lakbima.lk

චිත‍්‍රපටය විවේචනය කළාම ඔය විදියට මරණ තර්ජනය කරන එක හරිද?

හර්ෂ උඩකන්ද කියන්නේ මෑතකදී බිහිවුණු නවක චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ක්ෂේත‍්‍රයට තවමත් අලූ‍ත්. ඒත් මේ වන විට ඔහු චිත‍්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරන්නට සමත්වෙලා. මේ වෙද්දී ඔහුගේ දෙවන චිත‍්‍රපට අධ්‍යක්ෂණය වන ‘කොළඹ සන්නිය රිටර්න්ස්’ රටපුරා තිරගත වන මොහොතක ආවේගශීලි වදන් හුවමාරුවක්  ෆේස්බුක් සමාජ ජාලය හරහා කාටත් දැකගන්නට ලැබුණා.

හර්ෂ මොකක්ද මේ ෆෙස්බුක් එක පැත්තේ සද්ද දාන්නේ. දැන් ඔයාගේ ජොබ් එක මරණ තර්ජන කරන එකද ?

විචාරකයා කියන පුද්ගලයාටත් අගෞරවයක් කරන, විචාරය ගැන මෙලෝ හසරක් නොදන්නා, මිනිසුන්ට බණින මානසිකත්වයෙන් ඉන්න විචාරකයෙක් කියලා හිතාගෙන ඉන්නා කෙනෙක් විචාරයක් කියලා ඉතාමත් පහත් ආකාරයට මාව විවේචනය කරලා තිබුණා. ඉතින්  එයාගේ මානසිකත්වයට අනුව එයාගේ භාෂාවෙන්ම මම එයාට උත්තරයක් දුන්නා.

ඔබට මේ විදියට පහර ගහලා විචාර කළේ කවුද? එහෙම කළේ ඇයි?

එහෙම කළේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. මේ දවස්වල මගේ ‘කොළඹ සන්නිය රිටර්න්ස්’ කියන චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වෙනවා. එහි සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි මාධ්‍යවේදියෙක්, කවියෙක් කියාගන්නා පුද්ගලයෙක් ගොඩක් නින්දිත විදියට මාව විවේචනය කරලා තිබුණා. මම ෆේස්බුක් එක හරහා එයාගේ භාෂාවෙන්ම එයාට උත්තරයක් දුන්නා. ඒකට තමා ඔය මරණ තර්ජන කළා කියලා දඟලන්නේ.

ඔබට මාධ්‍යයේ සහයෝගය අවශ්‍ය මොහොතක මේ වගේ පැටලවිලි හදාගන්න හොඳ නැහැ නේද ?

මාධ්‍ය බොහොමයක් මට සහයෝගය ලබාදුන්නා. ඒත් සමහර මාධ්‍යවේදීන් මට විරුද්ධව වැඩ කරන බව පේනවා. මගේ චිත‍්‍රපටයේ නළු නිළියන්ගේ සම්මුඛ සාකච්ඡුාවලදී ඒ ගැන කතා නොකර අනෙක් දේවල් ගැන කතා කරමු කියන තැනට පැමිණි මාධ්‍යවේදීනුත් හිටියා. එ්කට හේතුව මම දන්නේ නැහැ.

‘කොළඹ සන්නිය’ චිත‍්‍රපටය ඔය තරමටම විවේචනය කරන්නත් හේතුවක් ඇතිනේ?

මේ කතාව මුල්  කාලයේ අප දුටුව කොළඹ සන්නියට වඩා වෙනස්. ඒකයි මේකයි දෙකක්. ඒක තේරුම් නොගත්ත අය චිත‍්‍රපටය බලන්නෙවත් නැතිව මම ඒක විනාශ කරලා කියලා  කෑ ගහනවා. මම පරණ චිත‍්‍රපටයට අබ මල් රේණුවකවත් විනාශයක් කරලා නැහැ.  
ජෝ අබේවික‍්‍රම මහත්තයා වගේ සරත් කොතලාවලගේ රංගනය ඉස්මතු කරන්න හැදුවා නම් ඒ විදියේ විනාශයක් වෙන්න තිබුණා. අපි කළේ අලූ‍ත් දෙයක්. පරණ කතාවෙන් ගත්තේ සියයට දහයක් වගේ පොඩි කොටසක්. මේක නැවුම්. මේක ‘කොළඹ සන්නිය රිටර්න්ස්’ කියලා නම් කළෙත් ඒකයි. ලංකාවේ පැරණි චිත‍්‍රපට ප‍්‍රතිනිර්මාණය කිරීමේදී වෙනස්වුණේ නළු නිළියන් විතරයි. ගීත සංගීත විතරක් නෙවෙයි කැමරා කෝණත් ඒවමයි යොදාගත්තේ. මට  ඕනේ වුණේ ඒවා වෙනස් කරලා අලූ‍ත්ම දෙයක් කරන්නයි.

හර්ෂ ඔබ ක්ෂේත‍්‍රයට නවකයෙක්. නමුත් ඔබගේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනයට පෝළිමේ ඉන්නා බවක් පේන්නට නැහැ. එහි රහස මොකක්ද?

මම ක්ෂේත‍්‍රයට ආවේ  2015දී. මුල්ම චිත‍්‍රපටය ‘උලත් එකයි පිළත් එකයි’. එය 2016 දී තිරගත වුණා. දෙවන චිත‍්‍රපටය ‘ෆේස් ටු ෆේස්’. ඒක අධි තාක්ෂණය භාවිතයෙන් කරපු එකක්. මේ මගේ තුන්වන චිත‍්‍රපටය. ඒකත් සාර්ථකව ප‍්‍රදර්ශනය වෙනවා. ‘ෆේස් ටු ෆේස්’ එන වසරේ එනවා. මම කරන්නෙත් අනෙක් අය කරන දේමයි. චිත‍්‍රපටය සෙන්සර් කළාට පස්සේ මණ්ඩලයකට පෙන්නනවා. මණ්ඩලයෙන් තමයි චිත‍්‍රපටයට ඉල්ලූ‍මක් එන්නේ. ඒ අය දිනයක් දුන්නම මම එදාට ප‍්‍රදර්ශනයට මුදා හරිනවා. ඔය කෑ ගහන සමහරු කරන්නේ චිත‍්‍රපටයක් ද කියලා හිතාගන්න බැහැ. කොහොමත් අපි නිර්මාණයක් කරද්දී වගකීමක් ගන්න  ඕනේ. මොකද මේ නිර්මාණය හරහා බොහෝ දෙනෙක් යැපෙනවා. ඒ හැමෝම රැකෙන්න නම් චිත‍්‍රපටය සාර්ථකව තිරගත වෙන්න  ඕනේ. ඒක නිර්මාණකරුවෙකුගේ වගකීමක් කියන එක අමතක කරන්න හොඳ නැහැ.

තමාරා කල්හාරි පතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.