lakbima.lk

ටෙලියට වැදුණු බෝම්බ

බෝම්බ බිය සමග කලා ක්ෂේත්‍රය ද, එහි  නියැලෙන්නන්ද වසර 10කට පසු නැවත වරක් ප්‍රශ්න රැසකට මුහුණ දී ඇත. ජනතාව රැස්වන ස්ථාන පිළිබඳ ඇති අවදානම නිසා කලාකරුවන් හා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝමයක් දෙනෙකුගේ ආදායම් තත්ත්වයට ද විශාල බලපෑමක් එල්ල වී ඇත. වෙනදා මෙන් මහ පාරේ, මඟතොටේ, සෙනඟ ගැවසෙන ස්ථානයන්හි රූගත කිරීමද ටෙලි නාට්‍ය කණ්ඩායම්වලට අසීරු වී තිබේ. එහෙත් මේ දිනවල දිනපතා විකාශයවන ටෙලි නාට්‍යයන්හි නිර්මාණකරුවන්ට බෝම්බ බිය, ත්‍රස්තවාදී බිය පසෙකලා රූගත කිරීම් කරන්නට ඔවුන්ට සිදුව ඇත. ඒ, තමන් බාරගත් විකාශන කාලයට අදාළ ටෙලි නාට්‍ය බාර දිය යුතු බැවිනි. රූගත කිරීම්වලදී තමන් මුහුණපාන දුෂ්කරතාවන් ගැන කතා කරන්නට මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක්, රංගන ශිල්පීන්, ශිල්පිණියන් කිහිප දෙනෙක් සමග “රිද්ම” අපි කතා බහ කළෙමු.

බයයි කියලා රැකියාවට නොගිහින් ඉන්න බෑ

- තිසුරි යුවනිකා

බෝම්බ පිපිරෙද්දීත් මම හිටියේ ෂූට් එකක. මම ගෙදර එනකල් මගේ අම්මා, තාත්තා, සැමියා හිටියේ පුදුම බයකින්. ඒක මට විතරක් ‍පොදු නෑ. අපි කවුරුත් අපේ ආදරණීයයන් ගැන දැන් ඉන්නේ බයෙන්. බයයි කියලා අපිට අපේ රැකියාවට නොගිහින් ඉන්න බෑ. රැකියාවක් කරන කෙනෙක්ට තමන්ගේ ආයතනය එක්ක තියන නීත්‍යනුකූල බැඳීම වගේ අපිත් නිර්මාණකරුවන් වශයෙන් බාර ගත්ත නිර්මාණයට බැඳිලා ඉන්නවා. අපිට ඒ ගැන වගකීමක් තියෙනවා. නිර්මාණ කරනවාද, නොකරනවාද කියලා තීරණය කරන්නේ අධ්‍යක්ෂවරු හෝ නිෂ්පාදකවරු නෙමෙයි රූපවාහිනී නාලිකා.

රූපවාහිනී නාලිකා තීරණය කළොත් ටෙලි නාට්‍ය පෙන්නන්නේ නෑ කියලා අපිත් බයක් නැතුව ගෙදර ඉන්නවා. ඒත් වැඩක් කරන්නේ නැතුව ගෙදර ඉන්න එක මට ප්‍රශ්නයක් නොවුණට එක් එක් ආර්ථික මට්ටම්වල අයට ඒක ප්‍රශ්නයක් වෙනවා. රටේ තත්ත්වයත් එක්ක ටෙලි නාට්‍ය විකාශය නොකරන්න නාලිකා තීරණය කළොත් අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු වැඩ නවත්තයි. ඒත් ඒක මේ ක්ෂේත්‍රයට විවිධ විදියට සම්බන්ධ අයගේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙනවා.
දවසින් දෙකකින් මේ ප්‍රශ්නය විසඳෙනවා නම් අපිට බයයි කියලා ගෙදර ඉන්න පුළුවන්. ඒත් ඒක එහෙම නොවෙන නිසා බයේ වුණත් ලංකාවේ හැම ක්ෂේත්‍රයකම අය වගේ අපිත් අපේ රැකියාවට යනවා.

