lakbima.lk

මෙවර යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවෝ

“ලස්සන කෙල්ල” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ගීතා කුමාරසිංහ එක් රැයින් ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවට එක්වී ජනප්‍රිය සිනමාවසේම කලාත්මක සිනමාවද ජයගත් නිළියක්. එදා “ලස්සන කෙල්ල” චිත්‍රපටයේ ගීතාගේ පෙම්වතා වූයේ එවකට ජනප්‍රිය සිනමාවේ ඉහළින්ම දිදුලන තරුවක් වූ තිස්ස විජේසුරේන්ද්‍රයි. ෙදෙවය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. දශක හතරකට පස්සේ ගීතයි, තිස්සයි පසුගිය 29 වැනිදා සුමති වේදිකාවේදී ආයෙමත් හමුවුණේ කලාකරුවෙකුට ජීවිතයේ එකවරක් පමණක් පිරිනමන සුවිශේෂී සම්මානයක් හිමිකර ගන්නයි. යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ගීතා කුමාරසිංහ සහ තිස්ස විජේසුරේන්ද්‍රයි.

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට රැසක රඟපෑවත් හොඳම නළුවා, ජනප්‍රිය නළුවා විදියට මට කවදාවත් සම්මාන ලැබිලා නැහැ

මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබිම පිළිබඳ ඔබගේ අදහස මොකක්ද ?

මගේ කලා ජීවිතයට දැන් වසර 47ක් වෙනවා. මේ හිමි වූ සම්මානය මගේ කලා දිවියේ සුවිශේෂ මං සලකුණක්. තිලංග සුමතිපාල මහතා ඇතුළු ඒ පවු‍ලේ සැමටත්, සුමති සම්මාන උළෙ‍ලේ සංවිධායක කමිටුවටත් මේ කළ ඇගයීම ගැන මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මිලිනා සුමතිපාල මහත්මියවත් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට රැසක රඟපෑ ඔබ කළ මෙහෙවර වෙනුවෙන් මින්පෙර නිසි ඇගයීම් ලැබි තිබෙනවාද?

කලා භූෂණ, ලංකාපුත්‍ර, දේශබන්දු වැනි සම්මාන හිමි වී තිබෙනවා. හැබැයි කිසිම දාක හොඳම නළුවා විදියටවත්, ජනප්‍රිය නළුවා විදියටත් මට සම්මාන ලැබිලා නැහැ.

ඒ ගැන ඔබේ හිතේ කනගාටුවක් තිබෙනවාද?

නැහැ. හැත්තෑව දශකයේ සිනමාවේ ස්වර්ණමය යුගයේදී ආදායම් වාර්තා තැබූ චිත්‍රපට රැසකට මා දායක වුණා. අද රූපවාහිනී නාලිකාවල විකාශයවන ඒ චිත්‍රපට දකිද්දී මට සතුටක් ඇති වෙනවා. ඉතින් ඇයි මම කනගාටු වෙන්නේ. ඔය තත්ත්වය ඇති වුණේ සිනමාවේ කලාත්මක හා වාණිජ බෙදීම හින්දා. හැබැයි මහියංගනේ සිමියොන්ට ඔය බෙදීම අදාළ නැහැ. එයා තමන්ගේ බිරිඳත් එක්ක චිත්‍රපටයක් බලන්න එන්නේ ඔය කියන කලාත්මක වාණිජ බෙදීම ගැන හිතලා නමෛයි.

තවමත් ප්‍රේක්ෂකයන්ට තිස්ස විජේසුරේන්ද්‍ර මතකයි. ඉදිරියේදීත් ඔවුන්ට ඔබේ රඟපෑම් දකින්න ලැබේවිද ?

කාලෙකට පස්සේ මිචෙල් ෆොන්සේකාගේ “සුපිරි අන්දරේ” චිත්‍රපටයේ මා රඟපෑවා. ඒ වගේම වසර ගණනකට පස්සේ ශාන්ත සොයිසාගේ “පිනි” ටෙලි නාට්‍යයේත් රඟපෑවා. මම තවමත් රඟපෑමෙන් ඉවත් වෙලා නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. ඇතැම් අය දුරකතනයෙන් කතා කරලා “හෙට ෂූටිං එන්න පුළුවන්ද” අහනවා. පුද්ගලයා කවුද, නිර්මාණය මොකක්ද කියලාවත් මම දන්නේ නැහැ. මුදල ගැන නොහිතුවාට කලාකරුවෙකුගේ වටිනාකම ගැන හිතලා තමයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ.

හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් අද වුණත් බාර ගන්නවා

ජනප්‍රිය නිළිය, හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක් දිනා ඇති ඔබ මේ ලැබූ උපහාර සම්මානය ගැන මොකද හිතන්නේ ?

මේ සම්මානය මීට පෙර අපේ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසකටම හිමිවූ එකක්. මගේ ජීවිතයේත් වැඩිම කාලයක් ගතවුණේ කලාව වෙනුවෙන්. ඒ කාලය තුළ කලාවේ උන්නතිය වෙනුවෙන් මම විවිධ භූමිකා නිරූපණය කළා. මා දන්නවා මේ සම්මානය ලබන්නට මා සුදුසුයි කියලා. ජීවිතයම කලාවට කැපකළ අයෙකුට සතුටු විය හැකි අවස්ථාවක් විදියට මා “යූ.ඩබ්.සුමතිපාල සම්මානය” දකිනවා.

ගීතා කුමාරසිංහ සිනමාව බැබළවූ යුගයක් තිබුණා. අදත් ඔබේ රසික පිරිස ආශාවෙන් ඇති ඔබේ රංගනයන් දැක බලා ගන්න.

ඔය ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර මම එක් සිදුවීමක් සිහිපත් කරන්න කැමතියි. වරක් දේශපාලන රැස්වීමක මා කතාකරමින් සිටියා. “මම පාසල් මෙපමණ ප්‍රමාණයකට, රෝහල් මෙපමණ ප්‍රමාණයකට, මේ මේ ස්ථානවලට, මේ මේ සේවාවන් කළ බව පවසමින් මා විසින් කළ දේ ගැන වට්ටෝරුවක් කියමින් සිටියා. ඒ වෙලාවේ එතැන් උන් එක් අයෙකු නැගිටලා “අනේ ඔබතුමිය තව එකම එක චිත්‍රපටයක රඟපාන්න” කියලා කිව්වා. ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම මොනදේ කළත් මිනිස්සු බලා‍පොරොත්තු වන්නේ මගේ රඟපෑම බව මම එම සිදුවීමෙන් තවත් තහවුරු කරගත්තා. ඒත් මට එකපාර වැඩ දෙකතුනක් කරන්න බැහැ. ඇතැම් අය ඉන්නවා රඟපානවා, දේශපාලනය කරනවා. තව එක එක දේවල් කරනවා. ඒත් මට එහෙම බැහැ. යම් දෙයක් ඔළුවට වැටුණම මගේ ඉලක්කය ඉටුවනතුරු ඒ පසුපස යෑමටයි මම හුරු වී තියෙන්නේ. දේශපාලනය තුළ කාර්යබහුල චරිතයක් වෙද්දී මම රංගනයෙන් ඈත් වුණේ ඒ හින්දා.

මින්මතු ඔබ රංගනයට එකතු වන්නේම නැද්ද?

මෑතකදී මට ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. ඒත් ඒ ගැන දෙපාරක් හිතන්න වුණා. හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් නම් අද වුණත් භාරගන්නවා.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.