lakbima.lk

එකම මාසයක් තුළ රිදී තිරයේත් පුංචි තිරයේත් නැගී එන නළුවාට හිමි සම්මානය හිමිවුණා

මෑත කාලයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නළු නිළියන් කිහිප දෙනෙකුම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එක්වුණා. ඒ වගේම නවක නළු නිළියන් කිහිප දෙනෙකුම සිනමාවටත් එක්වුණා. දිනෙත් ද සිල්වා මෑත කාලයේ සිනමාවයි ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයයි දෙකම ජයගත් රංගන ශිල්පියෙක්. පසුගියදා පැවැති 23 වැනි සුමති ටෙලි සම්මාන උළෙ‍ලේදී නැගී එන නළුවා වූයේ දිනෙත්. සම්මානයේ සතුට විඳින අතර පහුගියදාක අපි ඔහුව කතාබහකට එක් කරගත්තා.

පසුගිය සුමති සම්මාන උළෙ‍ලේදී දිනෙත්ට සුවිශේෂී සම්මානයක් හිමි වුණා... ඒ ගැන මොකද හිතෙන්නේ?

    (හිනැහී) ගොඩක් සතුටුයි.

දිනෙත්ට නැගී එන නළු සම්මානය හිමි කර දුන් නිර්මාණය ගැන කතාකළොත්..

ජැක්සන් ඇන්තනී මහතාගේ “සී රජ” ටෙලි නාට්‍යයේ “දාඨ” කියන චරිතයටයි මට මෙම සම්මානය හිමිවුනේ. “දාඨ” කියන්නේ ධාතුසේන  රජුගේ පියා. ටෙලි නාට්‍යයේ කොටස්  15 ක විතරයි ඒ චරිතය ගලාගෙන යන්නේ. ඉන් පසු සතුරන් විසින් ඔහුව මරා දමනවා. ඉන් පසු කොටස්වල දේවාත්මයට පත් වූ ඔහු ඉඳ හිට සිය බිරිඳ සහ දරුවා ආරක්ෂා කරන්නට එනවා. සී රජ මගේ තුන්වැනි ටෙලි නාට්‍යය. එය මම ඉතාමත් ආශාවෙන් රඟපෑ චරිතයක් ..

පසුගියදා ඔබට සිනමා සම්මානයකුත්  හිමිවුනා නේද.. ?

පසුගිය දා පැවති සරසවි සම්මාන උළෙ‍ලේදී වසරේ නැගී එන සිනමා නළුවාට හිමි සම්මානයත් මට හිමිවුනා. ඒ “ආලෝකෝ උදපාදි” චිත්‍රපටය වෙනුවෙන්. “ආලෝකෝ උදපාදි” තමයි මගේ පළමු සිනමා රංගනය.

දැන් උදාවෙලා තියෙන්නේ දිනෙත් ගේ හොඳම කාලය නේද .. ?

(හිනැහී) මටත් එහෙම හිතෙනවා.  පහුගියදා සුමති ටෙලි සම්මාන උළෙ‍ලේ නැගී එන ටෙලි නාට්‍යය නළුවාට හිමි සම්මානය දිනාගත්තා. ඊට සති කිහිපයකට පෙර වසරේ නැගී එන සිනමා නළුවාට හිමි සරසවි සම්මානයත් හිමිවුණා. මාසයක් තුළ සිනමා සම්මාන උළෙලකදී සහ ටෙලි සම්මාන උළෙලකදී නැගී එන නළුවා වීම වාර්තාවක් බව සිනමාවට සම්බන්ධ මගේ හිතවතෙක් කිව්වා. මින් පෙර නළුවකුට එබඳු අවස්ථාවක් හිමිවී නැති බවයි ඔහු පැවසුවේ... නැගී එන නළුවා කියන්නේ ඔහුට ඉන් පසු රංගනය තුළ ගොඩක් දේ කරන්නට තියෙනවා කියන එකයි.. ඇත්තටම මට එය දැන් දැනෙන්නේ මා පිට පැවරුණු ලොකු වගකීමක් කියලා.

රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් දැන් අලුත් වෙලා... එහෙමද?

ඔව්. ඒක සුන්දර කතාවක්.

ඒ සුන්දරත්වය හිමි කළ ඇය ගැන කතාකළොත් ..

අරෝෂා සිතාරි යසාංජලී.. මගේ ආදරණීය බිරිඳ.. ඇය තමයි මගේ ළඟ ඉඳන් මගේ සියලුම කටයුතු සඳහා සහය දෙන්නේ ..

බොහෝ නළුවන් තමන්ගේ බිරිඳ ගැන පෙම්වතිය ගැන වසන් කරන්නේ රසිකාවියන්ගේ ආකර්ෂණය අඩුවෙයි කියලා හිතන හින්දා .......

මම නම් ඒ  කතාවට එකඟ නෑ. මිනිස්සු ආදරය කරන්නේ අපේ රංගනයට සහ අපි සමාජය එක්ක ගනුදෙනු කරන විදියට.. අනික අද පුවත්පත වගේම අන්තර්ජාල මාධ්‍යයත් ප්‍රබලයි. විවාහකයෙක් කිව්වොත් මට තවම පෙම්වතියක් නෑ කියලා අන්තර් ජාලයෙනුත් ඊට පිළිතුරු ලැබෙයි. එයින් සිදුවන්නේ ජනතාවගේ විශ්වාසය පළුදුවීමයි...  මම මේ වෙද්දී සම්මාන දෙකක් ලබා තිබෙනවා. ඒ සම්මාන දෙකම ලැබුණේ ඇය මගේ ජීවිතයට එක් වූ පසුවයි. ඇයත් සමගයි මම ඒ  සම්මාන උළෙල දෙකටම සහාභාගි වුණේ. මම හිතන්නේ ඒකට ඇගේ වාසනාවත් බලපාන්න ඇති.

දිනෙත් රංගනයට එක්වූයේ නිරූපණය හරහා. දැන් නිරූපන ක්ෂේත්‍රයෙන් ඈත්වෙලාද....?..

නැහැ.. නැහැ.. මම තවමත් නිරූපණය තුළ ඉන්නවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ අලුත් දෙයකටත් එක්වී සිටිනවා. දවසින් දවස නිරූපණයට  අලුතින් අය එනවා. අපි දවසක නිරූපණයෙන් ඉවත් විය යුතුයි. ඊට කලින් අලුත් පරපුර වෙනුවෙන් යමක් කළ යුතුයි. මම නිරූපණයට උනන්දුවක් දක්වන නවක පිරිසට පාඨමාලාවක් පවත්වාගෙන යනවා.

ආරියවංශ කුලතිලක

ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.