වේදිකාව නම් ගොඩ එන්න බැරි විදියටම පහළට වැටෙයි

- ධර්මප්‍රිය ඩයස්

මේ වගේ සිද්ධියක් වුණාම රටේ ආර්ථිකය ඇතුළු හැමදේම කඩා වැටෙනවා. ඒ වෙලාවට මුලින්ම කපා හරින්නේ විනෝදාස්වාදය. එහෙම කළා කියලා, අපි හම්බකරගෙන කන්නේ ඒකෙන් කියලා අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද ඒක ‍පොදු ප්‍රශ්නයක්.

වර්තමානයේ රටේ තියෙන ප්‍රශ්නය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග කියන සෙනඟ එකතු වෙන කලා මාධ්‍යවලට දැඩිව බලපානවා. බයක් නැතුව චිත්‍රපටයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න, සංගීත ප්‍රසංගයක් බලන්න යන්නේ කොහොමද? ඒ නිසා මේ තත්ත්වය කලා කරුවන්ට, කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ රැකියා කරන අයට දැඩිව බලපානවා. මෙහෙම තත්ත්වයකදී වේදිකාව නම් ගොඩ එන්න බැරි වෙන්නම තවත් පහළට වැටෙයි. ඒත් එක්ක ඒ තත්ත්වය කී දෙනෙක්ගේ ආර්ථිකයට බලපාවිද?

රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කරන තුරු අපි එළියට බහින්නේ බයෙන්. ඔබ දැන් කතා කරනකොටත් මම ඉන්නේ ‍පොළොන්නරුවේ චිත්‍රපටයක රූගත කිරීමකයි. මම සම්බන්ධ වෙන දිනපතා විකාශය වන ටෙලි නාට්‍ය තියෙන නිසා මම ඒවාටත් දායක වෙනවා. අපි රට වටේ කරක් ගහන මිනිස්සු.

මේක අපේ රස්සාව. බෝම්බ බය කියලා ගෙදර ඉන්න බෑ. අපි ජීවිත අවදානම වගේම ආර්ථික අවදානම ගැනත් බඩේ ගින්දරෙන් ඉන්න කොට ගෙදර අය අපේ ජීවිත ගැන බඩේ ගින්දරෙන් ඉන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

මගේ ජීවිතය බේරුවේ නීල පබළු

- ඉෂාන් ගම්මුදලිගේ

පාස්කු ඉරිදා මහ සිකුරාදා කතෝලිකයෙක්ට නත්තල තරමටම වැදගත්. පාස්කු ඉරිදා උදේ කොච්චිකඩේ පල්ලියට යන්න අම්මයි මමයි හිතාගෙන හිටියේ. ඒත් “නීල පබළු” ටෙලි නාට්‍යයේ හදිසි රූගත කිරීමකට අකැමැත්තෙන් වුණත් එදා උදේ වෙන් කරන්න මට සිද්ධ වුණා. මම අම්මාට කිව්වා අපි හවස ගිහින් ඉටි පන්දම් පත්තු කරලා එමු කියලා.

ඒත් අම්මා කිව්ව “ඔය කිව්වට හවසත් යන්න වෙන එකක් නෑ” කියලා. ඇය එහෙම කිව්වේ මගේ කාර්යබහුලකම නිසා යන්න බැරිවෙයි කියන හිතේ අමාරුවටයි. ෂූටින් තිබුණ නිසා මමයි අම්මාගෙයි  ජීවිතේ නූලෙන් බේරුණා. ඒත් අපිට සතුටු වන්න බෑ. ඒ මැරුණේ අපේ සහෝදර ජනතාව.

 කොච්චිකඩේ බෝම්බය ගැන තමයි මට මුලින් ආරංචි වුණේ. ඒක අහලා මගේ කකුල් දෙකත් පණ නැතිවුණා. එතන ඉඳන් වැඩක් පලක් කරන්න පුළුවන් මානසික මට්ටමක නමෛයි අපි හිටියේ. දෙහිවල බෝම්බය පුපුරන කොට අපි රූගත කිරීම් කළේ බොරලැස්ගමුවේ. එතනින් එහාට නම් අපිට මුකුත්ම කරගන්න බැරිවුණා. එදා ෂූටින් අතමඟ නතර වුණා.


