lakbima.lk

අදටත් ඉස්කෝලෙ යන්න ආසයි

බොහෝ විට අපි කොයි කාගේ හිත්වලටත් ආදරය මෝදු වෙන්නේ ළමා වියෙන් යොවුන් විය කරා පිවිසෙන වයසේදීයි. ජීවිතය සහමුලින්ම වෙනස්වෙන ඒ සංක්‍රාන්ති  සමයේදි හිතට ඇතිවන ආදරය සමහරුන්ගේ ජීවිතයම උඩු යටිකුරු කරනවා. අන්න ඒ වගේ ආදරයක් තුළ හිරවුණු ගැටවරයෙක් අපිට සමනළ සංවනිය චිත්‍රපටයේදි හමු වුණා. එදා රටේම කතාබහට ලක් වූ ඒ නව යෞවනයා අද කඩවසම් තරුණයෙක්. අද වෙද්දී ඔහු අපේ ජනප්‍රිය නිළියන් රැසකටම ප්‍රේම කරලාත් තියෙනවා. හැබැයි ඒ සැබෑ ජීවිතයේදී නොව ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලදීයි. චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර පිටපතකට අනුව ලහිරු මුදලිගේ නිෂ්පාදනය කරන, නිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කරන කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේ සූර්යා නැවතත් අප හමුවට එනවා. ඒ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රි 8.30ට ස්වාධීන රූපවාහිනියෙනුයි එම ටෙලි නාට්‍ය විකාශය වෙන්නේ. ඒ වගේම ඔහු රඟපාන ‍පෝටාවැටිය ටෙලි නාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා.

සමනළ සංවනියෙන් එදා දැකපු හුරුබුහුටි පාසල් සිසුවා අද වෙද්දී කඩවසම් තරුණයෙක් වෙලා නේද?

(හිනැහී) ඔව්. ඉතින් කාලයත් එක්ක අපි හැමෝම වෙනස් වෙනවානේ. ඒත් තවමත් ඉස්කෝලෙ යන්න ආසයි. රැවුල කැපුවොත් දැනටත් මට පාසල් ශිෂ්‍යයෙක්ගේ චරිතය රඟපාන්න පුළුවන් කියාල මම හිතනවා.

කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේ සූර්යා රඟපාන්නේ වෙනස් චරිතයක් කියලා කීවොත් හරි නේද?

ඔව්. කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේ මම සාගල කියන මාධ්‍යවේදියාගේ චරිතය තමයි රඟපාන්නේ. කණා මැදිරියෝ කියන්නේ මම බොහොම ආශාවෙන් රඟපාන නාට්‍යයක්.

සමනල සංවනියෙන් පසුව සූර්යාගේ රඟපෑම් දකින්න ලැබුණේ අඩුවෙන් ඇයි ඒ?

සමනළ සංවනියෙන් පසුව මම චිත්‍රපට පහකට රංගනයෙන් දායක වුණා. එයින් චිත්‍රපට තුනක්ම ඉදිරි කාලයේදී තිරගත වන්න නියමිතව තිබෙනවා තිරගත වූ තාල චිත්‍රපටයේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයක් ‍නෙවෙයි. තව ටෙලි නාට්‍යයකුත් විකාශය වන්න තියෙනවා. ‍පෝටාවැටිය කියන ඒ ටෙලි නාට්‍යයත් මීට වසර පහකට කලින් නිර්මාණය කළ එකක්. ඒක විකාශය වන්නෙත් කණාමැදිරියෝ විකාශය වන වෙලාවටම ජාතික රූපවාහිනියෙනුයි. කලින් කරපු නිර්මාණ එළි දකින විට, සහ භාරගත් අලුත් නිර්මාණ තුළිනුත් ආයෙමත් මාව ප්‍රේක්ෂකයින්ට දැකගන්නට පුළුවන් වේවි.

ඔබ ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් සමනළ සංවනිය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ඔබට දැන් මුණගැහෙන්නේ නැද්ද?

ඔහුව මට හමුවෙනවා. දුරකථයෙනුත් කතා කරනවා. මුල් කාලයේ මම නිර්මාණවලට දායක වෙද්දිත් ජයන්ත සර් ගැන හොයලා බැලුවා. දැන් නම් මට ස්වාධීනව හොඳ දේ තෝරාගන්න පුළුවන් බව දන්න නිසා සර් ගැන වැඩිය හොයන්නේ නෑ. එත් දැනටත් මම සර්ගෙන් උපදෙස් ගන්නවා.

සූර්යා දැන් අධ්‍යාපන කටයුතු හමාර කරලද ඉන්නේ?

ඔව්. එක උපාධියක් සම්පූර්ණ කරලා මම ඊළඟ උපාධියට සැරසෙනවා. තවම රැකියාවක් ගැන නම් හිතුවේ නැහැ. දැනට පූර්ණ කාලීනව කලාව සහ අධ්‍යාපන කටයුතුවල තමයි යෙදිලා ඉන්නේ.

අහම්බෙන් නළුකමට එන්න කලින් සූර්යා මුල් තැන දුන්නේ සංගීතයට නේද?

මම සංගීතයෙන් ඈත්වෙලා නැහැ. පහුගිය රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙදී හොඳම ඉංග්‍රීසි ගායනයට සම්මානය දිනාගත්තේ මමයි. මගේම ගීත කීපයක් මම ගායනා කරලා තියෙනවා. චිත්‍රපට හා ටෙලි නාට්‍ය පසුබිම් ගීතත් ඒ අතර තියෙනවා. මේ දිනවලත් අලුත් ගීත දෙකක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ගමෙන් කොළඹ ආපු ඔබ දැන් ගමට යන්නේ ජනප්‍රිය කෙනෙක් විදියටයි. කොහොමද ගම් පළාතෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර?

මගේ ගම ‍පොළොන්නරුව. අදටත් මම නිවාඩුවක් ලැබුණු හැටියේ ගමට යන්න ආසයි. ගමේ අයගෙන් හුඟක් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. සමහරු  මාත් එක්ක සෙල්ෆි ගහන්නත් එනවා. ඒ ලැබෙන ප්‍රතිචාර ලොකු සතුටක්.

සූර්යා දැන් ආදරවන්තයෙක් බවත් ආරංචියි?

(හිනැහි) ඒක නම් බොරු ආරංචියක්. මට තවම පෙම්වතියක් නෑ.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.