lakbima.lk

අපි කොයි කාටත් තමන්ට හුරුපුරුදු විවිධ හැසිරීම් රටා තියෙනවා. වයසත් එක්ක කාලෙන් කාලෙට ඒවා වෙනස් වෙනවා. පුංචි කාලෙදි අපි ගොඩක් ආසා කරපු එවැනි දේවල් කාලයත් එක්ක මගහැරිලා යනවා. මටත් ඒ වගේ අමුතුම හැසිරීම් රටාවන් පුංචි කාළේ තිබුණා. බොහෝ දෙනා නොදන්නා ඒ රහස් තමයි අද මම ‘රිද්ම’ “රස රහස”ට මේ කියන්න යන්නේ.

පුංචි කා‍ලේ මට තිබුණු ලොකුම ආසාව තමයි ගස් උඩ නගින එක. ‍පොඩි ළමයි විතරක් ‍නෙවෙයි ලොකු අයත් ගස් නගිනවා. හැබැයි මට තිබුණු ආසාව ඊට වෙනස්. ගහකට නැගලා ගහ උඩට වෙලා කාලය ගෙවන එක ඒ කා‍ලේ මට පුදුමාකාර තෘප්තිමත් අත්දැකීමක් වුණා. ඒ වගේ වෙලාවට මට දැනෙන්නේ හරියට ‍පොළොවෙන් හුඟක් ඉහළට ගිහින් අහසේ පදිංචි වුණා වගේ හැඟීමක්.

ඒ දවස්වල අපේ වත්තේ ලොකු ගස් තිබුණා. සමහර ගස්වල අතු බෙදිලා. ඒ ගස්වලට නැගලා අතු අතරට වෙලා දවසක් හරි ඉන්න තියෙනවා නම් මට ඊට වැඩිය ලොකු සැපතක් තවත් තිබුණේ නැහැ. මට මතකයි අතු ඉති විහිදිලා ගියපු ලොකු ඇට්ටේරියා ගහක් ඔය ගස් අතර තිබුණා. ඒ ගසේ උඩ අතු ඉති විහිදිලා තිබුණ හැටියට ගහ මුදුනට නැග්ගාම කාටවත් පේන්නේ නැහ. ඒ ගහ මුදුනට ගිහින් ලොකු අත්තක හැංගුණාම දැනෙන්නේ හරියට වෙනම ලෝකෙකට ගියා වගේ හැඟීමක්. පුංචි කා‍ලේ මගේ ලෝකය වුණේ එතැනයි. ඒ දවස්වල අපිට අද ළමයින්ට වඩා නිදහසක් තිබුණා. ඉස්කෝ‍ලේ ඇරිලා ආවට පස්සේ කාලා බිලා ඉවර වුණාම මම කෙළින්ම යන්නේ මගේ ලෝකෙට. අම්මලා තාත්තලා වුණත් අපිව අනවශ්‍ය විදියට පීඩනයට පත් කළේ නැහැ. නිදහසේ තමයි අපි හැදුණේ. ඒ හිංදා මගේ ආසාවට අම්මලාගෙන් තහනම් නියෝග වැටුණේ නැහැ.

මම ගහට නඟින්නෙත් නිකම්ම ‍නෙවෙයි. මගේ ‍පොතකුත් අරගෙනයි. සමහර වෙලාවට කොට්ටයකුත් ගෙනියනවා. ඊට පස්සේ අර ගහේ බෙදී ගිය අත්තේ කොට්ටේ තියාගෙන හාන්සිවෙලා ‍පොතක් කියනවා. සෙනසුරාදා දහවලට මම කෑම පිඟාන අරගෙන යන්නෙත් ගහ උඩටමයි.

