lakbima.lk

ෆේස්බුක් හරහා මම එයාට මඩ ගහනවා කියලා එයා මාව හොයාගෙන ආවා

Facebook හින්දා අපිට නාඳුනන අය බොහොමයක් දැන හඳුනාගන්න ලැබෙනවා. හැබැයි ඉතින් ඒ හින්දම නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් සිදුවනවා. නාඳුනන අයට වගේම හඳුනන අයටත් අපිට Facebook හරහා ලොකු බලපෑමක් කරන්න අද පුළුවන්. ඒ වගේ අය හින්දා මමත් නොයෙක් විදියේ අපහසුතාවලට මුහුණ දීලා තියෙනවා.

එක දවසක් මගේ යාළුවෙක් මට පුදුම කතාවක් කිව්වා. මේ කතාවේ හැටියට මට ගීතයක් කරන්න අවශ්‍ය වෙලා මගේ රසික රසිකාවියන්ගෙන් මුදල් ඉල්ලලා තියෙනවා. ඔය අතරේ මම ගෑනු ළමයින්ට චැට් කරලා අනවශ්‍ය දේවල් කියලත් තියෙනවා. අපේ නමින් පෙනී සිටින හොර Facebook Acount පවත්වාගෙන යන අය මේ වගේ දේවල් කරනවානේ. මමත් හිතුවේ මේකත් ඒ වගේ කෙනෙකුගේ වැඩක් කියලයි. ඒත් මම ඒ ගැන හොඳට හොයලා බැලුවා. බලනකොට මේ හැමදේම කරලා තියෙන්නේ මගේ facebook එකෙන්මයි. මොකද දන්නවද වෙලා තියෙන්නේ. මගේ ගිණුමට Hacker කෙනෙක් රිංගලා. එයා තමයි මේ දේවල් කරලා තියෙන්නේ. පස්සේ මම නීතිය ඉදිරියට ගියා. මගේ facebook එක  hack කළ කෙනා අල්ලා ගන්න පුළුවන් වුණා. ඒ වැඩේ කරලා තියෙන්නේ වයස 20ක විතර පිරිමි ළමයෙක්. මම ඒ සිද්ධිය වැඩිදුර ගෙනිච්ච් නැහැ. තමන්ගේ දැනුම හොඳ විදිහට යොදා ගන්න කියලා මම එදා ඒ ළමයාට අවවාද කරලා යන්න ඇරියා.

මේ ළඟදී දවසක තවත් වැඩක් සිද්ධ වුණා. මම කැම්පස් එකේ ඉන්න වෙලාවේ මාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්න බවට පණිවුඩයක් මට ආවා. මම යද්දී නාඳුනන තරුණයෙක් ඉන්නවා. මම එයා ආපු කාරණය ඇහුවා.

facebook වලින් මට දිගට හරහට මඩ ගහනවා. ඒ මනුස්සයා කිව්වා. එහෙම දෙයක් වෙනවා නම් ඇයි ඒ ගැන කියන්න මාව හොයාගෙන ආවේ කියලා ඇහුවම එයා කියනවා. මමත් එයාට මඩ ගහන අය අතර කෙනෙක් කියලා. ජීවිතේට දැකලා නැති කෙනෙකුට මඩ ගහන්න මට ඇති වුවමනාව මොකක්ද කියලා මම එයාගෙන් ඇහුවා. මෙයා දිගින් දිගටම එක එක දේවල් කියනවා. කියන දේවල් තේරෙන්නෙත් නැහැ. බැරිම තැන මම ඇහුවා මොනවා කියලද ඔයාට මඩ ගහන්නේ? කියලා. එයා ඒකටත් පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ.  මේ මනුස්සයා කවුද? එයා කියන්නේ මොකක්ද?, එයා මේ විදියට මාව මුණ ගැහෙන්න ආවේ ඇයි කියන එක ඇත්තටම මට පැහැදිලි වුණේ නැහැ. අන්තිමට බොහොම අමාරුවෙන් තමයි මම එයාව පිටත් කරලා හැරියේ. මේ සිදුවීමෙන් පස්සේ ඔය විදියේ නාඳුනන අය ආවාම මම ඉන්න තැනට එවන්න එපා කියලත් මම එදා විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට උපදෙස් දුන්නා.

Facebook Messenger හරහා එන පණිවුඩ ගැන නම් කියන්න මේ වගේ ලිපියක් මදි. විවිධාකාර මානසික මට්ටම්වල අයගෙන් ඒ වගේ පණිවුඩ එනවා. ඒ වගේ අසහනකාරී පුද්ගලයන් එවන පණිවුඩවලට නම් මම උත්තර දෙන්න යන්නෙත් නැහැ.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.