lakbima.lk

“පුංචි කා‍ලේ අනාගතේ ගැන එක එක හීන අපි හැමෝටම තියෙනවනේ. මටත් පුංචි කාලෙ හීනයක් තිබුණා. කොස් කොළ එකතු කරගෙන දන්නා හඳුනන අය ළඟට ගිහින් ඡන්ද පත්‍රිකාවක් දෙන විදියට කොස් කොළයක් දීලා “ඔයාගේ මනාපය මට දෙන්න” කියන එකයි ඒ කා‍ලේ මම නිතරම කළේ. මොකද ඒ දවස්වල මගේ හීනය වුණේ කවදා හරි දේශපාලනඥවරියක් වීමයි. ඒ විදියට අපේ කතාබහට එකතු වුණේ මේ දිනවල පුංචි තිරය ඔස්සේ අප හමුවන නිළියක්, ඇය අයේෂා මධුෂානි. මේ දවස්වල විකාශය වන “පාරා” ටෙලි නාට්‍යයේ “සකුනි” විදියට අප හමුවට එන අයේෂා විකාශය නිමා වූ “සුදු අඟුරු” ටෙලි නාට්‍යයේ “ටෙක්ලා” හා “පිනි” ටෙලි නාට්‍යයේ “සයුමි” විදියටත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා.

සමහර නළු නිළියෝ නළුකම අත්හැරලා දේශපාලනයට එනවා. ඒත් එවැනි දේශපාලනඥවරියක් වෙන්න හීන මවලා නිළිකමට ආවා. කොහොමද ඒක සිද්ධ වුණේ? අපි අයේෂාගෙන් විමසුවා.

මම කවදාවත් නිළියක් වෙන්න නම් හිතපු කෙනෙක් ‍නෙවෙයි. පාසල් කාලෙදිවත් කිසිම සෞන්දර්යාත්මක කටයුත්තක් කරලා නැහැ. උසස් පෙළට දේශපාලන විද්‍යාව තෝරාගත්තෙත් ඒ ගැන තිබුණු උනන්දුව හින්දා. උසස් පෙළ කලා විෂය ධාරාව කරද්දී සෞන්දර්ය විෂයත් තෝරාගන්න වෙන නිසයි නැටුම් තෝරාගත්තේ. උසස් පෙළ සමත් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය ගන්න කා‍ලේ නර්තනය ගැන උනන්දුව වැඩි වුණා. දේශපාලන විද්‍යාව ඉගෙනගන්න ගිය  මම කලාවට වැඩි අවධානයක් යොමු කළා. ඒ අනුව මම මගේම නර්තන කණ්ඩායමක් පිහිටුවාගෙන ඒක පවත්වාගෙන යනවා. ඔය අතරේ “සුරවිමන” ටෙලි නාට්‍යයේ දර්ශනයකට නර්තන කණ්ඩායමක් අවශ්‍ය වෙලා මගේ නර්තන කණ්ඩායම තමයි ඒකට යොදා ගත්තේ. එතැනට ගියාම මාව දැකලා ඒ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තා. ඒ 2012 දී. ඒ විදියට තමයි මම අහම්බෙන් නිළියක් වුණේ. 
නැටුමි රැඟුමින් වගේම අයේෂා රූපයෙනුත් ජයගත් යුවතියක්.  Miss Scuba- 2016 තරගයෙන් 1st runner up භන බවට පත් වූ ඇය මේ වන විට ටෙලි නාට්‍යය නිළියක් වගේම තමන්ගේ නර්තන කණ්ඩායමත් එක්ක ප්‍රසංග වේදිකාව තුළත් කාර්ය බහුල යුවතියක්.

මේ හැමදේමත් එක්ක තනිවම ජීවිතය ගෙවිලා යනවා නේද?

අපි එහෙම ඇහුවාම අයේෂා මහ හයියෙන් හිනා වුණා. ආදරය විවාහය හින්දා මගෙ කටයුතු අඩාල කරගන්න මම කැමැති නැහැ. මේ නිදහස මට ගොඩාක් වටිනවා. සමහර විට මම සදාකාලිකව තනිකඩව ඉන්නත් බැරි නැහැ.

කාලයත් එක්ක අපේ ජීවිත විවිධ පැති ඔස්සේ වෙනස් වනවා. ඒත් පුංචි කා‍ලේ හීන ‍ලේසියෙන් හිත්වලින් ඈත් වෙන්නේ නැහැ. අයේෂා පුංචි සන්දියේ හිතේ තිබුණු දේශපාලන හීනය ගැන දැන් කියන්නේ මෙවැනි කතාවක්.

“අපි ජීවත්වෙන්නේ ටික කාලයයි. ඒ ටිකට සමාජයට මොනවා හරි කරන්න ඕනෑ. සමහරවිට කවදා හරි දවසක මම දේශපාලනයට එන්නත් බැරි නැහැ.”

ආරියවංශ කුලතිලක

ඡායාරූපය - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.