lakbima.lk

මගේ නම වැඩිපුර කතාබහට ලක් නොවන්නේ මා කළ අකුසලයක් නිසයි

සන්දර්ශන වේදිකාවේ මෙන්ම නව පරපුර අතරත් ජනප්‍රිය ගී නිරතුරුව බිහි වන අතර ඒවා කාලයත් සමග යටපත් වීමත් අලුත් ගී ඒ අතරට ඒමත් සංගීත ලෝකයට ‍පොදුය. එහෙත් අසූව සහ අනූව දශකවල බිහිවී අතිශය ජනප්‍රියත්වයට පත්ව අදද එලෙසින්ම ජනප්‍රියව පවතින ගීතද මේ අතර වේ.එවැනි ගී අතර වූ “බිඟු බඹා බඹා”, “දිගු නෙත් හසරැල්‍ලේ”,“ ඔබට සිත ආදරේ කරයි ” වැනි ගී අද පරපුරද තවමත් ආදරයෙන් වැලඳගත් ගී කිහිපයකි. මේ ගී කතෛක් ජනප්‍රිය වුවද ඒ ගී ගයන ගායකයා බොහෝවිට මාධ්‍යයට එක්වන්නේ ගී ගයන්නටය. ඒ ගුවන් විදුලිය රූපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍යයටය. පුවත්පත් මාධ්‍ය තුළ ඔහුගේ තොරතුරක් පළවන්නේ කලාතුරකිනි.ගායනය තුළින් නිරතුරුව ජනතාව අතරට ආවද සාමාන්‍ය ජීවිතය තුළ ඔහු බොහෝ නිහඬ අයෙකි. ඒ නිසාම දයාරත්න පෙරේරා නම් වූ මෙම දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියා අප සමග කතාබහට එක් කර ගත්තේ මේ අකාරයටය.

ඔබ පුවත්පත් මාධ්‍යය තුළින් රසිකයන් අමතන්නේ ඉතා අඩුවෙන්.. ඇයි ඒ....?
එකම එක නිර්මාණයක් කරලත් නම කී සැණින් රටේම කතාබහට ලක්වන අය ඉන්නවා. මම මගේ පළමු ගී 4 ක‍ලේ 1986 දී. නොදොඩා මුවින්.” සහ ”ඈත හිනැහෙන තාරකාවේ” (යමුනා විනෝදනී සමග) ගීත දෙක ඇතුළත් වුණේ ඒ ගී 4 ට. ඉන්පසු ඒ කාලයේදීම තමයි “බිඟු බඹා බඹා” “ඔබට සිත ආදරේ කරයි” වැනි ගී ගැයුවේ.. මම සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායකයකු විදියට සමත් වුණෙත් ඊට පස්සේ.. ඒත් එදා ගැයූ මගේ ඔය කිව් ගීත අදටත් ජනප්‍රියයි. හැබැයි ඒ ගී ගැයූ මගේ නම වැඩියෙ කතාබහට ලක්වන්නේ නැහැ.. මම බුදු දහම දැඩිව විශ්වාස කරන කෙනෙක්. මගේ ගී තවමත් ජනප්‍රිය මා සතු කුමන හෝ වාසනා ගුණයක් ඒ වගේම මගේ නම කතාබහට ලක් නොවෙන්නේ මා පූර්ව භවයේ හෝ මේ භවයේ කළ අකුසලයක්. මම හිතන්නේ එහෙම.. හැබැයි කිසිදා මම මාධ්‍යය පසුපස යන්නේ නම් නැහැ.. ඔබ අද මේ විදියට මා ගැන ලියන්නට සිතුවේ මා තුළ කුමක් හෝ විශේෂත්වයක් දුටු නිසානේ.. ඒ විදියේ ඇගයීම් නම් මට ගොඩක් වටිනවා.. එහෙම නැතුව අවස්ථා හොයාගෙන ගිහින් ලබන දේවල් වැඩක් නැ.

එදා ගැයූ ගී අදටත් ජනප්‍රිය වුවත්  මෑත කාලයේ ඔබගෙන් අලුත් නිර්මාණ බිහිවුණේ නැහැ .. ඒ ඇයි .. ?
අලුත් ගීත කරලා නාලිකාවලට දීල තියෙනවා.. ඒත් ඒවා ප්‍රචාරය වන්නේ නැහැ.. ඔය තත්ත්වය මට විතරක් ‍නෙවෙයි එදා පරපුරේ බොහෝ අයට තියෙන ප්‍රශ්නයක්.. හැත්තෑව අසූව දශකවල අයගේ ජනප්‍රිය ගී නාලිකාවල යනවා. ඒත් ඒ අය අලුත් ගී කරලා දුන්නට නාලිකාවලින් ඒවා ප්‍රචාරය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගීතයක් කරන්න යම් මුදලක් වැයවනවා.. ඒ විදියට ගීත කරලා ගෙදර රාක්කේ තියාගෙන ඉඳලා තේරුමක් නැහැනේ.. ඒ හින්දා මම අලුත් ගීත කරන්නේ නැහැ..

