Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාසලකට කඩා වැදුණු  19 හැවිරිදි තුවක්කුකරුවෙකු, සිසු සිසුවියන්, ගුරුවර ගුරුවරියන් ඇතුළු පිරිස් වෙත දිගට හරහට වෙඩි තබමින් 17 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ. ඩොලන්ඩ් ට්‍රම්ප් ඇතුළු එරට දේශපාලනඥයන් වෙත මෙන්ම ඇමෙරිකානු අපරාධ විමර්ශණ අංශය වන ෆෙඩරල් විමර්ශණ බියුරෝව වෙත ද දැවැන්ත විරොධයක් මතු කිරීමට මෙම සිද්ධිය සමත්ව තිබේ.
මෙම බිහිසුණු සිදුවීම සිද්ධ වූයේ පසුගිය බදාදා (14 දා) දින පස්වරු 2.30ට පමණ, පාසල අවසන්වීමට මඳ වේලාවකට කලිනි. (ෆ්ලොරිඩාවේ පාක්ලන්ඩ් හි පිහිටි මෙම පාසල හැඳින්වෙන්නේ මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසල යන නමිනි.) ඝාතකයා ලෙස හඳුනාගෙන ඇති නිකලස් කෲස් ගෑස් මුහුණක්ද පැළඳ, රයිෆලයක් සහ දුම් බෝම්බ ආදියෙන් සන්නද්ධව පාසල් භූමිය වෙත ඇතුල්ව මුලින්ම කර ඇතැයි පැවසෙන්නේ එහි ගිනි අනතුරු සංඥාව ක්‍රියාත්මක කිරීමයි. ඒ වනවිට පාසල තුළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවන් ඇතුළු පිරිස සිතා ඇත්තේ එය ගිනි අනතුරු පිලිබඳ පුහුණු අභ්‍යාසයක් විය යුතුය කියාය. මන්ද යත් එදින උදයේද එවැනි අභ්‍යාසයක් කර තිබූ බැවිනි. සිසුන් බොහෝ දෙනෙකු ඒ අනුව පන්තිකාමර වලින් පිටව කොරිඩෝරයන් වෙත පිවිස තිබේ. ඝාතකයා වෙඩි තැබිම ආරම්භ කර ඇතැයි සඳහන් වන්නේ එම අවස්ථාවේ ය. ඒත් සමගම සිසුහු, ගුරුවරු ඇතුළු සියලු දෙනා හිස් ලු ලූ අත දිව යමින් හසුවන හසුවන තැන්වල සැඟවෙන්නට පටන් ගත්හ.  සිසුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ එක් පාපන්දු පුහුණුකරුවකු ඝාතකයා වෙඩි තබද්දී දරුවන් ඉන් ආවරණය කරනු පිණිස ඔවුන් ඉදිරියට පැමිණ වෙඩි වැදී මිය ගිය බවද වාර්තා වූ අතර මේ වනවිට සිද්ධියෙහි ලොකුම වීරයා බවට පත්ව සිටින්නේ ඔහු ය.
මේ ආකාරයෙන් පන්තිකාමරවලින් පිටත දී වෙඩි තැබිම පටන් ගත් කෲස් ඊළඟට පන්තිකාමර ඇතුළටද එමින් නැවතත් වෙඩි තබා ඇත. පහලොස් දෙනෙකු එම ස්ථානයේම ඝාතනය කිරීමට ඔහු සමත්ව තිබේ. තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය ගැන සැලවීමත් සමගම ‍පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර සිසුන්, ගුරුවරුන් ඇතුළු සියළු දෙනා පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. නමුත් ඝාතකයා ද ඔවුන් අතර සැඟවී පාසල් භූමියෙන් පිටව ගොස් තිබේ. පැයකට පමණ පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ පාස‍ලේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි ස්ථානයක දීය. නිකලස් කෲස් විනය කාරණා මත පාසලෙන් නෙරපා සිටි සිසුවෙකු බව ද අනාවරණය වී තිබේ.
මුළු ලොවම කම්පාවට පත් කළ මෙම බිහිසුණු ඝාතන සිදුවීමත් සමග දැවැන්ත විරෝධයක් එල්ල වීමට පටන්ගත්තේ එරට ෆෙඩරල් විමර්ශණ බියුරෝවට එරෙහිවය. ඔවුන් ගේ නොසැලකිල්ල  නොවී නම් මෙම සිදුවීම වලක්වා ගැනීමට ඉඩ තිබුණාය යන අදහස එයට හේතුවයි. කිසියම් පුද්ගලයෙකු මෙයට ටික කලකට පෙර නිකලස් කෲස් සම්බන්ධයෙන් මෙම බියුරෝවට ඔත්තුවක් සපයා තිබි ඇත. කෲස් ගිනිඅවි ලඟ තබාගෙන සිටින බවත්, ඔහු මිනිස් ඝාතන සිදු කිරීමට කැමැත්තෙන් සිටින්නෙකු බවත්, ඔහුගේ හැසිරීමෙහි වෙනස්කම් ගැනත්, ඔහු සමාජ මාධ්‍ය තුළ පල කර ඇති බියජනක සටහන් ගැනත් මෙම ඔත්තුකරු දැනුම් දී තිබි ඇත. වැදගත්ම කාරණය නම් මෙම සැකකරු පාසලකට කඩා වැදී වෙඩි තැබිමක් කළ හැකි බවට අනතුරු ඇඟවීමක්ද ඉහත කී ඔත්තුකරු විසින් කරනු ලැබ තිබිමයි. