lakbima.lk

මෙම ලිපිය කියවන පාඨක ඔබ වේදිකා නාට්‍යය රසිකයෙකු හෝ රසිකාවියක නම් අපි මේ තොරතුරු කියන්නට සූදානම් වෙන රංගන ශිල්පියාව වේදිකාවේදී ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒ වගේම තමයි, ඔබ සිංහල හඬ කැවූ ටෙලි නාට්‍යය, රූපවාහිනියෙන් නරඹනවා නම් මේ හඬ කැවීම් ශිල්පියාගේ හඬ ඔබට හුරු පුරුදු එකක් නොවෙන්නවත් බැහැ. නමුත්, ඉන්දික ජයසිංහ නමැති ඔහු කවුරුන්දැයි ඔබ සැබෑ ලෙසටම හඳුනා ගන්නා පළමු අවස්ථාව මෙම සංවාදය බව නම් අපට විශ්වාසයි.

දයානන්ද ගුණවර්ධනයන්ගේ නරි බෑණා වේදිකා නාට්‍යය ගැන නොදන්නා කෙනෙක් මේ රටේ නැති තරම්. ඒ නාට්‍යයේ නරියාගේ චරිතය රඟපෑමට ඉන්දිකට අවස්ථාව ලැබුණේ කොහොමද?

රත්නශීලා පෙරේරා කලාකාරිනිය තමයි මුලින්ම දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය කණ්ඩායමට මාව යොමු කළේ. ඒ වෙනකොටත් බෙරහඬ තාරාවෝ ඉගිලෙති, වගේ ජනප්‍රිය වේදිකා නාට්‍යය කිහිපයකටම  මම සම්බන්ධ වෙලා හිටියා. දයානන්ද ගුණවර්ධන නාට්‍ය කණ්ඩායමේ සමූහ ගායන කණ්ඩායමටයි මම මුලින්ම එකතු වුණේ. ඒ නාට්‍ය කණ්ඩායමත් එක්ක ගජමන් පුවත, නාට්‍යයේ රංගන ශිල්පියෙක් විදියට රට වටේ යද්දී මගේ රංගන දක්ෂතා දැකලා නරි බෑණා නාට්‍යයේ නරියාගේ චරිතයට මාව තෝරා ගත්තා. දැන් අවුරුදු 10ක විතර ඉඳන් මම නරියාගේ චරිතය රඟපානවා.

අද වෙනකොටත් ප්‍රවීන රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල තමයි නරි බෑණා නාට්‍යයේ නරියා විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. නමුත් ඔබ කියනවා වසර 10ක ඉඳන් ඔබයි ඒ චරිතය රඟපාන්නේ කියලා. මොකක්ද මේ පටලැවිල්ල?

ඔය ප්‍රශ්නය මගෙන් අහන එක සාධාරණයි. අදටත් මම රඟපාන දර්ශනවලදී හුඟක් අය රැවටෙනවා. ඒ හිටියේ රොඩ්නි වර්ණකුලයි කියලා. මොකද නරියා විදිහට මේකප් කළාට පස්සේ දන්නා කියන අයට මිස වෙනත් අයට අපි දෙන්නව වෙන් කරලා අඳුරගන්න අමාරුයි. ඇත්තම කතාව මේකයි. රොඩ්නි අයියාට නිතරම නාට්‍ය දර්ශනවලට සහභාගී වෙන්න අමාරු නිසා තමයි මාව මුලින්ම නරියාගේ චරිතය සඳහා තෝරාගත්තේ. අද වෙද්දී රොඩ්නි අයියා එනවා හුඟක්ම අඩු නිසා. මම දැන් නරියාගේ චරිතය රඟපාන නිත්‍ය නළුවා බවටම පත්වෙලා ඉවරයි.

රොඩ්නි වර්ණකුල වගේ රටම දන්නා හඳුනන දක්ෂ නළුවකු මුලින් රඟපෑ චරිතයකට පණ පෙවීම ඔබට අභියෝගයක් නොවුණා නම් ඒක පුදුමයක්?

ඇත්තටම ඔව්. අනික නරියාගේ චරිතය විතරක් නොවෙයි වේදිකාවේ රොඩ්නි අයියාගේ චරිත අතරින් මම රඟපාන්නේ ගුරුතරුව සහ තාරාවෝ ඉගිලෙති වගේ නාට්‍යවලත් මට ලැබෙන්නේ රොඩ්නි අයියා රඟපෑ චරිතම තමයි. වේදිකාව මතදී අපි දෙන්නාගේ තරමක් සමාන හැඩයක් පේන නිසයි මට ඒ චරිත ලැබුණේ. මේවා රඟපාද්දී රොඩ්නි අයියා ගොඩනගපු දේ විනාශ කරන්න මට බෑ. ඊට වඩා අඩු මට්ටමකින් රඟපෑවොත් ඒක මගේ දුර්වලතාවයක් වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයෝ ප්‍රශංසා කරන මට්ටමටම මම ඒ චරිත රඟපාලා තියෙනවා. රොඩ්නි අයියා මට ඒ චරිත පරිත්‍යාග කළා විතරක් නොවෙයි මල්ලී මේ විදිහට කරන්න කියලා මට දීපු මග පෙන්වීමත් විශාල ශක්තියක් වුණා.

