lakbima.lk

ඇය මුදලට විකිණෙන කලාකාරිනියක් නොවෙයි

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ ඔපෙරා සිප් සතර හැදෑරූ ඇය සිංහල ඔපෙරා ගායිකාවන්ගේ කුලකයේ හිණිපෙත්තේ සිටින ගායිකාවක්. ඒ විතරක් නොවෙයි, වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන තුන් මාධ්‍යයේම දක්ෂ රංගනවේදිනියකගේ කාර්යයන් ඇය විසින් ඉටු කර තිබෙනවා. 
 
මේ වන විට ඇය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙසයි සේවය කරන්නේ. ඉන්දිකා උපමාලි නම් වන ඇය  ගුණාත්මක කලාව ප්‍රිය කරන ප්‍රේක්ෂකාගාරයේ නොමඳ ආදරයට ලක් වූ තාරකාවියක්. මේ දිග හැරෙන්නේ ඇගේ ජීවන සෙවණැල්‍ලේ කතාවයි. ඒ පිළිබඳව කියන්නේ ඇයගේ ආදරණීය සැමියා රොහාන් චින්තකයි.
 
මම
 
මගේ ගම තිඹිරිගස්යාය. මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. මට අක්කා කෙනෙක් ඉන්නවා. පාසල් අධ්‍යාපනය ඉවර කරලා මම ආයතන කීපයකම සේවය කළා. අද වෙන කොට ශ්‍රී ලංකා රග්බි සංගමයේ කළමනාකරු විදිහට සේවය කරනවා.
 

හමුවීම
 
ඉන්දිකාව මම මුලින්ම දැක්කේ මට වයස අවුරුදු 24 දී විතර. එතකොට ඉන්දිකාට වයස 16ක් වගේ ඇති. මගේ ගෙවල් ළඟ හිටියා යාළුවෙක් ගීතාංජලී කියලා. ඇයයි ඉන්දිකායි ඒ දවස්වල මානස විල ඔපෙරාවට පුහුණුවීම්වලට යන්නේ එකට. ඒ දවස්වල ඉන්දිකා ඇගේ ගෙදරට ආවාම තමයි මම ඉන්දිකාව මුලින්ම හඳුනා ගත්තේ. ඊට පස්සේ අවුරුදු පහකට පස්සේ අපි නැවත හමු වුණා. ඒ ගීතාංජලීගේ විවාහ මංගල්‍යයේදී. එදා තමයි හරියටම අපි හමුවෙලා දැන හඳුනාගෙන ආදරේ කරන්න පටන් ගත්තේ.
 
 විවාහය
 
මම හිතනවා ෙදෙවය විසින් දෙපාරක්ම අපිව මුණගැස්සුවේ ඉන්දිකා මගේ බිරිඳ විය යුතුම නිසා වෙන්න ඇති කියලා. දෙවැනි පාරට හමු වුණාට පස්සේ අවුරුදු 10ක් විතර අපි ආදරය කරලයි විවාහ වුණේ. විවාහ වෙලා අද අපි ජීවත් වෙන්නේ නාරාහේන්පිට  අපේ ගෙදරයි.
 
වැඩිපුරම සතුටු වුණු දවස
 
ඇත්තටම වැඩියෙන්ම සතුටු වුණේ අපේ පුතා හම්බ වුණාමයි. 2015 මැයි 22 තමයි පුතා අපේ ලෝකයට ආවේ. මම වෙන කිසිම දේකින් එච්චර සතුටක් ලබලා නෑ.
 
 එයා ගැන මම විතරක් දන්න රහස
 
මම දන්න අවංකම කලාකාරිනියක් තමයි ඉන්දිකා කියන්නේ. ලංකාවේ ගොඩක් අය කලාව බිස්නස් එකක් කරගෙනයි ඉන්නේ. ඉන්දිකා කවදාවත් ඒ වගේ මුදලට කලාව විකුණන්නේ නැහැ. ඒ වගේම ඇය ජනප්‍රියත්වය පසුපස යන කලාකාරිනියකුත් නමෛයි.
 

 ඇගේ කැමතිම දේ?
 
මම ඇගේ ගායන හැකියාවට හරිම කැමතියි. ඒ වගේම ඇය බොහොම තැන්පත් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක්. මම ඇයව විවාහ කරගන්න තරම් හේතු වුණේ ඒ ගතිගුණ තමයි.
 
 හෙට දවස
 
ඉන්දිකා ජීවිතයේ වැඩි කාලයක් ගෙවන්නේ සංගීතය සමගයි. මමත් ඇගේ ඒ කටයුතුවලට සහයෝගය දෙනවා. ඒ වගේම අපි දෙන්නාගේ හෙට දවසේ එකම බලා‍පොරොත්තුව පුතා වෙනුවෙන් කැප වෙලා ඔහුට හොඳ ජීවිතයක් හදලා දෙන එක තමයි. 
 
තිනෙති නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.