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරමින් පියවර ගෙන නැති බව පෙනේ. ෆෙඩරල් විමර්ශණ බියුරෝවද තම වරද පිලිගෙන ඇති අතර එහි අධ්‍යක්ෂවරයා වන ක්‍රිස්ටෝෆර් රේ ඉල්ලා අස්විය යුතු බවට දැඩි පීඩනයක් මේ වනවිට එල්ල වෙමින් තිබේ. මෙයට අමතරව පසුගිය සැප්තැම්බර් මාසයේද කිසිවෙකු නිකලස් කෲස් සම්බන්ධයෙන් ඔත්තුවක් සපයා තිබි ඇත. 'නිකලස් කෲස්' නැමැති පුද්ගලයෙකු යූ ටියුබ් හි විඩියෝවක් සඳහා යොදා ඇති කමෙන්ටුවක් පිලිබඳව මෙහිදී ඔත්තුකරු දැනුම් දී තිබේ. තමා දිනෙක වෘත්තීය පාසැල් ඝාතකයෙකු වන බව එම කමෙන්ටුවෙහි ඇතුළත්ව තිබූ බව පැවසේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පවසා ඇත්තේ මෙම ඔත්තුව පිලිබඳව තමුන් සොයා බැලූ නමුත් එම කමෙන්ටුව අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බවයි.
කෙසේ හෝ වේවා, මෙම වසරේ දැනට ගෙවී ඇති මාස එකහමාරක කාලය තුළ ඇමෙරිකාවේ මෙවැනි පාසැල් වෙඩි තැබිම් අටක් පමණ වාර්තා වී ඇතැයිද සංඛ්‍යා‍ලේඛන පල වී තිබේ.  එය ඉතා බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා සිසු සිසුවියන් මෙන්ම ඔවුන්ගේ මව්පියන්, ගුරුවර ගුරුවරියන් වැනි පාර්ශ්ව මුහුණ දී සිටින්නේ විශාල ආතතියකටය. පාසල් යාම ඉතා බියකරු අත්දැකීමක් බවට පත්වෙමින් ඇති බව පෙනේ. මෙම නොසන්සුන්තාව තුළ රටේ දේශපාලන නායකයින් වෙත එල්ල වන විරෝධය, පීඩනය ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඕනෑම කෙනෙකුට ගිනි අවි මිළ දී ගැනීමට, ළඟ තබා ගැනීමට ඇති හැකියාව සීමා කරන ලෙස වන ඉල්ලීම් ඉහළ යමින් තිබේ. 
විශේෂයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වන විරෝධය ඉහළ ගොස් ඇති ආකාරය දැකිය හැකි වේ. එයට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ දරුණු මානසික ආබාධවලින් පෙලෙන ඇතැම් උදවිය ගිනිඅවි අත්පත් කර ගැනීම සීමා කරනු පිණිස හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් ගෙන එන ලද නියෝගයක් අවලංගු කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබිමයි. ට්‍රම්ප් සැලකෙන්නේ ඇමෙරිකාවේ ගිනි අවි ව්‍යාපාරිකයින් සතුටු කිරීමේ ප්‍රතිපත්තියක සිටින කෙනෙකු වශයෙනි. ඒ නිසා ගිනි අවි මිළ දී ගැනීම, භාවිතය සීමා කරන ප්‍රතිපත්ති ගෙන ඒමට ඔහු මැලිකමක් දක්වන බවට චෝදනා එල්ල වෙයි. පසුගියදා ෆ්ලොරිඩා සමූහ ඝාතනයෙන් පසු ඒ පිලිබඳ විරෝධය දක්වමින් එම සිද්ධියෙන් දිවි ගලවාගත් පාසල් සිසු සිසුවියන් විසින් රැළියක් පවත්වන ලදී.  එහිදී ද ට්‍රම්ප් ඇතුළු දේශපාලන නායකයින්ට එල්ල වූ චෝදනාවක් වූයේ ගිනි අවි ව්‍යාපාරිකයින්ගේ අරමුදල් මත යැපෙන නිසා මෙම දේශපාලනඥයන් ඔවුන්ට අවාසිදායක පියවර නොගන්නා බවයි. ගිනි අවි භාවිතය සීමා කරන නීති රීති හඳුන්වා නොදෙන බවයි.
කෙසේ හෝ වේවා මානසික ආබාධවලින් පෙලෙන්නවුන් ගිනි අවි අයිති කර ගැනීම සීමා කරන අරමුණින් ඔබාමා ගෙන ආ ප්‍රතිපත්තියට ගිනි අවි ව්‍යාපාරිකයන් පමණක් නොව මානව හිමිකම් කණ්ඩායම්ද විරෝධය දක්වා තිබිණි. ඔවුන්ගේ තර්කයක් වූයේ එයින් මානසික රෝගීන් යනු ප්‍රචණ්ඩ, භයානක කොට්ඨාසයක්ය යන අදහසට තල්ලුවක් ලැබෙන බවයි.
මේ අතර ෆ්ලොරිඩා ඝාතනය සිදු කළ නිකලස් කෲස් සම්බන්ධයෙන්ද විවිධ තොරතුරු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ මිතුරන්ට අනුව කෲස් තරමක් වෙනස් හැසිරීම් තිබූ කෙනෙකු බව පෙනෙන අතර ඒ නිසාම ඔහු නිතර පාසල තුළ උසුළු විසුළුවලට ලක්ව ඇති බවද, ඇතැම් අවස්ථාවල එය සීමාව ඉක්මවා ගිය ආකාරයක්ද පෙනේ. ඔහුගේ එක් මිතුරෙකු අඟවා තිබුණේ මෙම උසුළු විසුළු සම්බන්ධයෙන් යම් පියවරක් ගත්තා නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණු බවයි. 
 
