lakbima.lk

මම ගැන හුඟ දෙනෙක් නොදන්න කතාවක් තමයි මම අද රහසක් විදියට හෙළි කරන්නේ. ඇත්තම කිව්වොත් මේක මටම ආවේණික ගති ලක්ෂණයක් කියලා කිව්වත් වැරදි නැහැ.

හොල්මන් අවතාර, වගේ අදෘෂ්‍යමාන බලවේගවලට ගොඩාක් අය බයයි නේ. හැබැයි මම නම් ඒකේ අනිත් පැත්ත. පුංචිම කා‍ලේ ඉඳන් මා තුළ හොල්මන් අවතාර, වගේ නොපෙනෙන දේවල් ගැන පුදුමාකාර උනන්දුවක් තිබුණා. මගේ බාල කාලය ගෙවිලා ගියේ එංගලන්තයේ. අපි හිටපු පළාත ජනාකීර්ණ නගරයක් වුණත් ගහකොළ පිරුණු ඉපැරණි ගොඩනැගිලි තියෙන පැත්තක්. අවුරුදු දෙතුන් සීයක් පරණ සමහර ගොඩනැගිලිවල යම් යම් ගුප්ත බලවේග මළවුන්ගේ ආත්ම වැනි දේවල් සැරිසරන බව කියැවෙන පුවත් මා අසා තිබෙනවා. පුංචිම කාලෙදි හරි ඒ වගේ තැනක් ගැන ආරංචියක් ලැබුණොත් ඒ ගැන තොරතුරු සොයන්න දන්න කියන අයගෙන් ඒ ගැන තවත් විස්තර අහන්න මම දැක්වූවේ පුදුමාකාර උනන්දුවක්. යාළුවෝ එකතුවෙලා එක එක වල් පල් කතා කරන වෙලාවට මම නම් ඇදලා ගන්නේ හොල්මන් කතාවක්. ඒ වෙලාවට අනික් අයත් ඒ අය දන්න ඒ වගේ හොල්මන් කතා කියනවා.

අදෘෂ්‍යමාන බලවේල වලට මම ගොඩාක් කැමතියි කියලා කිව්වනේ. හීන ගැනත් මා තුළ ඒ වගේ උනන්දුවක් තියෙනවා. හීන කියන්නෙත් මොකක් හෝ අදෘෂ්‍යමාන සිදුවීමක හෝ නිමිත්තක් කියන එක මම තදින්ම විශ්වාස කරනවා. රැයේ දැකපු හීන දහවල තුළදී ඒ විදියට සිදු වූ අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.

දවසක් මම හීනෙන් දැක්කා. ඉඩධන එකකට යනවා. ඒ ෂොප් එකේ දැවැන්ත ටෙඩි බෙයාර් කෙනෙක් හිටියා. මම ඒ ටෙඩි බෙයාර්ව මිලට ගත්තා. සාමාන්‍යයෙන් රැයේදී දකින හීන පහුවදා උදේ වෙද්දි අමතක වෙලා යනවනේ. ඒක අපි කාටත් ‍පොදු දෙයක්නේ.

ඉතින් මටත් ඒ හීනය අමතක වෙලා ගියා. ඊට දවස් ගණනකට පස්සේ මම Shoping යද්දී ඉබේම වගේ එක Shop  එකකට ඇතුළු වුණා. මේ අර මම දැකපු හීනය තුළ තිබුණු Shop එක. ඒකේ රාක්කෙක දැවැන්ත ටෙඩි බෙයාර් කෙනෙක් හිටියා. ඒ මම දැකපු හිතේ හිටිය ටෙඩි බෙයාර්. ඒ වෙලාවෙම මම ඒ ටෙඩි බෙයාර්ව මිලට ගත්තා.

ඔය විදියට හීන සැබෑ වූ අවස්ථා මගේ ජීවිතේ අනන්තවත් තියෙනවා. විශ්වයේ නොපෙනෙන දේවල් ගැන මේ තියෙන උනන්දුව හින්දා ඒ වගේ දේවල් ඇහෙන් දකින්නත් මට තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. ආශාවක්, කවුරු හෝ කෙනෙක් ඒ වගේ අත්දැකීමකට මුහුණ දීපු බවක් මට ආරංචි වුණොත් මම එයාව මුණගැහිලා හරි ඒ ගැන වැඩි විස්තර අහනවාමයි.

