lakbima.lk

සිතාරා දැන් යෝගා පුහුණුකාරිනියක්

සිතාරා පවිත්‍රානි කියන්නේ ජනප්‍රිය රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක්. ඒ විතරක් නොවෙයි ඇය පුංචි තිරය හරහා ජනප්‍රිය වූ ටෙලි නාට්‍යය රැසකටම හඬ කැවූ දක්ෂ හඬ කැවීමේ ශිල්පිනියක්. රාමායනය ටෙලි නාට්‍යයේ සීතා, සුජාත දියණිය ටෙලි නාට්‍යයේ චංගුමී. කූඹිච්චි, කාටූන් මාලාවේ කූඹිච්චි වැනි චරිත ඒ අතරින් ප්‍රධානයි. සිතාරා පවිත්‍රානි ගැන අද ඔබට කියන ප්‍රවෘත්තිය නම් තරමක් වෙනස් එකක්.

මේ දවස්වල ඔබේ රූපය නොපෙනෙන්නත්, කටහඬ නෑසෙන්නත් හේතුව මොකක්ද?

මේ දවස්වල කලා කටයුතුවලින් තරමක් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසා ඉස්සර වගේ නිර්මාණ ගොඩකට දායක වෙන්නේ නැහැ. තෝරාබේරාගත්තු නිර්මාණ කීපයකට විතරයි සම්බන්ධ වෙලා ඉන්නේ.
මට හොඳ නිර්මාණ හා හොඳ චරිත ලැබුණා. “චංගුමී වගේ චරිත අදටත් මිනිසුන්ට මතකයි. ඒත් දැන් බිහිවන  හඬ කැවීම් නාට්‍ය ගත්තම සමහර ඒවා ගැන නම් තෘප්තිමත් වෙන්න බැහැ. ඒ හින්දා තමයි තෝරා බේරාගෙන හඬ කැවීම් කරන්න තීරණය කළේ. ඒත් එක්කම මගේ ජීවිතයේ අලුත් වෙනසකුත් මේ වගේ තීරණයක් ගන්න හේතු වුණා. මම දැන් යෝගා පුහුණුකාරිනියක් විදියට කටයුතු කරනවා.

ඔබට එය නුහුරු විෂයක් නේද?

නැහැ. මම ඉන්දියාවේ ගිහින් යෝගා හදාරලා ඇවිත් තමයි මේ කටයුත්ත පටන්ගත්තේ.

සිතරාගෙන් යෝගා හදාරන්නේ කොයි වගේ වයස් සීමාවල අයද?

පුංචිම වයසේ අයට වෙනම පුහුණු ක්‍රම තියෙනවා. මහලු අයටත් ඒ විදියටම යෝගා ව්‍යායාම් ක්‍රම තියෙනවා. මේ දෙකම  එතරම් සංකීර්ණ  නැහැ. සරලයි පහසුයි. ඒත්  සාමාන්‍ය වයස් මට්ටම්වල අයගේ පුහුණු ක්‍රම ඊට වඩා සංකීර්ණයි. මේ කොටස් තුනටම මම වෙන වෙනම පුහුණුවීම් කරනවා.

අද බිහිවන හඬ කැවීම් ගැන ඔබ තුළ ප්‍රසාදයක් නැති බව මුලදී කිව්වා ඇයි ඒ?

එදා සිටි ශිල්පීන්ගේ නම් අපිට අදටත් මතකයි. ඔවුන්ගේ කටහඬත් මතකයි. ඒත් අද හතු පිපෙනවා වගේ හඬ කැවීම් ශිල්පීන් ඉන්නවා.
ඒ අය තුළ කිසිම හැදෑරීමක් නැහැ. හඬ කැවීම් කියන්නේ අමාරුම දෙයක්. හඬ පාලනය, හැඟීම් ප්‍රකාශනය, වචන උච්චාරණය වැනි දේ ගැන මනා වැටහීමක් තිබිය යුතුයි. අනික අද හඬ කවන නාට්‍ය පිළිබඳවත් සතුටු වෙන්න බැහැ. නවකයෙකුට තියා ප්‍රවීණයෙකුටවත් ඒ තුළ යමක් කරන්නට බැහැ.

සිතාරාගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත්?

පුතා උසස් පෙළ කළා. එයා කලාවට කිසිම ඇල්මක් නැහැ. තාත්තා වගේ ඉංජිනේරු අංශයට යොමුවන්න තමයි කැමැති. අපි සතුටින් අපේ පවුල් ජීවිතේ ගත කරනවා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

 


 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.