කිත්සිරි මල්වත්ත

දකුණු ඉන්දියානු සිනමා නළු කමල් හසන් ලබන 21 වෙනි දින සිය දේශපාලන පක්ෂය දියත් කරමින් තමිල්නාඩුවේ දේශපාලන ‍පොර පිටියට  අවතීර්ණ වීමට සූදානම් වීම මේ දිනවල මාධ්‍ය තුළ නිතර කතාබහට ලක් වන්නක් බවට පත්ව තිබේ. එදින සිය පක්ෂයේ නම ද මුල්වරට ප්‍රකාශයට පත් කරන බව ඔහු පවසා ඇති අතර මෙම උත්සවය පැවැත්වෙන්නේ තමිල්නාඩුවේ රාමනාදපුරම් නමැති ග්‍රාමයේය. එහි ඇති විශේෂත්වය වන්නේ එය කමල් හසන්ගේ උපන්ගම ද වීමයි. 
මෙහිදී සිය දේශපාලන ගමන ආරම්භ කරන කමල් එයින් පසු තමිල්නාඩු ප්‍රාන්තය පුරා දින ගණනක දීර්ඝ චාරිකාවක නිරත වීමට අදහස් කරගෙන සිටින බවද සඳහන් වේ. ප්‍රාන්තයේ ජනතාවගේ වුවමනාවන්, සිතුම් පැතුම් වඩාත් සමීපව හඳුනා ගැනීම මෙම චාරිකාවේ අරමුණ බවද ඔහු පසුගිය දිනෙක පවසා තිබිණි. එමෙන්ම තමා සිනමාවෙන් බොහෝ දුරට ඈත් වනු ඇති බව ද ඔහු පවසා තිබේ. මේ වනවිට තිරගත වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙකක් හැරුණු විට එයින් පසු තමා චිත්‍රපටවල කටයුතු බාරගෙන නැති බවද ඔහු පවසයි. එයින් අදහස් වන්නේ මෙම සුපිරි සිනමා දැවැන්තයා දේශපාලනය තුළ පූර්ණකාලීන, දිගු ගමනක් යාමට අදහස් කරගෙන සිටීම බව පැහැදිලියි. ඉදිරි මැතිවරණවලදී පරාජයට පත්වුවත් දිගටම දේශපාලනයේ රැඳී සිටිනවාදැයි පසුගිය දිනෙක මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ අවංක ජීවිතයක් උදෙසා තමුන් යමක් කළ යුතුව ඇති බවයි. නමුත් තමන් පරාජය වනු ඇතැයි විශ්වාස නොකරන බවද ඒ සමගම ඔහු පවසා තිබේ. 
දේශපාලන කරළියට නවකයෙකු වුවද තමා වසර 35කට ආසන්න කාලයක් තිස්සේ සමාජ සේවා කටයුතුවල නිතර වෙමින් සිටින බවද, එම කාලය තුළ විශාල පිරිසක් තමා සමග කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කරයි. සිය දේශපාලන ජීවිතයේදී මෙම උදවියගේ සහය තමුන්ට ලැබෙනු ඇතැයි යන්න කමල්ගේ විශ්වාසය බව පෙනේ. 
කමල් හසන්ගේ දේශපාලන අරමුණු තුළ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් දැකිය හැකි වෙයි. එකක් නම් තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය තුළ ඇති දූෂිත බවට, පිරිහීමට එරෙහිව ඔහු දක්වන විරෝධයයි. අනෙක නම් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන හින්දුවාදී ආධිපත්‍යයට දක්වන විරෝධයයි. ඔහු වාමාංශික අදහස්වලට කිසියම් නැඹුරුවක් දක්වන ආකාරයක්ද දැකිය හැකි වෙයි. ඉන්දියාවේ වංචා දූෂණවලට එරෙහිව විශාල හඬක් නගන දිල්ලි මහ ඇමැතිවරයා වන අර්වින්ද් කෙජ්රිවාල්, කේරළයේ මහ ඇමැති ධුරය දරන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකුද වන පිනරායි විජයන් ආදීන් සමග පසුගිය කාලයේ කමල් සමීප සබඳතා ගොඩනගාගෙන තිබිණි. 
වංචා දූෂණවලට කමල් නගන හඬ ඔහුගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබේ. දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූ මැති ඇමැතිවරුන්ගේ ඊමේල් ගිණුම් ඔවුන්ට විරෝධය දක්වන ඊමේල් පණිවුඩවලින් පුරවන ලෙස ඔහු වරක් සිය රසික රසිකාවන්ගෙන් ඉල්ලා තිබිණි. මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය බලයට ඒමෙන් පසු ඉන්දියාව තුළ බලවත් වෙමින් ඇති හින්දුවාදී ආධිපත්‍යය සහ අන්තවාදී ප්‍රවණතාවලට එරෙහිවද ඔහු ලොකු හඬක් නගමින් සිටියි. තමා හින්දුන්ට විරුද්ධ නැති බවත්, තම පවු‍ලේ ද හින්දු සාමාජිකයන් සිටින බවත් පවසා ඇති කමල් නමුත් හින්දු අන්තවාදය තමා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව කියා තිබේ. වරක්, ඔහු ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකින් හින්දු සංස්කෘතියට අපහාස වූ බව පවසමින් ඔහු අත්අඩංගුවට ගත යුතුය යන උද්ඝෝෂණයක්ද මතු විය. 
කමල්ගේ මෙම ආකල්පය නිසා ඔහු ඉන්දියාවේ වත්මන් ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සමග තරමක දුරස්ථ බවක් ඇති කරගනිමින් සිටින බව පෙනේ. මේ වනවිට තමිල්නාඩුවේ දේශපාලනයට අවතීර්ණව සිටින තවත් සුපිරි නළුවෙකු වන රජිනිකාන්ත් සහ කමල් අතර යම් පරතරයක් ඇති කිරීමටද මෙය සමත්ව තිබේ. කමල් සහ රජිනි අතර දේශපාලන සම්මුතියක් ඇති වේවිද යනුවෙන්  මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවල කමල් හඟවා ඇත්තේ රජිනි භාරතීය ජනතා පක්ෂයට නැඹුරු ප්‍රතිපත්තියක් දැක්වීම නිසා ඒ ගැන නිශ්චිතව පැවැසිය නොහැකි ආකාරයකි. පසුගිය දෙසැම්බරයේ රජිනිකාන්ත් ද අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවමින් දේශපාලනයට පිවිසෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඔහු භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු හැටියටද සමහරුන් විසින් හඳුන්වනු ලැබිණි. මෑත කාලයේ කිහිප වරක්ම නරේන්ද්‍ර මෝදි රජිනිකාන්ත් මුණගැසීමද විශාල වශයෙන් කතාබහට ලක් විය. 
පසුගිය කාලය තුළ භාරතීය ජනතා පක්ෂය වැනි ජාතික පක්ෂවලට තමිල්නාඩුව තුළ බලය ඇල්ලීමට හැකි වූයේ නැත. ඒ වෙනුවට නිතරම මෙම ප්‍රාන්තයෙහි බලය හුවමාරු වූයේ ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඒඒච්ර්ම්) සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ච්ර්ම්) වැනි පක්ෂ අතරය. මේ නිසා මෝදිගේ භාරතීය ජනතා පක්ෂය රජිනිකාන්ත් හරහා තමිල්නාඩුව තුළ පදනමක් සාදා ගැනීමට සැලසුම් කරනවාය යන අදහස්ද මෑත කාලයේ නිතර සංවාදයට ලක් විය. කෙසේ නමුත් කමල් හසන් පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සමග රජිනිගේ ඇයි හොඳයියක් නොමැති වුවහොත් තමාට ඔහු සමග අත්වැල් බැඳගෙන ගමනක් යාමට බැරිකමක් නැති බවයි. 
 