ෂුටිං ගියාම හවස් වරුවේ කට්ටිය එකතු වෙලා කතාබහට වැටෙනවනේ. ඒ වෙලාවට මම මොකක් හරි හොල්මන් කතාවක් ඇදලා ගන්නවා. ඊට පස්සේ හැමෝගෙම අවධානය ඊට යොමු වුණාම දිගින් දිගටම  වගේ කතා කියන්න ගන්නවා. සමහරු ඔය වගේ කතා අහද්දී බය වුණාට මට නම් හරිම සතුටක් දැනෙන්නේ.  ‍පොත පත කියවන්න චිත්‍රපට බලන්න මමත් ආසයි. හොල්මන් කතා ඇතුළත් ‍පොත පත කියවන්න චිත්‍රපට බලන්න මම ඊටත් වඩා ආසයි.

හොල්මන් අවතාර, භූතාත්ම ගැන සජීවී අත්දැකීම් තියෙන අයත් මට මුණ ගැහිලා තියෙනවා. ඒ අයත් එක්ක ඒ දේවල් ගැන මම කතා කරලත් තියෙනවා. කවදා හරි දවසක මේ වගේ අද්භූත අත්දැකීමක් සජීවීව විඳ ගන්න මමත් හරිම ආශාවෙන් තමයි මග බලාගෙන ඉන්නේ.

ආරියවංශ කුලතිලක

මගේ ජීවිතය හා සම්බන්ධ කවුරුත් නොදන්නා මේ රහස මම මුලින්ම කියන්නේ ‘රිද්ම’ටයි. ඇත්තටම මේ කතාව ඇතුළේ බොහොම අපූරු මනෝ විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවා. ඒ හින්දම තමයි මම මේ කතාව හැමෝටම ආදර්ශයක් විදියට කියන්න හිතුවේ.

අපේ තාත්තා හමුදා නිලධාරියෙක්. ඒ හින්දම අක්කයි, මමයි, මල්ලියි, නංගියි හතරදෙනාම හැදුණේ නීති රීති රැසක්  මැදයි. ඒත් තාත්තා අපිට හරිම ආදරෙයි. හැබැයි තරහ ගිය වෙලාවට ගොඩක් සැරයි. ඒ වෙලාවට අම්මටවත් බැහැ තාත්තගේ දැඩි තීරණ නවත්වන්න. වෙන ළමයි වගේ බොහොම සියුමැලි හුරතල් විදියට ‍නෙවෙයි අපි හැදී වැඩුණේ. මේ නිසා පුංචි කා‍ලේ ඉඳලම අපි හතරදෙනා තුළම එඩිතරකමක් තිබුණා. හැබැයි ඉතින් එකම එක දේකට නම් අපි හතරදෙනාගේම පුංචි බයක් තිබුණා. ඒ තමයි හොල්මන්, අවතාර, යක්ෂ, ප්‍රේතයන්ට තිබුණ බය.

ඒ දවස්වල අපි හිටියේ ඇන්ඩෙසන් ප්ලැට්වල. හවස් වරුවේ අඳුර වැටෙද්දී අපි හිටපු ගොඩනැගිල්ල කෙළවර පඩිපෙළ අද්දරට අඳුරු ගතියක් එනවා. ඒ වගේම පරවියන්ගේ හුම්...හුම්.. හඬත් හරිම ගුප්තයි. ඔය කා‍ලේ වෙද්දී ලංකාවට රූපවාහිනිය ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ දවස්වල ගුවන්විදුලි නාට්‍යය ගොඩක් ජනප්‍රියයි. මේ කා‍ලේ හොල්මන් නාට්‍යයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. මට මේ වෙලාවේ ඒ ගුවන්විදුලි නාට්‍යයේ නම මතක නැති වුණත් ඒ නාට්‍යය අපි හරිම ආසාවෙන්, බයෙන් අහපු නාට්‍යයක්.

“මම බොහොම බය වුණා

මගේ පණ එපා වුණා

රෑ දොළහට හොල්මනකට මාව අසුවුණා”

ඒ දවස්වල අතිශය ජනප්‍රිය ඒ ගීතය ඇහෙද්දී අපිට විවිධ රූප මැවී පෙනුණා. අපි හිටියේ නාරාහේන්පිට හින්දා බොරැල්ලට යන්න වෙන්නේ බොරැල්ල කනත්ත පහුකරලා. රෑ ‍නෙවෙයි දවල් කනත්ත ළඟින් ගියත් අපි ඒ පැත්ත බලන්නෙවත් නැතුව තමයි යන්නේ. අපේ මේ හොල්මන් භීතිකාව නැති කරන්න තාත්තා අපිට ගොඩක් අවවාද දුන්නා. ඒත් හරි ගියේ නැහැ.

