lakbima.lk

කිරුළ මට නොලැබිම ගැන ගොඩක් අය දුක් වෙනවා

සිරස ටී.වී. නාලිකාව සංවිධානය කළ Sri Lanka’s Got Talent වැඩසටහනේ අවසාන මහා තරගය පසුගියදා (30) රත්මලාන, ස්ටෙයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වුණා. Sri Lanka’s Got Talent කිරුළ සඳහා මාස ගණනාවක් තිස්සේ තරග වැදුණු තරගකරුවන් විශාල සංඛ්‍යාවක් අතරින් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබ සිටියේ නිම්නා හිරන්‍යා, තිළිණ එගොඩගේ, ඔසිඳු නයනජිත්, නිපුනි සිතාරා, ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්‍පොර කණ්ඩායම සහ “Three” කණ්ඩායමයි.  ඒ අතරින් අවසානයේ ප්‍රේක්ෂක ජනතාවගේ වැඩිම එස්.එම්.එස්. මනාපයට අනුව, Sri Lanka’s Got Talent කිරුළ ගුවන් හමුදා අංගම්‍පොර කණ්ඩායමට හිමිවුණා. කුසලානය සමගින් ඔවුන් වෙත පිරිනැමුණු ත්‍යාග මුද‍ලේ වටිනාකම රුපියල් කෝටියක්. Sri Lanka’s Got Talent අනුශූරතාවයට හිමිකම් කීවේ, අවසාන මහා තරගයේදී තරග වැඳුණු ළාබාලතම තරගකාරිනිය වූ නිම්නා හිරණ්‍යායි. අනුශූරතාවයට හිමි කුසලානය සමග රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් එහිදී ඇයට හිමි වුණා. මනෝමයෙන් ගණිත ගැටලු විසඳමින් තරගාවලිය පුරාම ප්‍රේක්ෂක අවධානය නොඅඩුව තමන්වෙත නතුකර ගත් නිම්නා අවසාන මහා තරගයෙන් අනතුරුව රිද්ම සමග මෙසේ පිළිසඳරකට එකතු වුණා.

Sri Lanka’s Got Talent වේදිකාවේ අනුශූරතාවය දක්වා ආපු ගමන ගැන නිම්නාට අද වෙද්දී මොකද හිතෙන්නේ ?

මම මීට කලින් රියැලිටි තරගයකට සහභාගි වෙලා නැහැ. ඉතින් සහභාගි වුණු පළමු රියැලිටි තරගයෙන්ම මේ විදිහේ ජයග්‍රණයක් ලැබිම ගැන මට හරිම සතුටුයි.

මේ තරම් දුරක් එන්න හැකිවේවි කියලා බලා‍පොරොත්තුවක් මුලදී තිබුණාද?

මුලදී නම් මම හිතුවේ නැහැ මට අවසන් වටවලට එන්න පුළුවන් වේවි කියලා. ඒත් Judges ලාගෙන් හොඳ Comment ලැබෙද්දී විශ්වාසයක් ඇති වුණා මම අවසන් තරගයට සුදුසුකම් ලබාවි කියලා.

අවසාන තරගයෙන් පස්සේ නිම්නාට ගොඩක් ප්‍රතිචාර ලැබෙන්න ඇති නේද ?

අ‍පොයි ඔව්. පිටරටවලින් පවා සමහරු මට කතාකරලා සුබ පැතුවා. ඒ හැමෝටම “ස්තූතියි“ කියලා තමයි මට කියන්න තියෙන්නේ.

බොහෝ දෙනා බලා‍පොරොත්තුවෙන් හිටියේ නිම්නා කිරුළ දිනාවි කියලයි කීවොත් වැරදි නැහැ නේද?

ඇත්ත. හුඟක් අය මට කතා කරලා කියපු දෙයක් තමයි “ඔයාටයි ඇත්තටම කුසලානය ලැබෙන්න තිබුණේ” කියලා. ගොඩක් අය දුක් වෙනවා මට පළමු තැන නොලැබුණු එක ගැන.

එස්.එම්.එස්. මනාප ලබා ගන්න ප්‍රචාරක වැඩ එහෙමත් කළාද?

ඔව්, මමත් එස්.එම්.එස්. ගන්න Campaign එකක් කළා. හැබැයි එතනදී මා වෙනුවෙන් මැෂින්වලින් එස්.එම්.එස්. යැවීමක් සිද්ධ වුණේ නැහැ. ඇත්තටම මගේ දක්ෂතාවය දැකලා මට එස්.එම්.එස්. එවන අයගේ මනාප ගන්නයි අපිට ඕනෑ වුණේ.

කොහොමද මේ විදිහේ දුලබ හැකියාවක් නිම්නාට ලැබුණේ?

මම දැන් ඉගෙන ගන්නේ කොළඹ මියුසියස් විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ. තුන් වැනි ශ්‍රේණියේදී විතර තමයි මම ශානිකා පෙරේරා ටීචර්ගේ ක්ලාස් එකට ගිහිල්ලා මේ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ. ඒක ගණිතය විෂය උගන්වන පන්තියක් ‍නෙවෙයි. හැබැයි ඒ ලබපු පුහුණුව වෙනත් විෂයන් ඉගෙනගන්නත් මට හුඟක් වැදගත් වුණා. ජානක වික්‍රමසිංහ සර්රුත් ඒ ඉගෙනීමට මට ගොඩක් උදව් කළා. ගොඩක් දෙනා ලොකු පීඩනයකින් කරන ඉගෙනීම සැහැල්ලුවෙන් සහ සතුටින් කරන්නේ කොහොමද කියන එක ගැන පණිවුඩයක් දෙන්නයි මට Sri Lanka’s Got Talent එකට ඉදිරිපත් වීමෙන් වැඩිපුරම කරන්න ඕනෑ වුණේ. මම හිතන්නේ මම ඒක හරියට කළා. මගේ පළමුවැනි වටයේ වීඩියෝ එකක් දැනට යූ ටියුබ් එකේ කෝටියකට වඩා බලලා තියෙනවා. ඉතින් ඒ ලබපු ජයග්‍රහණය මට හුඟක් වටිනවා.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.