
නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී අයුතු ලෙස රුපිය්ල මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ නඩුව ඊයේ (31) කැඳවිණි. එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ මහතා විසින් විත්තියට පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල පිටපත් ලබාදීම සිදු කළේය. විත්තිය ඉල්ලා සිටි තවත් ලේඛන කිහිපයක් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව පෙන්වා දෙමින් රජයේ අධිනීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ අධිකරණය එම නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
එහිදී විත්ති පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්වමින් එම නඩුවේ පළමු වන විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන පෙනී සිටින බවත් අධිකරණයට පෙන්වා දුන්නේය. එම නඩුවේ විභාගය සඳහා අධිකරණය විසින් මේ වන විටත් නියම කර ඇති ලබන පෙබරවාරි 16 හා 20 වැනිදා යන දින දෙකෙහි පෙනී සිටීමට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතාට අපහසු බැවින් නඩු විභාගය ලබන අප්‍රේල් 4 වැනිදා ආරම්භ කරන ලෙසද ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට මෙම අවස්ථාවේදී අවසර ලබාදිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉදිරි නඩු දිනයේදී එම ඉල්ලීම කරනා ලෙසට දැනුම් දෙමින් එලෙස නඩුව ලබන 29 වැනිදා කැඳවීමට නියම කළේය. එම නඩුවේ විත්තිකරුවන් පස්දෙනා අතරින් නාමල් රාජපක්ෂ, පවිත්රිකා සුජානි බෝගොල්ලාගම, ඔරනෙලා ඉරේෂා සිල්වා හා නිත්‍යා සමරනායක යන විත්තිකරුවන් 4 දෙනා ඊයේ (31) අධිකරණය හමුවේ පෙනී සිටි අතර දෙවන විත්තිකාර ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මුල් අවස්ථාවේ සිටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබුණි.
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.