ඔය දවස්වල අපේ ගෙදර ටිකක් අඳුරු කාමරයක් තිබුණා. ඒකට පරවියෝ එනවා. ලයිට් නිව්වම ඒ කාමරේ හරිම පාළුයි. ඒ නිසා අපි හතරදෙනාගෙන් කවුරුවත් ඒ කාමරේට යන්නේ නැහැ.

එක දවසක් රෑ තාත්තා අපි හතර දෙනාම අර කාමරේට දාලා ලයිට් ඕෆ් කරලා දොර වැහුවා. කළුවරේ අතරේ පරෙවියන්ගේ හුම්...හුම්... හඬ මැද්දේ අපි ගැහී ගැහී හිටියේ. ටිකක් වෙලා යද්දී තාත්තා කාමරේට ඇවිත් ලයිට් දැම්මා. ඊට පස්සේ කාමරේ හොඳට බලාගන්න කියලා ආයෙම ලයිට් ඕෆ් කළා. ආයෙමත් ලයිට් දැම්මා.

“එළියෙදි තියෙන දේවල්ම තමයි කළුවරේදිත් තියෙන්නේ. එළිය අඩු  වුණාම ඒ දේවල්වල සෙවණැලි පෙනෙනවා. ඒකයි බය හිතෙන්නේ. මොකක් හරි දෙයක් දැක්කම ඒකට බයවෙන්න එපා. ළඟට ගිහින් ඒ ගැන හොයලා බලන්න”

තාත්තා මහ ගොඩක් අවවාද එදා අපිට දුන්නා. ඒත් එක්කම අපේ හොල්මන් භීතිකාවත් නැතිවෙලා ගියා. අදත් මහ රෑ සොහොනක් මැදින් තනියම ගියත් මගේ හිත ගැස්සෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අඳුරු ඡායාවකට හිත ගැස්සුණත් මම බයවෙලා දුවලා යන්නේ නැහැ. මම කරන්නේ එතැනට ගිහින් ඒ මොකක්ද කියලා පරීක්ෂා කරලා හිතේ සැකය දුරුකර ගන්නා එකයි.

ආරියවංශ කුලතිලක

මම මේ වන තෙක් කාටවත් නොකියපු රහසක් “රිද්ම”ට කියන්නයි මම මේ සූදානම් වෙන්නේ. මේ රහස කලා ලෝකයේ අයවත් දන්නේ නැහැ. හැබැයි මේ කුසලතාවය මට තිබුණේ මගේ පුංචි කා‍ලේ ඉඳන්මයි. දැන් නම් මට මේ හැකියාව තියෙනවාද කියන්නත් මං හරියටම දන්නේ නෑ.

පුංචි කා‍ලේ මට විවිධ කට හඬවල් වලින් කතා කරන්න පුළුවන්. සිඟිත්තියන්ගේ හඬ වගේම මහලු කාන්තාවකගේ හඩිනුත් කතා කරන්න මට පුළුවන් කම තිබුණා. ඒ විතරක් ‍නෙවෙයි, තවත් කෙනෙකුගේ කටහඬත් අනුකරණය කිරීමත් ඒ කා‍ලේ මට අමාරු දෙයක් ‍නෙවෙයි. ඒ දවස්වල යාළුවෝ වට කරගෙන මම විවිධ හඬවල්වලින් කතා කරනවා. ගෙදරදිත් විවිධ හඬවල් අනුකරණය කරනවා. ඒ හින්දාමයි ඒ කා‍ලේ මගේ හැකියාව වර්ධනය වුණේ. පස්සේ කාලෙක ඒ පුරුද්ද නැවතුනා. ඒ හින්දාම ඒ හැකියාවත් නැතිවෙලා ගිහින්  වගේ මට දැන් දැනෙනවා.

