හඬයි. මේ නිසාම නවක ගායිකාවන් පමණක් නොව ජනප්‍රිය ගායිකාවන්ද  ඇගේ ගීත ගයනවා. තමන්ගේ ගීත ඔය විදියට අනවසරයෙන් ගායනා කරන විට ඊට එරෙහිව හඬ නගන්නත් ඇන්ජලින් ගුණතිලක පසුබට වන්නේ නැහැ. ඇය ගැයූ මිහිරි ගීතවල රසය විකෘති කර නව ගීත රටාවන්ට මුසු කරන්නත් ඇන්ජලින්ගෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ පුංචි දියණියට ආදරයෙන් ඇමතූ මේ ප්‍රවීණ ගායිකාව ඇයට තමන්ගේ ගීත තවත් හොඳින් ගයන්නට ආශිර්වාදයද ලබා දුන්නා. ඒ විතරක් ‍නෙවෙයි, ආක්ෂාගේ නමට ඇන්ජලිනා කියන කොටස එකතු කරන්නට කියා ආක්ෂාගේ මව්පියන්ට යෝජනාවක්ද කළා. ආක්ෂා වැනි පුංචි දැරියකට ඇන්ජලින් වැනි මහා ගායිකාවකගෙන් එබඳු තිළිණයක් හිමිවීම ජීවිතයේ ලැබිය හැකි සුවිශේෂී වරප්‍රසාදයක්.

 

“පසුගිය දවසක ඇන්ජලින් මැඩම් අපිට එතුමියගේ නිවසට එන්න කියා දන්වා තිබුණා. අපි යද්දී එතුමියගේ උපන්දින උත්සවය එහි සංවිධානය කර තිබුණා. ඒ උත්සවයේදී එතුමිය ආක්ෂා දුවට එතුමියගේ ගීත ගයන්න කිව්වා. ඒ වගේම ඉදිරියේදීත් එතුමියගේ ගීත ගැයුවට කමක් නැහැ කියලා ගයන්න අවසරය ලබා දුන්නා. දුවගේ නමට ඇන්ජලිනා කියන කොටස එකතු කරන්නත් කිව්වා. ඊට පස්සේ අපි දුවගේ නම හඳුන්වන්නේ ආක්ෂා චමෝදි ඇන්ජලිනා කියලයි.”

ආක්ෂාගේ පියා ඒ විදියට සිදුවූ දේ අපට විස්තර කළා.

අපි ඒ ගැන වැඩිදුර දැනගන්න ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිනියට කතා කළා. අප සමග කතාබහට එක්වූ ඇගේ ආදරණීය සැමියා ලෙස්ලි ගුණතිලක ඇන්ජලින් එදා කළ දේ ගැන මෙසේ විස්තර කළා.

“ඇන්ජිගේ උපන්දිනය දවසේ මේ දරුවාව අපි ගෙන්නුවා. ඒ වෙලාවේ තමයි ඇන්ජි ඇයගේ ගායන හැකියාවට ආශිර්වාද කරලා “ඇන්ජලිනා” කියන නාමයත් නමට එකතු කරන්න කියලා කිව්වේ. ඒ වගේම ඇගේ ඕනෑම ගීතයක් ඕනෑම තැනක ගායනා කරන්නත් අවසරය ලබා දුන්නා.”

අවුරුදු 6 වෙද්දී රටේම ජනප්‍රිය තරුවක් වෙන්න භාග්‍යය හිමි කරගත්තු මේ පුංචි දියණියට ආදරේ කරන බොහෝ පිරිසක් “රිද්ම” පාඨකයන් අතරේත් ඉන්නවා. ඒ නිසා අපි හිතුවා ඇය ගැන තවත් තොරතුරු ටිකක් ඔබ වෙත රැගෙන එන්න.

“ආක්ෂා දුව ඉපදුණේ 2011 දී. ආක්ෂා ඉපදුණ වෙලාවේ හඳහන බලපු පතිරණ සර් කිව්වා අනිවාර්යයෙන්ම මෙයා රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියලා. පුංචිම කා‍ලේ ඉඳන් දුව සින්දු කියන්නයි, නටන්නයි හරිම දක්ෂයි. මම පන්සල්වල විරුදු කියනවා.  ගෙදරදි මගේ රබාන අරගෙන දුව රබන් ගයමින් සින්දු කියනවා, නටනවා. කොහෙන් හරි ඉගෙනගෙන නිතරම කියන්නේ “මඩේ ලඟින තාරාවුන්” ගීතයයි. “අම්ම මාව දොයි කරන්න හදපු හැටි අගෙයි” කියන ගීතයි.  එතකොට දුවට වයස 3ක් විතර ඇති. මොන්ටිසෝරිත් යන්නේ නැහැ. ඒත් හරිම අපූරුවට රබන් ගයමින් ඒ ගීත දෙක ගැයුවා.”

ආක්ෂාගේ පියා තමන්ගේ පුංචි දුවගේ හපන්කම් ගැන පැවසුවේ හරිම ආඩම්බරයෙන්. තමන්ගේ පවුල් පසුබිම ගැන කියන්නත් ආක්ෂාගේ පියා අදිමදි කළේ නැහැ.