මට සථිර රස්සාවක් තිබුණට කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දවස් පඩි කාරයෝ. කලා කරුවෝ විතරක් නමෛයි කාර්මික ශිල්පීන්, කැමරා ශිල්පීන් මේ හැමදෙනාම ඒ ගොන්නට අයත්. ඒ නිසා ෂූටින් නතර කරලා ගෙවල්වල ඉන්න කාටවත් බෑ. බෝම්බ බය කියලා ගෙදර හිටියොත් නිෂ්පාදකයා අමාරුවේ. නාට්‍ය නොදී හිටියොත් රූපවාහිනී නාලිකා අමාරුවේ. අපි හැමෝම එකකට එකක් සම්බන්ධයි. මේක සාමූහික කාර්යයක්. තමන්ගේ වගකීම ගැන වගේම දරු පවුල් ගැන හිතලා කාටත් මේ අවදානම ගන්න වෙනවා.

මොන ප්‍රශ්න තිබුණත් ගිවිසුමට අනුව රූගත කිරීම් කරන්නම වෙනවා

- රවීන්ද්‍ර විජේරත්න

අපි කරන රස්සාව එක්ක හැමදාම ෂූටින් කැන්සල් කරන්න බෑ. අපිට නාලිකා සමග ගිවිසුම් තියෙනවා. වෙලාවට ටෙලි නාට්‍ය බාර දෙන්න ඕනෑ. මේ දිනවල රූගත කරන්නේ සිරස ටීවී එකේ දිනපතා විකාශය වන “ඔබ නිසා” ටෙලි නාට්‍ය හා හිරු ටී.වී. හි මාර්තු 3 සිට සතියේ දිනවල විකාශය වන “හුස්මක් තරමට” ටෙලි නාට්‍ය දෙක. ඒ නාට්‍ය දිනපතා විකාශය වන නිසා දිනපතා රූගත කිරීම් තියෙනවා.

අපි කවුරුත් මිනිස්සු. රටේ මෙච්චර විනාශයක් වෙලා තියෙද්දී අපි රූගත කිරීම් කරනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. අපේ රස්සාව පිටින් බලන තරම් සුන්දර නෑ. අධ්‍යක්ෂවරයාගේ, නළුවා නිළියගේ සිට තේ හදන කෙනා දක්වා අපි හැමෝම දවස් පඩි කාරයෝ. රූගත කිරීම් නැති වෙනවා කියන්නේ ඒ අයගේ ආදායමට බලපෑමක් වෙනවා. ආදායම පැත්තකින් තැබුවත් රූගත කිරීම් නතර කරන්න බෑ.

දිනපතා විකාශය වන නාට්‍ය  නිසා. ප්‍රසිද්ධ, සෙනඟ ගැවසෙන  තැන්වල මහපාරේ රූගත කරන්න දැන් බයයි. උදේ ඇඳිරි නීතිය, රාත්‍රී ඇඳිරි නීතිය නිසා පාන්දර රූගත කිරීම් රාත්‍රී රූගත කිරීම් කරන්න වෙන්නේ නෑ. මේ සිද්ධියට කලින් පාන්දර 3.30 ට අපි ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න පටන් ගන්නේ. දැන් එහෙම කරන්න බෑ. උදේ 5ට, 6ට එළිය වැටුණට පස්සේ තමයි අපි ප්‍රවාහන පහසුකම් දෙන්නේ. හවස 5,6 වෙනකොට අපි ෂූටින් නතර කරනවා. ඒ වේලාසන කට්ටියව ගෙවල්වලට යවන්න ඕන නිසා.