හැබැයි ඉතින් ඔය හැකියාවත් එක්ක මම ඒ දවස්වල කරපු දඟ වැඩ මහ ගොඩාක් තියෙනවා. දුරකථනයෙන් යාළුවෝ බයිට් කරපු අවස්ථා වගේම ඒ විදියේ දේවල් කරන්න ගිහින් දඬුවම් ලබපු අවස්ථාත් නැත්තේ නැහැ. ඔන්න එක නිවාඩු දවසක මම වෙනත් කෙනෙකුගේ නම්බර් එකකින් මගේ මිතුරියකට කතා කළා. හැබැයි ඒ කතා කළේ මගේ කටහ¾ඩින් නම් ‍නෙවෙයි. අපේ ගුරුවරියක් කතා කරන විදියට.

“දැන්ම ඇවිල්ලා මාව මුණ ගැහෙන්න”

මම ටීචර්ගේ හඩින් මගේ මිතුරියට එහෙම කිව්වා. හිටිහැටියේ ගුරුතුමියගෙන් ලැබුණු ඇමතුමට මිතුරිය ටිකක් කලබල වුණා. මම හිතුවේ ඒ වෙලාවෙම මගේ මිතුරිය ටීචර්ව මුණගැහෙන්න යාවි කියලයි. ඒත් එයා එහෙම කළේ නැහැ. එයා ගුරුතුමියගේ දුරකථන අංකය දන්නවා. මිතුරිය ඒ අංකයට කතා කරලා තමන්ට ආපු ඇමතුම ගැනයි ඇමතුම ලැබුණු අංකය ගැනයි ටීචර්ට කියලා. ඊට පස්සේ ටීචර් ඒ ගැන හොයලා බැලුවා. වැරැද්ද කරලා තියෙන්නේ මම බව ටීචර්ට තහවුරු වුණා. අන්තිමට මට ටීචර්ගෙන් හොඳටම ගුටි කන්න සිද්ධ වුණා.

ඔය වගේම තවත් සිද්ධියක් පාසල් නිවාඩුව ලබාදෙන්න කිට්ටු දවසක සිදු වුණා. එදා පාර වාර අවසාන විභාගයේදී මට හොඳටම ලකුණු අඩුයි. දෙමව්පියන් ගෙන්වලා තමයි ලකුණු අඩු ළමයින්ගේ ප්‍රගති වාර්තා භාර දෙන්නේ. අනිත් කාරණේ තමයි සමහර දවස්වලට ඉස්කෝලෙ ඇරෙන වෙලාවට තාත්තා මාව ගන්න ඉස්කෝලෙ ළඟට එනවා. ඒ එන අවස්ථාවලදී තාත්තා අපේ ක්ලාස් ටීචර්වත් මුණගැහිලා තමයි යන්නේ. ඒ නිසා මට ලකුණු අඩුයි කියන ආරංචිය තාත්තා දැන ගන්න කලින් විසඳුමක් හොයන්න ඕන කියලා මම හිතුවා. මම අපේ පන්තියේ ගුරුතුමිය කතා කරන විදියට තාත්තාට කළා. “මේ ෂෙහානිගෙ තාත්තාද? ආ මේ ටර්ම් ටෙස්ට් එකේ වැඩිම ලකුණු තියෙන්නේ ෂෙහානිට...

ෂෙහානිගේ තාත්තා එන්න ඕන නෑ....”

එදා මම ඉස්කෝලෙ ඇරිලා ආවම තාත්තාගෙන් පුදුම සැලකිල්ලක්. තාත්තා මම කන්න ආස කෑම ජාතිත් ගෙනල්ලා.

දැන් ඔන්න පහුවදා උදා වුණා. මම ඉස්කෝලෙ ඇරිලා එළියට එද්දී තාත්තා ගේට්ටුව ළඟ “ඔයාලගේ ක්ලාස් ටීචර් මට එන්න කියලා කෝල් කළා. මොකද දන්නේ නෑ”

තාත්තා එහෙම කියද්දී මාව ගැහෙන්න පටන් ගත්තා. මොනවා කරන්නද? මම තාත්තා එක්ක ටීචර් ළඟට ගියා. ටීචර් තාත්තාට කෝල් කරලා තියෙන්නේ මගේ ලකුණු අඩුයි කියන්න. ඒත් ඒ වෙලාවේ මම කරපු වරදත් එළි වුණා. ලකුණු අඩුවීමයි තාත්තාට කරපු බොරුවයි දෙකටම හරියන්න එදා නම් තාත්තාගෙන් හොඳටම ගුටි කන්න සිද්ධ වුණා.

ආරියවංශ කුලතිලක

 

Page 2 of 3

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.