අපි හම්බන්තොට කටුවන ප්‍රදේශයේ. මම (අජිත් කුමාර) ‍පොළේ එළවළු විකුණන එක තමයි කරන්නේ. මගේ බිරිඳ (චන්ද්‍රවතී) රැකියාවක් කරන්නේ නැහැ. අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුව උසස් පෙළ හදාරනවා. එයාටත් ගීත ගයන්නට පුළුවන්. දෙවැනියා පුතා. පවු‍ලේ බාලයා ආක්ෂා. මුලින්ම කොස්වතුආර මොන්ටිසෝරියට ගියා. ඊට පස්සේ හොරවින්න මහ විදුහලට ගියා. දැන් කටුවන ප්‍රාථමික විදුහ‍ලේ තුන වසරේ ඉගෙන ගන්නවා.

ආක්ෂාව Little Star ඉබචප තරගයට යොමු කරන්නට උනන්දු වුණේ ආක්ෂාගේ අම්මද? තාත්තද? අපි තවත් ප්‍රශ්නයක් යොමු කළා.

නැහැ ආක්ෂා දුවවමයි අපිව ඒකට පෙළඹෙව්වේ.  Little Star තරගය ටී. වී. කේ බලන හැම වෙලාවෙම කරදර කරනවා මටත්  TV එකේ සිංදු කියන්න ඕනේ මාවත් දාන්න කියලා. ඒ හින්දා තමයි අපි තරගයට අයැදුම් කළේ.

තරග ජයත් එක්ක ආක්ෂා දැන් ප්‍රසංග වේදිකාවේත් ජනප්‍රිය ගායිකාවක් නේද?

ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒත් ඉතින් තරගය හින්දා පසුගිය කා‍ලේ පාසල් වැඩත් ටිකත් අතපසු වුණා. ඒ හින්දා ලැබෙන හැම ප්‍රසංගයක්ම භාර ගන්නේ නැහැ. දැනට ප්‍රසංග 15 කට විතර සම්බන්ධ වෙලා තියෙනවා.

ආක්ෂා විදෙස් ගත වෙන්නත් සූදානම් වනවා නේද? ඔය අතරතුර අපිට දැන ගන්න ලැබුණු දෙයක් ගැන අපි ආක්ෂාගේ තාත්තාගෙන් ප්‍රශ්න කළා.

ඔව්. 13 වැනිදා අපි ඩුබායි  යනවා. ඒ ඩුබායිවල තියෙන සංගීත ප්‍රසංගයකට.

ආක්ෂා පිටරට ප්‍රසංගයක ගී ගයන පළමු අවස්ථාව තමයි ඒ. ඊට පස්සේ 24 වැනිදා ආයේම කුවේට් ප්‍රසංගයක ගී ගයන්නත් ඇයට ආරාධනා ලැබි තිබෙනවා. ආක්ෂාගේ ගැයුම වගේම ඇගේ හුරතල් රංගනයටත් ප්‍රේක්ෂකයන් මේ වන විට වසඟ වෙලා. ඒ හින්දමයි ආක්ෂාට අද වනවිට නිළියක් වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙන්නේ. අපේ කතාබහට ආක්ෂා චමෝදිවත් එකතු කරගෙන අපි ඒ ගැන ඇගෙන්ම විමසා සිටියා.

ආක්ෂා දැන් නිළියක් නේද?

“සංගීතේ” ටෙලි නාට්‍යයේ මම රඟපානවා.  Little Hart අරමුදල දැන්වීමේත් රඟපෑවා.

සංගීතේ ටෙලි නාට්‍යයේ ආක්ෂා රඟපාන චරිතය මොකක්ද?

“මලිති” කියලා මොන්ටිසෝරි ළමයෙකුගේ චරිතයක්.

ආක්ෂා දුව ලොකු වුණාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ.

ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමතියි. ඒත් සින්දු කියන එකයි, රඟපාන එකයි දිගටම කරගෙන යනවා.

ආක්ෂාගේ කලා කටයුතුවලට පහසුයි නේද ගමෙන් කොළඹ පදිංචියට ඇවිල්ලා ආක්ෂාවත් කොළඹ ඉස්කෝලෙකට දැම්මා නම්. අපි ඒ ප්‍රශ්නේ ඇහුවේ ආක්ෂාගේ තාත්තාගෙන්.

අපි එච්චර ආර්ථික වත්කමක් තියෙන අය ‍නෙවෙයි. තවමත් මම කරන්නේ ‍පොළේ එළවළු විකුණන එකයි. දුවගේ වැඩවලට යන්න වුණාම මට  රස්සාවට යන්න වෙන්නෙත් නැහැ. අපිට කොළඹ පදිංචි වෙන්න තරම් ආර්ථික හැකියාවකුත් නැහැ. අසීරුතා මැද තමයි දුවගේ වැඩ වුණත් කරගෙන යන්නේ.

ආරියවංශ කුලතිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.