lakbima.lk

පසුගිය දා පැවැත්වුණු 23 වැනි සුමති සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම පූරක ලෙස සම්මානයට පාත්‍ර වූයේ ප්‍රවීණ නිවේදක සහ ගීත රචක කැලුම් ශ්‍රීමාල්, ඒ ටී.වී. දෙරණ නාලිකාවෙන් ඔහු ඉදිරිපත් කරන “මා නොවන මම” වැඩසටහන වෙනුවෙන්. සම්මානය ගැන වගේම තමන්ගේ නිවේදක දිවිය ගැනත් රිද්ම පාඨකයන්ට පවසන්නට බොහෝ දේවල් කැලුම්ට තිබුණා.

සම්මානයේ සතුට ඔබට දැනෙන්නේ මොන විදිහටද?

මේ ලැබුණු සම්මානය මට බොහොම වටිනවා. මොකද නිවේදකයෙක් විදිහට මගේ වසර 32ක වෘත්තීය ජීවිතය තුළ මට ලැබුණු පළමු සම්මානය තමයි මේක. මම ලංකාවට යමක් කරලා තියෙනවා නම් මට ඒ වෙනුවෙන් කවදාවත් ඇගැයුමක් නොලැබේවි කියලා හිත හදාගෙන හිටපු අවස්ථාවක තමයි මට මේ සම්මානය ලැබුණේ.

ලැබෙන්න තිබුණු සම්මානත් නොලැබුණු අවස්ථා නිසාද ඔබ ඒ විදිහට කලකිරිලා හිටියේ?

මම සම්මාන බලාගෙන වැඩකරන කෙනෙක් ‍නෙවෙයි. නමුත් ඇතැම් විනිශ්චයන් නිසා කලකිරීම් ඇති වූ අවස්ථා නම් කිහිපයක්ම තියෙනවා. මම “සිකුරු හතේ” චිත්‍රපටය වෙනුවෙන් ලියූ “නිලට නි‍ලේ” ගීතය වතාවක් එක්තරා සම්මාන උළෙලකදී හොඳම ගායනය සඳහා සම්මානයට පාත්‍ර වුණත්, මට ඒ අවස්ථාවේ හොඳම ගීත රචනය වෙනුවෙන් වන සම්මානය ලැබුණේ නැහැ. ඒ වෙලාවේ මට ඒ විනිශ්චය ගැන කුකුසක් සහ කලකිරීමක් ඇති වුණා. තවත් වතාවක් සම්මාන ලබන්න මම තරුණ වැඩියි කියලා මට හිමිවෙන්න තිබුණු සම්මානය වෙන කෙනෙකුට දීලා තිබුණා.

“මා නොවන මම” කියන්නේ වෙනස්ම ආකෘතියක් රැගත් සංගීත වැඩසටහනක් විදිහට හැඳින්වුවොත් නිවැරදියි නේද?

ඇත්තෙන්ම ඔව්, පැරණි පරපුරේ ගීත අලුත් පරපුරේ හඬවල්වලින් එළියට දාන්න මගේ ලොකු ආසාවක් තිබුණා. “මා නොවන මම” වැඩසටහන හරහා ඒ කටයුත්ත කිසිදු බාධාවකින් තොරව, මගේ පාඩුවේ කරගෙන යන්න ඉඩදීම ගැන එහි නිෂ්පාදක චින්තක ගම්ලත් ඇතුළු දෙරණ නාලිකාවට මම මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම වැඩසටහන සංගීතවත් කරන ‘නාද’ සංගීත කණ්ඩායමත් මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි.

“මා නොවන මම” වැඩසටහනට අද වෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් ඔබට සතුටු වෙන්න පුළුවන් බවට සැකයක් නැහැ?

“මා නොවන මම” අද වෙද්දී කිසිදු භේදයකින් තොරව බොහෝ දෙනා “එලවා එලවා” බලන විදිහේ වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා. වත්මන් පරපුරේ අවශ්‍යතාවයක් ඉටු කරමින් දැනුම් සහ රසය ලබාදෙන විනයානුකූල සන්නිවේදනයක් තමයි මම ඒ වැඩසටහනේදී කරන්නේ. “මා නොවන මම” වැඩසටහන නිසා මට ලංකාවේදී වගේම විදේශයන්හිදීත් ලැබෙන ඇතැම් ප්‍රතිචාර දකිද්දී මට හිතෙනවා මම පෙර ආත්මයක කරපු පිනක් නිසා වෙන්න ඇති එවැනි ආදරයක් ජනතාවගෙන් අද මට ලැබෙන්නේ කියලා.

මේ වැඩසටහනේදී ඔබ කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතවල සැඟවුණු තොරතුරු පවා හාරා අවුස්සනවා. කොහොමද කලාකරුවන් සමග එතරම් කුළුපග වුණේ ?