ප්‍රකට වේදිකා නාට්‍යය රැසකම ප්‍රධාන චරිත රඟපාලත් ප්‍රේක්ෂකයන්ට තමන්ගේ සැබෑ මුහුණුවර පෙන්වා ගන්න හරි හැටි අවස්ථාවක් නොලැබිම ගැන ඉන්දිකගේ හිතේ පුංචි දුකකුත් තියෙනවා නේද?

ඒකට ඇත්තම හේතුව මේකයි. මට හුඟක් වෙලාවට මගේ ශරීරය මේකප් කරගෙන තමයි වේදිකාවට එන්න සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට කීවොත් දික්තල - කාලගෝලහි කාලගෝල විදිහට රඟපාද්දී මගේ මුළු ඇඟම කළු කරනවා. ඉතින්, වේදිකාව මතදී සුප්‍රසිද්ධ නාට්‍ය බොහොමයකින් මාව ඒ විදිහට දැක්කත්, මගේ සැබෑ මුහුණුවරින් නම් මාව හඳුනන අය හුඟක් අඩුයි. වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදිහට හැරුණාම අධිරජ ධර්මාශෝක හි අශෝක චන්ද්‍ර නන්දනීහි නන්ද, මහරජ කංසා හි කාලියා නාගයා සහ හිරු ටීවි ඔස්සේ විකාශය වූ රොබින් හුඩ් හි රොබින් හුඩ් වැනි චරිතවලටත් හඬ කැවීම් ශිල්පියෙක් විදිහට මම දායක වෙලා තියෙනවා. නමුත් ඒවායේදීත් ප්‍රේක්ෂකයන් මාව නොදකින නිසා, මාව නිතර වේදිකාවෙන් දැකපු සහ මගේ හඬ අහපු හුඟක් දෙනා මාව සැබෑ ලෙසටම හඳුනාගන්නේ මේ ලිපිය පළවුණාට පස්සේ වෙන්නත් පුළුවන්.

ඔබේ කලා දිවියට අත දීපු අය සිහිපත් කරන්නත් මෙය අවස්ථාවක් කර ගනිමු නේද?

මගේ අම්මා සහ තාත්තා, බිරිඳ සුජානි නිසංකා, දුව සෙනිත් ඉමෙත්මා, රොඩ්නි වර්ණකුල, රෝහණ බැද්දගේ, වසන්ත ගුණවර්ධන, අයිරාංගනී ගුණවර්ධන, ජයලත් මනෝරත්න සහ අධිරජ ධර්මාශෝක සඳහා මාව සම්බන්ධ කරගත් රංජීවනී අක්කා සහ ප්‍රියන්ත අයියා, ඇතුළුව නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා මේ ආපු ගමනේදී මට උදවු උපකාර කරපු.

කිෂාන් කනංකෙ 
ඡායාරූප - ලක්මාල් වසන්ත

  1. දවසක මම තනි වෙයි.... මට සලකන්න කෙනෙක් නැති වෙයි....
  2. දුෂ්යන්ත් සහ ස්ටෙෆනි ඉතාලියේදී විවාහ ගිවිස ගත් හේතුව මෙන්න
  3. මිය යාමට පෙර රෝයි ද සිල්වා ගෙන් අන්තිම කැමති පත්‍රයක්
  4. මැරෙන්න කලින් අන්තිම කැමැත්ත ගීතයකින් කිව්වා
  5. වතුර දැක්ක හැටියේම මට මේ ලෙඩේ හැදෙනවා
  6. ජනප්‍රිය නිළියන් අතරට මම නිර්දේශ නොවන එක මටත් ප්‍රශ්නයක්
  7. කොමිට් කෑලි දාලා ජනප්‍රිය වුණු “ජනයි ප්‍රියයි” රූප පෙට්ටියට ඇවිත්
  8. තමන්ගේ ඇඳුම සභ්‍යත්වය ගැන කතා කරන අයට ටීනාගෙන් අභියෝගයක්
  9. නදීක කරුණානායක කියන නිවේදකයාව අමුඅමුවේ මරා දමන්න පිරිසක් සූදානම් වෙනවා
  10. මට තියෙන්නේ පුදුමාකාර ලෙඩක්
  11. ගුරුවරයා ගැන ගෝලයන් තිදෙනකුගේ ආවර්ජනය
  12. ජීවිතේ අලුත් වෙනසට කලින් මධුමාධව සියලු රහස් හෙළි කිරීමට සැරසෙයි
  13. හැම දෙයක්ම වෙන්නේ රූපවාහිනී නාලිකාවලට ඕනෑ විදිහටයි
  14. අවුරුදු 10කින් කිසිම අධ්‍යක්ෂක වරයෙක් රඟපාන්න කතා කළේ නෑ
  15. සුභාවිත ගීතයට විද්‍යුත් මාධ්‍යයෙන් ලැබෙන ඉඩ මදි

Page 1 of 103

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.