නිහාල් පීරිස්

දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උළෙලට දිනකට පෙර උතුරු කොරියාව තම හැත්තෑවෙනි සංවත්සරය වෙනුවෙන් යුද අභ්‍යාසයක යෙදෙන බව වාර්තා විය. එරට හමුදාව පිහිටුවීම සනිටුහන් කරමින් වාර්ෂිකව අප්‍රේල් මාසයේ මෙම සංවත්සරය පැවැත්වුණද එය ඊයේ දිනයේ පැවැත්වීමට උතුරු කොරියාව පියවර ගත්තේය.
පෙරහුරුවට පෙර කොරියාවේ ජාතික නාලිකාව හරහා හිටපු නායකයින්ගේ ඡායාරූප, එරට අසිරිමත් ස්ථාන හා වෙනත් ප්‍රචාරක කටයුතු ඇතුළත් චිත්‍රපට පෙන්වමින් තිබූ බවද වාර්තාවෙයි. පෙරහුරු පෙළපාළිය ඇරඹෙනතුරුම එය ඇරඹෙන මොහොත හෙළිවී නොතිබුණි.ඔලිම්පික් උළෙලට දිනකට පෙර පෙරහුරුව පැවැත්වීම ගැන විවේචන එල්ලවුවද උතුරු කොරියාව එම විවේචන ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එවැනි විවේචන කිරීමට කිසිවෙකුටත් නොහැකි බවය.