“මා නොවන මම” වැඩසටහන සඳහා එක්වන කලාකරුවන් සහ කලාකාරියන් හැමෝම මගේ කලණ මිතුරන් විදිහට හැඳින්වුවොත් හරි. කාලයත් ක්‍ෂේත්‍රයේ ඉඳලා ඇතිකරගත් දැන හැඳුනුම්කම් එක්ක ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල තොරතුරු පවා මම හොඳට දන්නවා. ඉතින් මේ වැඩසටහනේදීත් ඔවුන් තමන්ගේ පෞද්ගලික ජීවිතවල ලැබූ කටුක අත්දැකීම් පවා හෙළි කරනවා. මේ විදිහේ පෞද්ගලික චරිත වාර්තාකරන වැඩසටහනක් ලංකාවේ තිබුණේ නැහැ. වෙනත් වැඩසටහන්වලට සහභාගි නොවන ප්‍රවීණයන් පවා මා සමග තිබෙන හිතවත්කම නිසාම වැඩසටහනට එක්වූ අවස්ථා තිබෙනවා.

තමන්ගේ ගීත වෙනත් අය ගායනා කිරීම ගැන ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් වැඩසටහනට දෝෂාරෝපණ එල්ල වූ අවස්ථා නැද්ද?

ඉඳහිට එවැනි අවස්ථාත් නැතුවා නොවෙයි. නමුත්, කිවයුතුම දෙයක් තමයි මෙය වෙළෙඳ අරමුණක් ඇතිව කරන වැඩසටහනක් නොවන බව. බොහෝ ප්‍රවීණයන්ගේ හැංගිලා තිබුණු ගී මේ වැඩසටහනේදී අලුත් පරපුරේ අය විසින් ගායනා කිරීම නිසා නැවත ඉස්මතු වූ අවස්ථා හුඟක් තිබෙනවා.

ක්‍රිකට් විස්තර විචාරකයෙක් වීම නිසා ඔබට ඇළුම් කරන විශාල පිරිසකුත් සිටින බව අමතක කරන්න බැහැ ?

ඔව්, ක්‍රිකට් විචාරකයෙක් විදිහට මට ලැබුණු දේ බොහොමයි. ඒ නිසා අදටත් මම ඉඩ ලැබෙන අවස්ථාවලදී විස්තර විචාරයට එක්වීම මඟහරින්නේ නැහැ.

තාත්තා කෙනෙක් විදිහට ලොකු බරකින් නිදහස් වෙලා නේද ඔබ මේ වෙනකොට ඉන්නේ ?

ඒක ඇත්ත. මගේ දියණිය පාරමී මෑතකදී යුගදිවියට ඇතුළත් වුණා. ඇගේ විවාහ මංගලෝත්සවය ගැන හිතපු නැති විදිහේ විශාල ප්‍රසිද්ධයක් ලැබුණා. දුව දැන් ඇගේ සැමියා එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. සමහර විට මමත් මගේ බිරිඳ අනුෂාත් දවසක ඕස්ට්‍රේලියාවේම පදිංචියට යන්නත් ඉඩ තියෙනවා.

කිෂාන් කනංකෙ

  1. දෙරණ 60 plus කිරුළ දිනූ ජී.ඩී. ප්‍රේමරත්න දැන් පමුණුවේ රෙදි විකුණන්නේ නැද්ද?
  2. එකම මාසයක් තුළ රිදී තිරයේත් පුංචි තිරයේත් නැගී එන නළුවාට හිමි සම්මානය හිමිවුණා
  3. අක්කලා විවාහ කරගත් ලෝ ප‍්‍රකට මල්ලිලා
  4. මම ආයෙමත් දුෂ්ට චරිත රඟපාන්නේ නැහැ
  5. මෙවර යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවෝ
  6. අයියගේ හදවත නැවතුනේ මීට අවුරුද්දකට විතර කලින්
  7. සිතාරා දැන් යෝගා පුහුණුකාරිනියක්
  8. මාධවී වත්සලා කාටවත් නොකියපු ප්‍රේම කතාවේ ඇත්ත කතාව
  9. අදටත් ඉස්කෝලෙ යන්න ආසයි
  10. මගේ නම වැඩිපුර කතාබහට ලක් නොවන්නේ මා කළ අකුසලයක් නිසයි
  11. මම ඉස්සර හාත්පසින්ම වෙනස් චරිතයක් කියලා ගොඩාක් අය දන්නේ නැහැ
  12. ඕලුට තවත් ඕලු මලක්
  13. අවුරුදු ගණනක් ගිහිල්ලත් අදටත් ආරංචියක් නැති උපාලි කීර්තිසේන පිළිබඳ සංවේදී කතාවක්

Page 1 of 14

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.