ගස් නගිනවා වගේම තමයි ‍පොළොව මට්ටමින් ඉහළ තැන්වලට යන ආසාව මට පුංචි කා‍ලේ ඉඳන් තිබුණා. ගේ ළඟ තිබුණ වෙරළු ගහ දිගේ ඉහළට නැගලා ඊට පස්සේ වහලට නගින්න මම හරිම කැමතියි. හැබැයි ඉතින් වෙරළු ගසේ අත්තෙන් වහලට ගියාට ආයෙම ඒ ක්‍රමයට බිමට බහින්න නම් පුංචි මට බැහැ. ඒ වෙලාවට මට වහලෙන් බිමට බහින්න උදව් කරන්නේ තාත්තා. තාත්තා ටික දුරක් ඉහළට ගිහින් මාව කර උඩට නග්ග ගන්නවා. ඊට පස්සේ බිමට බහිනවා. එක දවසක් අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවක අක්කයි මමයි බැඩ්මින්ටන් ගැහුවා. ඒ වෙලාවේ බැඩ්මින්ටන් මල වහලෙට ගියා. මම පුරුදු විදියට වහලෙට නැගලා මල අරගෙන බිමට වීසි කළා. ඊට පස්සේ වහලෙන් බිමට පැන්නා. හැබැයි ඉතින් ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් විදියට මාස ගාණක් මගේ කකුල් දෙකට බෙහෙත් බඳින්නත් මට සිද්ධ වුණා. ඔය සිදුවීම වුණේ මම ඉස්කෝ‍ලේ දෙක වසරේ ඉගෙන ගන්න කාලෙදියි.

වයසින් වැඩි වෙද්දී ගස් නගින එකටයි, දඟවැඩ කරන එකටයි මට අම්මයි තාත්තයි දෙන්නගේ තහනම් නියෝග වැටුණා. හැබැයි මට මගේ පුරුද්ද නතර කරගන්න බැරිවුණා. ඒ හින්දම තාත්තගෙන් ගුටි කාපු අවස්ථා නම් මහ ගොඩයි. ඒ ගුටිවලින් මගේ දඟවැඩ නැවතුණේ නැහැ. අදත් දුර පළාතක ෂූටිං ගියාම පේර ගහක් දැක්කත් ඒ ගහට නගින පුරුද්ද මට තියෙනවා.

ආරියවංශ කුලතිලක

ගොඩක් දෙනෙක් කැමතියි සුරතල් සතුන් ආදරයෙන් ඇති දැඩි කරන්න. මේ විදියට විවිධාකාර සත්තු ඇති දැඩි කරන අය අප අතර ඕනෑ තරම් ඉන්නවා. මමත් එහෙම තමයි. ඉස්සර මම සුරත‍ලේට ඇති කරපු බල්ලෙක් හිටියා. දැන් නම් කාර්ය බහුලකම හින්දා බල්ලෝ හදන්න මට වෙලාවක් නැහැ.

හැබැයි ඉතින් බොහොමයක් දෙනා සුරතල් සතෙක් විදියට ඇති කරන එක්තරා සතෙක් ඉන්නවා. මම මේ ලෝකෙ වැඩියෙන්ම බය සත්තු අතර එයත් ඉන්නවා. අලි, කොටි, වලස්සු, සර්පයෝ වගේ අයනේ අපි හැමෝම භයානක සත්තු විදියට නම් කරන්නේ. ඒත් මට නම් ඔය සත්තු අතරට මම මේ කියන කෙනාගේ නමත් ඇතුළත් කරන්න වෙනවා. මගේ මේ සත්ව භීතිකාව ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඉතින් අද ඉඳලා ඒ රහසත් හෙළි වෙනවා.

හැමෝම ආදරය කරන බොහෝ අය සුරත‍ලේට ඇති කරන “පූසා” තමයි මට පෙන්නන්නට බැරි භයානකම සතා, පූසෙක් මගේ ඉස්සරහට එනකොට මට ඇතිවෙන්නේ සර්පයෙක්, කොටියෙක්, වලහෙක් මගේ ළඟට එනවා වගේ හැඟීමක්. ඒ හැඟීිම බයක්ද පිළිකුලක්ද කියලා වෙලාවකට මමම කල්පනා කරනවා.

 සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් තමන්ගේ ගෙවල්වල හුරත‍ලේට පූසන් ඇති කරනවානේ. මම මේ විදියට පූසන්ට බයයි කියලා දැන ගත්තම සමහරු මගෙන් අහනවා “අ‍පොයි දෙයියනේ මොන හේතුවක් හින්දද ඔය විදියට පූසන්ට බය?” කියලා. හැබැයි ඉතින් ඒකට නම් පැහැදිලි උත්තරයක් මගේ ළඟ නැහැ. මොකද යන්තම් තේරෙන වයසේ ඉඳන් මම පූසන්ට බයයි. ඒත් අම්මා නම් කියන්නේ වෙනස් කතාවක්. මම චූටිම කා‍ලේ ඒ කියන්නේ වයස 3,4  විතර කාලෙදී අපේ ගෙදර සුරතල් පූස් පැටව් කීප දෙනෙක්ම හිටියලු. ඒ කා‍ලේ මම මේ පූස් පැටව් ටික ළං කරගෙන සෙල්ලම් කරනවාලු. ඔය දවස්වල මම නිතරම මල්ලක් කරේ දාගෙනලු ඉන්නේ. එක දවසක් අම්මා බලනකොට හිටපු පූස් පැටව් අතරින් එක පූස් පැටියෙක් අඩුයිලු. බලනකොට මම ඒ පූස් පැටියව අර මල්ල ඇතුළේ දාගෙන ඉන්නවාලු. හැබැයි මට ඔය සිද්ධිය මතක නෑ. මම පුංචි කා‍ලේ අපේ ගෙදර පූස් පැටව් හිටියද කියලවත් මතක නැහැ. හැබැයි මට මතක ඇති කාලෙක ඉඳන් අපේ ගෙදර පූසන් ඇති කළේ නැහැ. ඒ මම හින්දා.

අපිට රඟපෑම හින්දා ලංකාවේ විවිධ තැන්වලට යන්න සිදු වෙනවානේ. ඒ විදියට කොහේ හරි දර්ශන තලයකට යද්දී ඈතින් හරි පූසෙක් ඉන්නවා දැක්කොත් මම එතැන වාඩි වෙන්නෙත් හරිම කල්පනාවෙන්. ඒ වගේ වෙලාවට කට්ටිය ලෑස්ති වෙලා තමන්ගේ දර්ශනයට පෙනී ඉන්න සූදානම් වුණාට මම නම් කරන්නේ අර පූසා දිහා අවධානයෙන් ඉන්න එක විතරයි. කොයි මොහොතේ ඒ සතා මගේ ළඟට එයිද කියන හැඟීම තමයි ඒ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ.

මම පූසන්ට බයයි කියන එක මට සමීප හුඟක් අය දන්නවා. ඒ හින්දා කොහේ හරි තැනකට ගියාම ඒ වටාපිටාවේ පූසෙක් හිටියොත් ඒ අය මම ගැන අවධානෙන් තමයි ඉන්නේ. ඇයි ඉතින් මම අර පූසට බය වෙලා කොයි මොහොතේ කලබලයක් කරයිද දන්නේ නැහැනේ.

අහම්බෙන් මග තොටදී හමුවන පූසන් හින්දා මම කලබලයට පත් වූ අවස්ථා නම් අනන්තවත් තියෙනවා. මේ ළඟදී අපූරු වැඩක් වුණා. එදා අපි කට්ටිය රූගත කිරීමකට ගියා. එදා අපිට තිබුණේ එළිමහනක රූගත කිරීමක් කරන්නයි. ඒ වෙලාවේ එතැන පූසෙක් හිටියා. ඒ පූසා ඒ මේ අත ඇවිද  ඇවිද තමයි හිටියේ. නිෂ්පාදක කණ්ඩායමත් පුටු තියාගෙන ඒ පුටුවල වාඩි වෙලා කතා කර කර හිටියා. මම නම් ඒ කතා බහට සම්බන්ධ වුණේ නැහැ. මම කකුල් දෙකත් උස්සගෙන බිම බලාගෙන හිටියේ අර පූසා කොයි වෙලාවේ මගේ ළඟට කඩා පනියිදෝ කියලා හිත හිතායි. ඔය වෙලාවේ මගේ ළඟ වාඩි වෙලා හිටපු අනුරාධා එදිරිසිංහගේ කකුල මගේ කකු‍ලේ වැදුණා. මට එකපාරටම හිතුණේ ළඟ හිටපු පූසා මගේ කකු‍ලේ වැදුණා කියලයි. මම මහ හයියෙන් විලාප තියලා හයියෙන් කෑ ගැහුවා. ඒ විතරක් නෙමෙයි, කකුල ගසලා මම දඟලපු පාරට මගේ කකුලත් එතැන තිබුණු පුටුවේ තදින්ම වැදුණා. මේ කතා කරන මොහොත වෙද්දිත් මම ඒ කකුලට බෙහෙත් දානවා.

ආරියවංශ කුලතිලක

ඡායාරූප - මංජුල පෙරේරා

Page 1 of 3

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.