සී.එන්.එන්.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට මුහුණදී අනූනවයෙන්  දිවි ගලවා ගැනීමේ පුවතක් බදාදා (07 දා) ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට 65 වෙනි වියේ පසුවන ඇය මේ ආකාරයෙන් මෙම රිය අනතුරට මුහුණදී තිබුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ බේගු නමැති ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදීය. මෙම අනතුරින් ඇයගේ දිවි බේරී ඇතත් රථය පදවමින් සිටි ඇගේ ඥාතියෙකු මරණයට පත්ව ඇති බවද වාර්තා වෙයි. එයට අමතරව රථයෙහි සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුද, ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා තිබේ. එදින පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන් ගත් මෝටර් රථය තවත් ට්‍රක් රථයක් සමග ගැටීමෙනි. අනතුරින් ජශෝදාබන්ටද සුළු තුවාල සිදුව ඇති අතර ඇය වහා චිතෝර්ගාර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත. ට්‍රක් රථයෙහි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් බලධාරීන් සඳහන් කර තිබේ.
විශ්‍රාමික ගුරුවරියක වන ජශෝදාබන් අගමැති මෝදිගේ බිරිඳ වුවද වැඩිය මාධ්‍ය තුළ දැකගන්නට ලැබෙන චරිතයක් නොවේ. එයට හේතුවක් නම් ඇය මේ වනවිට මෝදි සමග ජීවත්  නොවීමයි. ඔවුන් දෙදෙනා දැන් දශක ගණනාවක් තිස්සේම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වෙන්වය. 1967 වසරේ මේ දෙදෙනා විවාහ වන විට මෝදිගේ වයස අවුරුදු 18ක්ද, ජශෝදාබන්ගේ වයස 16ක්ද වූ බව පැවැසේ. ඔවුන් අතර විවාහය තීන්දු වී ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීමය.
විවාහයෙන්  වසර තුනකට පමණ පසු  මෝදි ඇයගෙන් වෙන්ව ජීවත් වීමට පටන්ගෙන ඇති අතර එය සිදුව ඇත්තේ දෙදෙනාගේම එකඟතාව මත බවද සඳහන් වේ. පසුව මෝදි ටික කලක් හිමාලයේ සැරිසරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට පටන් ගත් බව පැවැසේ. පසුව ජශෝදාබන්ද ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කර ගුරු වෘත්තියට පිවිස ඇත.  ඇය මේ වනවිට වාසය කරන්නේ මෝදිගේ උපන්ගම වන වද්නගර් සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි බ්‍රහ්මන්වාදා නම් ග්‍රාමයේය. මෙයට ටික කලකට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා ජීවත් වන්නේ ඉන්දියානු රුපියල් 14,000ක විශ්‍රාම වැටුපකින් බවයි. ඇය ඉතා සරල, ආගමික ජීවිතයක් ගත කරන තැනැත්තියක බවද සඳහන් වේ. මේ වනවිට ජශෝදාබන් ජීවත් වන්නේ ඇගේ සහෝදරයාත්, ඔහුගේ බිරිඳත් සමගය. ඇයත්, අගමැති මෝදිත් අතර මේ වනවිට කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවක්ද පෙනේ. තමා කවදා හෝ දිනෙක නැවත ඔහු මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවක්ද ජශෝදාබන් වරක් ප්‍රකාශ කර තිබිණි.
අගමැති මෝදි බොහෝ විට ඔහුගේ විවාහය සම්බන්ධ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් දක්වන්නේ නිහඬතාවකි. ඔහු මුල්වරට සිය විවාහය පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ද ඉතාම මෑතකදී ය. ඒ, 2014 වසරේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ ය. මේ වනවිටත් මෝදි සැලකෙන්නේ බ්‍රහ්මචර්යාව රකින අයෙකු ලෙසිනි. ඇතැමුන් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දුවාදී ඡන්දදායකයන් තුළ ආකර්ශනයක් ඇති කිරීම සඳහා ඔහු මෙවැනි ජීවන ෙශෙලියක් අනුගමනය කරන බවයි. එමෙන්ම ඔහු  දේශපාලන අරමුණු වෙනුවෙන් සිය බිරිඳ අත්හැර දැමූ බවට චෝදනා නගන්නන්ද  නැතුවා නොවේ. එය කාන්තාවන් පිළිබඳ ඔහුගේ ආකල්ප පෙන්වා දෙන්නක් ලෙසද ඔවුහු චෝදනා කරති. 2014 වනතුරුම විවාහය පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට මැලිවීම ගැනද මෝදි වෙත නොයෙක් වර  දෝෂාරෝපන එල්ල වී තිබේ. ඔහු අගමැති ධුරයේ  දිවුරුම් දුන් අවස්ථාවට සහභාගි වීමට තමාට ඇරයුම් නොකළ බව වරක් ජශෝදාබන් මාධ්‍ය වෙත පවසා තිබිණි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර නිල වශයෙන් දික්කසාදයක් සිදුව නැති බවද සඳහන් වෙයි. මෝදි 2014 නාමයෝජනා ‍පෝරමය පුරවන අවස්ථාවේ, විවාහය පිලිබඳ විමසා තිබූ තැනක  'ජශෝදා' යනුවෙන් ලියා ඇති නමුත් ඔහු පවසා ඇත්තේ තමා ඇය පිළිබඳ වැඩි තොරතුරක් නොදන්නා බවයි. ඇයගේ ලිපිනය පවා නොදන්නා බවක් ඔහු කියා ඇති බව පැවසිණි. කෙසේ වෙතත් තමා හුදෙකලා ජීවිතයට වඩාත් ප්‍රිය කරන බවද වරක් ඔහු පවසා තිබිණි.
දිගු කාලයක් තිස්සේ මෝදිගෙන් වෙන්ව ජීවත් වුවද ජශෝදාබන් සිය සැමියා අගමැති ධුරයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මහත් ප්‍රසාදයෙන් අදහස් දක්වා තිබෙනුද පසුගිය කාලයේ දක්නට ලැබිණි. මෝදි ඉන්දියාවේ කළු සල්ලි එළියට අදිනු පිණිස එරට රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට අලුත් නෝට්ටු හඳුන්වා දුන් අවස්ථාව එයට එක් නිදසුනකි. බොහෝ පාර්ශ්ව ඔහුගේ මෙම පියවර විවේචනය කරද්දී ජශෝදාබන් එය ඉතා වැදගත් පියවරක් බව පවසමින් අගය කළාය.