අපි පාරට බැස්සාම ගෙවල්වල මිනිස්සු ඉන්නේ හිතේ ගින්දරෙන්. අපි වෘත්තීය ශිල්පීන් එක්ක ගණුදෙනු කරන නිසා කතා බහ කරලා සුහදව මේ ගණු දෙනුව කරනවා. කොහොම වුණත් මේ සිද්ධියත් එක්ක රට අස්ථාවර වුණා වගේම කලාකරුවන් හැටියට අපිත් අස්ථාවර වුණා.

හදිසි රූගත කිරීමක් නොතිබුණා නම් ඉෂාන් එදා කොච්චිකඩේ පල්ලියට යනවා

- සඳුන් රාජකරුණා

බෝම්බ ප්‍රහාරය ආරංචි වන විට අපි හිටියේ මහරගම “නීල පබළු” රූ ගත කරමින්. එදා මහරගම අවට උදේ සහ දවල් රූගත කරලා හවස නාවලපිටි යන්නයි සැලසුම් කරලා තිබුණේ. ඒත් ඒ සියල්ල වෙනස් වුණා. අත්‍යවශ්‍යම රූගත කිරීම් ටික නිම කරලා අපි ගමනත් කල් දාලා රූගත කිරීම් නතර කළා. නොගිහින් බැරි හින්දා පහුවෙනිදා තත්ත්වය බලලා නාවලපිටියේ ගියා.

අපේ ඉෂාන් ගම්මුදලිගේ ජීවිතය කොච්චිකඩේ පල්ලියේ බෝම්බයෙන් බේරුණේ “නීල පබළු” නිසා. එදා ඉෂාන්ගේ අත්‍යවශ්‍යම රූගත කිරීමක් තිබුණ නිසා මම ඔහුව ගෙන්වා ගත්තා. නැත්නම් එදා ඉෂාන් කොච්චිකඩේ පල්ලියට යන්නයි හිටියේ.

ෂූටින් කැන්සල් කළොත් හුඟ දෙනෙකුගේ බඩට වදිනවා

- සාරංග මෙන්ඩිස්

මේ සිද්ධිය ආරංචි වෙන කොට මම හිටියේ ප්‍රංශයේ. මම මුලින්ම කළේ ෂූටින් කැන්සල් කරපු එකයි. ඒත් ඒක දිගටම කරන්න පුළුවන් ප්‍රායෝගික විසඳුමක් නමෛයි. මොකද මගේ “දවෛනි ඉනිම” සහ “සංගීතේ” කියන ටෙලි නාට්‍ය දෙකම දිනපතා විකාශය වන ඒවායි. අපි නියමිත දිනයට අදාළ කොටස නාලිකාවට බාර දිය යුතු වෙනවා. ඒ වගේම නාට්‍ය දෙකේම 150ක ටීම් එකක් ඉන්නවා. ඒ හැමෝම දවස් පඩියට වැඩ කරන්නේ. වැඩ නතර කළොත් ඒක ඔවුන්ගේ ආර්ථිකයට වගේම බඩටත් වදිනවා.

මමත් කතෝලිකයෙක්. කතෝලික කිහිප දෙනෙක්ම අපි එක්ක වැඩ කරනවා. 21 දේවස්ථානවලට එල්ල කළ ප්‍රහාර වලට අපේ ඥාතියෝ, යාළු හිත මිතුරෝ ගොදුරු වෙලා තිබුණා. ඒ දුක කම්පනය අපෙන් තවම පහ වෙලා නෑ. ඇත්තටම අපි මේ දවස්වල නිර්මාණ කරන්නේ නිදහස් මනසකින් නමෛයි.

වෘත්තීය ගරුත්වය සහ වගකීම දන්නා පිරිසක් එක්ක වැඩ කරන නිසා සුහදව කතා කරලා අපි ආරක්ෂාව ගැනත් හිතලා රූගත කිරීම දාගන්නවා. කෙනෙක්ට එන්න බෑ කිව්වත් අපිට මොනවත් කියන්න බෑ. මොකද බලහත්කාරයෙන් ගෙන්වාගෙන ඒ අයට උපරිම ආරක්ෂාව  දෙන්න අපිට පුළුවන් කමක් නෑ.

සවන්තී රාජපක්‍ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.