අද ගීත ජනප්‍රිය කරගන්නට විවිධ ක්‍රමවේද අනුගමනය කරන්නට සිදුවන බවත් සමහර නාලිකා මුදල් අයකරලා ගීත ප්‍රචාරය කරන බවටත් චෝදනා කරන අය ඉන්නවා.. ඔබටත් එවැනි අර්බුදවලට මුහුණදෙන්න වුණාද....?
මම හැමදේම සුබවාදීව හිතන කෙනෙක්.. අලුත් ගී ප්‍රචාරය නොවෙනවා කියලා මම දුක්වෙන්නේ නැහැ.. හැබැයි පරණ ගී තවම ජනප්‍රිය වීම ගැන සතුටුවනවා.. අද පරපුර තාක්ෂණයත් එක්ක ඉන්න අය.. ඒ පරපුරේ තරුණ නිවේදකයන් පවා මගේ ගීත විකාශය කරන්නේ ඒවාට කැමැති නිසා.. මට සතුටු වන්න ඒ ඇති.

ගීතයක් සමග රූප රචනාවක් කිරීම අද වනවිට අත්‍යාවශය දෙයක් වෙලා.. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද .. ?
මගේ ගී ජනප්‍රිය වුණේ රූප රචනා හින්ද ‍නෙවෙයි. ඒ හින්දා මට ඕක අදාළ නැහැ.. හැබැයි මෙහිදී කිවයුතු දෙයක් තියෙනවා.. ගීත රූප රචනා අද විතරක් ‍නෙවෙයි එදත් තිබුණා.. එදා ජෝතිගේ ගීත සඳහා රූපරචනා තුළ හිටියේ විජය සහ මාලිනි.. ඒවා ඇතුළත් වුණේ චිත්‍රපටවල. අපි ආසාවෙන් ඒවා නැරඹුවා. අද ඒ රූප රචනාව නැතුවම ඒ ගීය රස විඳිනවා.. චිත්‍රපටවල ගීතමය ජවනිකා වගේම තමයි රූප රචනාත්.. චිත්‍රපටියක් එක දිගට සිය දහස් වරක් බලන්න බැරි වුණත් ගීයක් ඕනෑම වතාවක් රස විඳිය හැකියි. ගීතයක් සමග තියෙන රූප රචනාවත් එහෙම තමයි.. ගීතයකට රූප රචනාවක් තිබුණොත් මිනිස්සු එය නරඹයි. හැබැයි හැමදාම නරඹන්න බැහැ. එපා වෙනවා. ඒ සමග ඒ ගීතය යටපත් වී යා යුතු නෑ.. ගීතය හැමදාම ජනප්‍රියව තියෙන්න ඕන. අද පරපුර ගීතයක් කරද්දි උනන්දු වෙන්න ඕන රූප රචනාව ගැන ‍නෙවෙයි.. මේ ගීතය කොයි තරම් කාලයක් ජනප්‍රියත්වයේ තියෙන්න පුළුවන් එකක්ද කියන එක ගැන.. රූප රචනාව ඒ ජනප්‍රියත්වයට පුංචි ආධාරකයක් විතරයි කියන එක අමතක කළයුතු නෑ..

අද බිහිවන ගීත ගැන සහ අද පරපුර ගැන ඔබේ අදහස කුමක්ද?
මුලින්ම කිව යුතුයි අද පරපුරේ අති දක්ෂ තරුණ පිරිමි ළමුන් වගේම ගැහැනු ළමයිනුත් ඉන්නවා. රියැලිටි තරගවලදී අමරදේවගේ ගීත වාගේම ජෝතිගේ ගීතත් අපූරුවට  ගයන තරුණ ළමයි අපි දැක තියෙනවා. ඒ තරග නරඹන්නන් ඒ අයට ආදරය කරන්නේ ඒ දකින දක්ෂතාවයට. ඒත් ඒ ළමයි තරගයෙන් පසුව ගයන්නේ අද දවසේ බිහිවන ගී.  ඒ ගී ටික දවසකින් නැතිව යනවා. ඒ හින්දා අද බිහිවන ඇතැම් අයත් කෙටි කලකින් යටපත් වෙනවා. මෙහි වරද අද ගීත නිර්මාණය කරන අය .... සමහර තරුණ සංගීතවේදීන් ඉහළම තාක්ෂණික අංශ යොදාගෙන ගීත කරනවා. ඒත් ඒ ගී තුළ එදා ගී තුළ පැවැති රසය නැහැ. එදා ගී නිර්මාණය කළ නිර්මාණවේදීන්  සංගීතය හදාරනවාට අමතරව අපේ පැරණි ගී වගේම හින්දි ගීත වැනි විදෙස් ගීතත් රස විඳි අය. ඒ ගී අපේ ජනතාවගේ රස මනස අවධි කළා. අද බෙහෝ නිර්මාණකරුවෝ පැරණි ගී අහලා නැහැ. අලුත් දේ කළ යුතුයි. අලුත් පර්යේෂණ කළ යුතුයි කියා කිව්වාට ඒ අලුත් නිර්මාණ අසන්නන්ගේ රස මනස තුළ රැඳෙන්න පුළුවනිද කියා සිතන්නේ නැහැ. අපේ ප්‍රධාන ආහාරය බත්. මොන දේ කෑවත් බතට තමයි අපි හුරුවෙලා තියෙන්නේ. මිනිස්සුන්ට හුරු රසය එදා ගී තුළ තිබුණා. අද දවසේ බිහිවන දක්ෂ ළමයින්ට මම යමක් කියන්න කැමැතියි. එදා සිටි තවමත් සිටින දක්ෂ සංගීතඥයෙකු ලවා හෝ ඒ රටාවේ හෝ ගීතයක් කරලා බලන්න. ජනතාව එය ආදරයෙන් වැලඳ ගනීවිද කියලා ඒ අයටම දැනගන්න පුළුවන් වේවි.

ආරියවංශ කුලතිලක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.