කිත්සිරි මල්වත්ත

වංචා දූෂණ චෝදනා එල්ල වී සිටින තවත් ප්‍රකට රාජ්‍ය නායකයෙකුගේ ඉරණම ඉදිරි සති කිහිපය තුළ බොහෝ දුරට විසඳෙන ලකුණු පහළ වී තිබේ. ඒ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා වන ජේකබ් සූමාගේය. මේ වනවිට 75 වෙනි වියේ පසුවන සූමා 2009 වසරේ සිටම එරට ජනාධිපති ධුරය දරමින් සිටියි. නමුත් ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් මේ වනවිට රට තුළ මෙන්ම ඔහු අයත් පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුළද විශාල මතයක් ගොඩ නැගෙමින් ඇති අතර ඉදිරි සතිය තුළ එම පක්ෂය මේ සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගනු ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. 
මෙම අර්බුදකාරී තත්ත්වයට මග පෑදුවේ දැන් කාලයක සිටම සූමාට එරෙහිව එල්ල වෙමින් ඇති වංචා දූෂණ පිළිබඳ චෝදනා රැසකි. ඒ අතරින් ප්‍රධාන චෝදනාවකට පසුබිම් වන්නේ ඔහු සහ ගුප්තා පවුල නමැති ධනවත්, ව්‍යාපාරික පවුලක් අතර පැවැති සමීප සම්බන්ධයයි. මෙම සම්බන්ධය ඉතා දූෂිත එකක් බවට චෝදනා එල්ල වූ අතර සූමාට එයින් විශාල වශයෙන් වාසි හිමි වූ බව පැවැසිණි. එයට හිලව්වට රජයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට ගුප්තා පවුලට හැකි වූ බවටත්, ඔවුන්ගේ ව්‍යාපාරවලට වාසිදායක ලෙස ප්‍රතිපත්ති සකස් කරගැනීමට හැකි වූ බවටත් චෝදනා නැගිණි. එයට අමතරව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වූ දැවැන්ත අවි ගනුදෙනුවකට අදාළවද සූමාට එරෙහිව චෝදනා මතු විය. ඔහුට එරෙහිව නැගුණු තවත් චෝදනාවක් වූයේ සිය පෞද්ගලික නිවසක් වැඩි දියුණු කිරීම සඳහා රජයේ මුදල් භාවිතා කළාය යන්නයි. පසුව ඔහු මෙම මුදල් නැවත පියවීමට පියවර ගත්තේය. 
කෙසේ හෝ වේවා, නෙල්සන් මැන්ඩෙලා වැනි කීර්තිමත් නායකයන්ගේද පක්ෂය වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජනප්‍රියත්වය පසුගිය කාලයේ කමෛන් දියවෙමින් තිබූ ආකාරයද දැකිය හැකි විය. එයට ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ විට සඳහන්  වූයේ සූමාට එරෙහිව නැගුණු චෝදනායි. අප්‍රිකානු ජාතික කොංග්‍රසය මේ ආකාරයෙන් ජනප්‍රියත්වයෙන් පහළ වැටෙද්දී ඔවුන්ගේ ප්‍රතිවාදී පක්ෂ කමෛන් හිස ඔසවමින් එන ආකාරයක්ද දැකිය හැකි විය. මේ නිසා පක්ෂය කිසියම් අර්බුදයක් කරා ගමන් කරමින් ඇති අන්දම දැකිය හැකි වූ අතර 2019 වසරේ දකුණු අප්‍රිකාවේ මහා මැතිවරණය පැවැත්වීමට නියමිත තත්ත්වය තුළ මේ ගැන බැරෑරුම් ලෙස කල්පනා කිරීමට පක්ෂයේ සෙසු නායකයන්ට සිදුවිය. පක්ෂයට නව සභාපතිවරයෙකු තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදා වූයේ මෙවැනි පසුබිමක් වර්ධනය වෙමින් තිබියදීය.
2007 වසරේ සිට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපති ධුරය දරන ලද්දේද සූමා විසිනි. ඔහුගේ එම ධුර කාලය පසුගිය වසරේ දෙසැම්බරයේ අවසන් විය. නව සභාපතිවරයෙකු තෝරා ගැනීමේ අවස්ථාවේදී එක් අපේක්ෂකයෙක් සහ අපේක්ෂිකාවක් ඒ සඳහා ඉදිරිපත් වූහ. ඒ උප ජනාධිපති ලෙස කටයුතු කරන සිරිල් රමෆෝසා සහ කොසසානා ද්ලාමිනි-සූමා ය. ද්ලාමිනි-සූමා ජේකබ් සූමාගේ කලින් බිරිඳකද වූවාය. යම් හෙයකින් ඇය පක්ෂයේ සභාපති ධුරයට පත් වූවා නම් තවදුරටත් පක්ෂය ජේකබ් සූමාගේ ග්‍රහණයේම පවතිනු ඇති බවටද අදහස් ඉදිරිපත් විය. කෙසේ හෝ වේවා තියුණු තරගයකින් පසු ද්ලාමිනි සූමා පරාජයට පත් කරමින් පක්ෂ සභාපති ධුරයට පත්වීමට රමෆෝසාට හැකියාව ලැබිණි. ඔහු මෙම තරගයේදී ඉදිරිපත් කළ ප්‍රධානම සටන් පාඨය වූයේ වංචා දූෂණවලට එරෙහිව පියවර ගනිමින් පක්ෂයේ විශ්වසනීයත්වය, ජනප්‍රියත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවාය යන්නයි. මේ ආකාරයෙන් රමෆෝසා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත්වීම රට තුළ වංචා 
දූෂණවලට එරෙහි බලවේග වඩාත් ශක්තිමත් කිරීමට හේතු වූ අතර සූමා ජනාධිපති ධුරයෙන්ද ඉවත් කිරීමේ පීඩනය ඉහළ යමින් ඇත්තේ මෙම පසුබිම තුළ ය.
ඔහුට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට වන ඉල්ලීම් ඉහළ යමින් තිබුණද ජනාධිපතිවරයා ඒ සඳහා සූදානම් බවක් පෙන්නුම් කළේ නැත. එහෙත් ඔහු දිගටම ජනාධිපති ධුරයේ සිටීම රමෆෝසාගේ  නිදහස සීමා කරන්නක් වන අතර ලබන වසරේ මහා මැතිවරණයට පෙර පක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ දැමීමේ කාර්යයටද මේ නිසා බාධා ඇති වෙයි. මෙම පසුබිම තුළ පක්ෂය කිසියම් තීරණයක් ගැනීමට සැරසෙන බව පසුගිය සතියේ පෙනී ගිය අතර සූමා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ඔවුන් පියවර ගනු ඇති බවට පෙරනිමිති පළ වෙමින් තිබිණි. මේ අනුව ඊයේ (07 දා) පැවැත්වීමට නියමිතව තිබූ විධායක කමිටු රැස්වීමකදී බොහෝ දුරට මේ සම්බන්ධ වැදගත් තීරණ කිහිපයක් ගනු ඇති බවටද, සූමාගේ සිට රමෆෝසා වෙත බලය පැවැරීමේ ක්‍රියාවලිය  පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බවටද තොරතුරු පළ විය. 
කෙසේ නමුත් පසුව මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණේ මෙම විධායක කමිටු රැස්වීම කල්දමා ඇති බවයි. ඒ වෙනුවට උප ජනාධිපති සිරිල් රමෆෝසා සහ සූමා අතර සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (6 දා) පවත්වා ඇති බව අනාවරණය විය. සූමා එහිදී කොන්දේසි වාගයක් ඉදිරිපත් කර ඇති බවද, මෙම කොන්දේසි පිළිබඳ අවසන් තීරණයක් ගැනීමෙන් පසු ඔහු ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද මේ වනවිට දැනගන්නට ඇති තත්ත්වයයි. යම් හෙයකින් සූමා ඉල්ලා අස්වුවහොත් ලබන වසරේ මැතිවරණ පැවැත්වෙන තෙක් රමෆෝසා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත් වනු ඇත. 
 
