lakbima.lk

මගේ සමීප හිතවතුන් කලා ලෝකයේ මා ඇසුරු කරන පිරිස ඇතුළු මාව දන්නා කියන ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් “මොරින් චාරුනී” කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා, ඒ හැමෝගෙන්ම ලැබෙන්නේ එකම උත්තරයක් බව මට සැකයක් නැහැ. “අනේ මොරින් හරිම තැන්පත් නිවුණ කෙනෙක්.....” කියන එක තමයි ඒ අය දෙන උත්තරය. ඔය උත්තරයේ කිසිම වරදක් නැහැ. මොකද ඇත්තටම මම මගේ පාඩුවේ ජීවත්වෙන කෙනෙක්. හැබැයි ඉතින් මා ගැන ගොඩාක් අය නොදන්නා රහසක් තියෙනවා. ඒ තමයි දැන් මේ විදියට හිටියට, පුංචි කා‍ලේ නම් මම මීට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් කියන එක. ඒ කියන්නේ ඒ කා‍ලේ මම දඟ මල්ලක්. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් පුංචි කාලෙදී දඟයි. ඒත් මගේ දඟ වැඩ ඊට වඩා වෙනස්. ඒ සමහර දඟ වැඩ ගෑනු ළමයෙකුට සුදුසුත් නැහැ. සාමාන්‍යයෙන් තැන්පත් ගති තියෙන පිරිමි       ළමයෙක්වත් කරන්නේ නැති බොහොම දඩබ්බර වැඩ කොල්ලෝ කරන විදියේ දඟ වැඩ තමයි ඒ දවස්වල මම කළේ. ළමයි පුංචි කා‍ලේ කරන දඟ වැඩ වයසත් එක්ක ටිකෙන් ටික අඩු වුණාට මගේ දඟ වැඩ නම් මම පාසල් ජීවිතය අවසන් කරලා තරුණ වයසට එද්දීත් තිබුණා. මම නිළියක් වනවාට නම්  අම්මා ගොඩක් සතුටු වුණා. ඒත් තාත්තා ඒකට තදින්ම විරුද්ධ වුණා.

“මෙයා රඟපාන්න ගිහින් එතැන කොහොම හැසිරෙයිද?”

මම නිළිකමට එනවාට තාත්තාගේ විරෝධය එල්ල වුණේ ඒ විදියටයි. ඒත් සිද්ධ වුණේ තාත්තා හිතපු දේට හාත්පසින්ම වෙනස් දෙයක්. කලාවට ආවට පස්සේ මට දැනුණේ වෙනස්ම තැනකට ආවා වගේ හැඟීමක්. කැමරාව ඉස්සරහ රඟපාන එකත් මුල් කා‍ලේදී කළේ හරිම ලැජ්ජාවෙන් සහ චකිතයෙන්. ඒ වගේ හේතු කාරණා එක්ක තමයි මම ඉබේම තැනපත් චරිතයක් වුණේ.

පුංචි කා‍ලේ මම දඟ මල්ලක් විදිහට කරපු දඟ වැඩ නිසා මම දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ගුටි කාපු අවස්ථා ඉසේ කෙස් තරමට ඇති. ඒ අතරින් එකක් දෙකක් මම දැන් කියන්නම්. 

මුලින්ම මම ගියේ කටුනේරිය බාලිකා විදුහලට. ඊට පස්සේ මම වෙන්නප්පුව බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවා. මේ සිද්ධිය වුණේ කටුනේරිය බාලිකාවේ ඉගෙන ගත්ත කා‍ලේ. එතකොට මම අටේ පන්තියේ. එදා ඒ කාලපරිච්ජේදයට අදාළ ගුරුවරයා ආවේ නැහැ. මේ නිසා පන්තියම කෑ කෝ ගහනවා. ඒ අතරේ අපූරු යෝජනාවක් ආවා.

“කාටද ගොඩාක් හයියෙන් හූ කියන්න පුළුවන්. හයියෙන්ම හූ කියන්න පුළුවන් කෙනා ඩෙස් එක උඩ නැගලා හූ කියන්න.”

මේක අහපු මම අනිත් හැමෝටම කලින් ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඩෙස් එක උඩ නැගලා මහ හයියෙන් හූ කිව්වා. මගේ හූ හඬට මුළු ඉස්කෝලෙම ගුරුවරු දුවගෙන ආවා. මම කරපු දේ හින්දා ප්‍රින්සිපල් අම්මවයි තාත්තවයි ඉස්කෝලෙට ගෙන්නලා ඒ අය ඉස්සරහම මට දඬුවම් කළා. ගෙදර ගියාට පස්සේ තාත්තගෙනුත් මම හොඳටම ගුටි කෑවා.

අපේ ගෙදර තිබුණේ වෙන්නප්පුවේ. ගෙදරට කිලෝමීටර් දෙකක් විතර දුරින් තමයි මුහුද තිබුණේ. ඒත් තනියම වැල්ලට යන්න අපිට තහනම්. දවසක් අම්මලාට හොරෙන්, මල්ලිවයි වටාපිටාවේ ළමයි කට්ටියකුයි එකතු කරගෙන මම මුහුදු වෙරළට ගියා. අපි රැල්ල පාගන අතරේ එක ළමයෙක් ගහගෙන ගියා. දැල් අදින මිනිස්සු වගයක් පැනලා ඒ ළමයව බේරගත්තා. එදා තාත්තා ගෙදර හිටියේ නැහැ. අම්මා මට ගහලා මාව කවිච්චියේ ගැට ගහලා තිබ්බා. හවස තාත්තා ගෙදර එනකොටත් මම හිටියේ කවිච්චියේ ගැට ගහලා.

ළමා වයසෙන් තරුණ වියට එද්දී මගේ හැසිරීම වෙනස් වුණේ නැති වුණාට මාත් එක්ක හිටපු අනික් ගෑනු ළමයි වෙනස් වුණා. ඒ ළමයි පෙම්වතියන් බවට පත් වුණත් කිසිම පිරිමි ළමයෙක් මට ආදර යෝජනාවක් ගෙනාවේ නැත්තේ මගේ හැටි ඔවුන් දැනගෙන හිටපු නිසයි. හැබැයි පුංචි කා‍ලේ යාළුවෝ  විදියට මාව වට කරගෙන හිටපු පිරිමි ළමයිගේ මිත්‍රශීලීකම නම් දිගටම පැවතුනා. අදටත් ඒ අය මගේ යාළුවෝ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.