නිහාල් පීරිස්

මාලදිවයිනේ උත්සන්න වෙමින් ඇති දේශපාලන අර්බුදය පිළිබඳව අපි ඊයේ (6 දා) ද 'දියත විවරණ' තුළින් සාකච්ඡා කළෙමු. දැන් මෙම අර්බුදය වඩාත් උණුසුම් තත්ත්වයකට පත්වෙමින් ඇති අතර ජනාධිපති අබ්දුල්ලා යාමීන්  රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, තමාට තර්ජනයක්ව ඇති පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමටත් පියවර ගෙන තිබේ. මේ අනුව තිස් වසරක් තිස්සේ එරට පාලනය කළ ප්‍රකට ජනාධිපතිවරයෙකු වූ මයුමූන් අබ්දුල් ගයුම් ද, එරට අගවිනිසුරුවරයා වන අබ්දුල්ලා සයීඩ් ද අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳුදා (05 දා) වාර්තා කළේය. නමුත් ඔවුන් අත්අංගුවට ගැනීමට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ මොනවාද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිට අනාවරණය වී තිබුණේ නැත.
අප ඊයේ ලිපියෙහි ද සඳහන් කළ පරිදි මාලදිවයිනේ මෙම දේශපාලන අර්බුදය වර්ධනය වූයේ එරට ජනාධිපති අබ්දුල්ලා යාමීන් සහ හිටපු ජනාධිපති මොහමද් නෂීඩ් අතර පවතින බල අරගලයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. 1978 සිට 2008 දක්වා මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මයුමූන් ගයුම් ගෙන් පසු, 2008 පැවැති ජනාධිපතිවරණයෙන් එම පදවියට පත් වූයේ නෂීඩ්ය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් එරට ජනාධිපති ධුරයට පත් ප්‍රථමයා ද විය. නමුත් ගයුම්ගේ බලපෑම මාලදිවයින් දේශපාලනය තුළ දිගින් දිගටම දැකිය හැකි විය. නෂීඩ් ජනාධිපති ධුරයට පත් වුවද ඔහුට එරෙහිව විශාල තෙරපුමක් ක්‍රියාත්මක වූ බව පැවැසුණු අතර 2012 දී ඔහු ජනාධිපති ධුරයෙන් හදිසියේම ඉල්ලා අස් වූයේය. ඔහුට එරෙහිව කුමන්ත්‍රණයක් ආකාරයේ ක්‍රියාදායමක් ක්‍රියාත්මක වූ බවටද එකල අදහස් ඉදිරිපත් විය. කෙසේ හෝ වේවා 2013 වසරේ පැවැති ඊළඟ ජනාධිපතිවරණයෙන් ජයගත්තේ මයුමූන් ගයුම්ගේ සහෝදරයෙකු වූ (වත්මන් ජනාධිපති) අබ්දුල්ලා යාමීන්ය. 
නෂීඩ් ජනාධිපති ලෙස සිටියදී විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත ඔහුට එරෙහිව නඩු පැවැරුණු අතර පසුව  සිර දඬුවම් ද නියම කෙරිණි. නෂීඩ්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් පමණක් බවයි. කෙසේ වෙතත් 2016 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යය බලා යාමට නෂීඩ්ට අවසර ලැබුණි. ඒ අතර ඔහුට එරට දේශපාලන රැකවරණ ලැබුණු බව ද සඳහන් විය.
මාලදිවයින තුළ මේ වනවිට දිගහැරෙමින් ඇති වත්මන් සිදුවීම් මාලාවට මගපෑදුණේ මොහමද් නෂීඩ්ට එරෙහිව දී තිබූ සිර දඬුවම අවලංගු කරමින්  ඔහු නිදහස් කිරීම සඳහා පසුගිය සතියේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීමත් සමගිනි. එමෙන්ම විපක්ෂයේ තවත් නායකයින් 8 දෙනෙකුද ඒ ආකාරයෙන්ම නිදහස් කිරීමට නියම කෙරිණි. එයට හේතු ලෙස දැක්වුණේ ඔවුන් සම්බන්ධ නඩු විභාගයන්හි පැවැති විවිධ ගැටලුය. මේ අතර ආණ්ඩු පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට යාම නිසා සිය මන්ත්‍රී ධුර අහිමි කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු නැවත මන්ත්‍රී ධුරයන්හි පිහිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. මේ නිසා දැන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂය බහුතර බලයක් හිමි කරගන්නා අතර එය ජනාධිපතිවරයාට විශාල තර්ජනයක් එල්ල කරන්නක් වීම වැළැකිය නොහැක. මේ නිසා පාර්ලිමේන්තුව කැඳවීමද කල්දමා ඇති බව පසුගිය දිනවල අනාවරණය විය. 
ජනාධිපති යාමීන්ගේ රජයට එල්ල වෙමින් තිබූ මෙම දැවැන්ත අභියෝගය හමුවේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක නොකරනු ඇතැයි විවිධ අංශ වෙතින් සැක පළවීමට පටන් ගත්තේය. තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන බව පැවැසූ ඉහළ පෙළේ ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීම ඒ පිළිබඳ පෙරනිමිත්තක් ලෙස සැලකිණි. යම් හෙයකින් යාමීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නොනැමුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට සහ ජනාධිපති පදවියට නුසුදුස්සෙකු කිරීමට ඉඩ ඇති බවට මේ අතර අදහස් පළවෙන්නට පටන් ගත්තේය. රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, අගවිනිසුරුවරයා සහ හිටපු ජනාධිපති මයුමූන්  ගයුම් අත්අඩංගුවට ගැනීමටත් යාමීන් රජය පියවර ගත්තේ මෙවැනි සිදුවීම් දාමයක් ඉදිරියට යමින් තිබියදීය. මයුමූන් ගයුම් පසුකාලයේ යාමීන්ට විරුද්ධ කණ්ඩායම් සමග එක් වීම ඔහු සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගැනීමට හේතු වී ඇති බව පෙනේ. 
කෙසේ හෝ වේවා මෙම අලුත් මර්දනකාරී තත්ත්වයත් සමග ජනාධිපති යාමීන් වෙත  රට තුළින්  මෙන්ම ජාත්‍යන්තරයෙන් ද එල්ල වන පීඩනය ඉහළ යමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. විශේෂයෙන් ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි පාර්ශ්ව දැනටමත් මෙම තත්ත්වය පිළිබඳ සිය ප්‍රතිචාර දක්වා දැකි ආකාරය දැකගන්නට ලැබිණි. හදිසි තත්ත්වය ඉවත් කිරීමට පියවර ගන්නැයි බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් බොරිස් ජොන්සන් ජනාධිපති යාමීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඇමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කර තිබුණේ මාලදිවයිනේ ඇති වෙමින් පවතින තත්ත්වය ගැන ලෝකය අවධානයෙන් පසුවන බවයි. මේ අතර හිටපු ජනාධිපති මොහමද් නෂීඩ් නිදහස්  කිරීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සඳහන් කරමින් පසුගිය දා ඉන්දියාවද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. මාලදිවයින තුළ දිගහැරෙමින් ඇති මෙම උණුසුම් තත්ත්වය තේරුම් ගැනීමේදී රට තුළ දේශපාලන බලවේග අතර පවතින අරගල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වයන්ද සැලකිල්ලට ගැනීම වැදගත් වෙයි. ජනාධිපති යාමීන්ගේ කාලය තුළ මාලදිවයින බොහෝ දුරට චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීමද කැපී පෙනුණු කාරණයක් විය. මාලදිවයිනේ සංවර්ධන කටයුතු වෙනුවෙන් චීනය මේ වනවිට විශාල වශයෙන් ආධාර කරමින් සිටියි. ඉන්දියානු සාගර කලාපයේ බලය වෙනුවෙන් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි පාර්ශ්ව අතර ඇති බල අරගලද මෙහිදී නොසලකා සිටිනු හැකි නොවේ. කෙසේ හෝ වේවා මේ වනවිට  බොහෝදෙනා මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මාලදිවයින තුළ දිගහැරෙමින් ඇති මෙම අර්බුදය ඉදිරියේ දී කවර දිශාවන් ඔස්සේ ගමන් කරනු ඇත්ද යන්න පිළිබඳවය. 
 
නිහාල් පීරිස්

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 49

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 777

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 598

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1793

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1388

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1073

Please publish modules in offcanvas position.