Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇමෙරිකා, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා එක්ව පසුගිය සෙනසුරාදා (14 දා)  සිරියාවේ ස්ථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග මතු වූ උණුසුම් තත්ත්වය මේ වනවිට  ලොව පුරා විශාල කුතුහලයක්, බියක් මෙන්ම නොසන්සුන්තාවක් ද ජනිත කිරීමට සමත්ව තිබේ. බටහිර බලවතුන්ගේ මෙම ප්‍රහාරත් සමග සිරියාවේ මිතුරන් ලෙස සිටින රුසියාව සහ ඉරානය වැනි පාර්ශ්ව කවර පියවරක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මතු වූ සැක සංකා ද මෙම නොසන්සුන්තාවට ප්‍රධාන හේතුවක් විය. සිරියාව කේන්ද්‍ර කරගෙන මෙම බලවත් රාජ්‍යයන් අතර යුද ගැටුමක් ඇති වේවිද යන්න දැන් කාලයක සිටම පවතින ගැටලුවක් වන අතර සෙනසුරාදා මිසයිල ප්‍රහාරයත් සමග එය නැවත වරක් ඉස්මත්තට පැමිණ ඇති ආකාරයක් දැකිය හැකි වෙයි.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය යන පාර්ශ්ව ඒකාබද්ධව සිරියාවට  මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන තත්ත්වයක් ඇති වූයේ සිරියාවේ ඩෝමා නමැති ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළාය යන චෝදනාවත් සමගිනි. රසායනික අවි භාවිතය ජාත්‍යන්තර වශයෙන් තහනම් කෙරුණු කටයුත්තක් බව රහසක් නොවේ. කෙසේ වෙතත්, ඩෝමා හි මෙවැනි රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූ බව මුලින්ම කියා සිටියේ එහි සිටින සහන සේවකයන්, සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය විරෝධී ක්‍රියාකාරිකයන් වැනි පාර්ශ්ව යි. ඇමෙරිකා-බ්‍රිතාන්‍ය-ප්‍රංශ කඳවුර සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළේ මෙම තොරතුරු පදනම්  කර ගනිමිනි. කෙසේ නමුත් සිරියානු රජය මෙම රසායනික අවි ප්‍රහාරය පිළිබඳ චෝදනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය. ඔවුන් කියා සිටියේ මෙය,  ඉහත කී ඩෝමා ප්‍රදේශයේ රජයට එරෙහිව සටන් කරමින් සිටින කැරලිකාර කණ්ඩායම් පළවා හරිනු පිණිස මේ වනවිට රජයේ හමුදා දියත් කර ඇති ප්‍රහාර නතර කරගනු පිණිස එම කැරලිකාර කණ්ඩායම් ඉදිරිපත් කළ ව්‍යාජ චෝදනාවක් බවයි. සිරියාවට සහය දක්වන රුසියාවද මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කළ අතර ඔවුන් පවසා සිටියේ 'රසායනික අවි තහනම පිළිබඳ සංවිධානය' (පඨචදඪලචබඪධද ටධප බඩඥ පධඩඪඡඪබඪධද ධට ඛිඩඥථඪජචත එඥචනධදඵ) වැනි ස්වාධීන ආයතනයක් හරහා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. ඒ අනුව මෙම සංවිධානයේ නියෝජිතයෝ ද ඩෝමා ප්‍රදේශයට පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියෝය. නමුත් කවදත් සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට විරුද්ධ ස්ථාවරයක සිටින ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරට එතෙක් ඉවසා සිටීමේ වුවමනාවක් තිබූ බවක් නොපෙනුණු අතර ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත්, ප්‍රංශයත් එක්ව පසුගිය 14 දා සිරියානු රජයට අයත් ස්ථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කළෝය. ඔවුන් පැවැසුවේ මෙම ස්ථාන රසායනික අවි නිෂ්පාදනය හා සම්බන්ධ ආයතන බවයි. සැබැවින්ම රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූවාද, එයට වගකිව යුත්තේ කවුද යන්න පිළිබඳ විධිමත්
පරීක්ෂණයකින් තොරව සිරියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මෙන්ම මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතියක් ලබා නොගැනීම සම්බන්ධයෙන්ද බටහිර කඳවුරට චෝදනා එල්ල විය. බොහෝ දෙනා මෙය සැලකුවේ 2003 වසරේ බටහිර බලවතුන් ඉරාකයට ප්‍රහාර එල්ල කිරීම සිහි ගන්වන්නක් වශයෙනි.
කෙසේ වෙතත් බටහිර කඳවුර එල්ල කළ ඉහත කී මිසයිල ප්‍රහාරය පිටුපස ඔය කියන රසායනික අවි  පිළිබඳ
කාරණයට එහා ගිය බල අරගලයක් තිබෙන බව
රහසක් නොවේ.
ඒ පිළිබඳවද
මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වෙයි. සිරියාවේ ජනාධිපතිවරයා වන බෂාර් අල් අසාද් යනු  බටහිර විරෝධි කඳවුරක් ලෙස සැලකෙන රුසියානු-ඉරාන කඳවුරේ සමීප මිතුරෙකි. ඔහු බලයෙන් පහකර බටහිරට හිතවත් පාලනයක් සිරියාව තුළ ඇති කර ගැනීමේ වුවමනාව මෙම බටහිර ප්‍රබල රාජ්‍යයන්ට තිබෙන බව රහසක් නොවේ. සිරියාව තුළ බෂාර් අල් අසාද් ට එරෙහිව සටන් කරන ඇතැම් කැරලිකාර කණ්ඩායම්වලට ඇමෙරිකාවේ සහය ලැබුණු බවද ප්‍රසිද්ධ කාරණයකි.
මේ වනවිට සිරියාව තුළ ක්‍රියාත්මක වන බෂාර්-විරෝධී කැරලිකාර කණ්ඩායම් සිටින්නේ විශාල පසුබෑමකට ලක්ව ය. රුසියානු සහ ඉරාන  සහය ලබන සිරියානු රජයේ හමුදා වඩාත් බලවත් වෙමින් සිටියි. ඉහත කී ඩෝමා නමැති ප්‍රදේශය ද පසුගිය කාලයේ කැරළිකාර කණ්ඩායම්වල අණසක යටතේ පැවැති ප්‍රදේශයක් වූ අතර මේ වනවිට එම ප්‍රදේශය කැරලිකරුවන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා සිරියානු රජයේ හමුදා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී සිරියානු හමුදා  ඉහත කී ආකාරයෙන් රසායනික අවි ප්‍රහාරයක් ද දියත් කළාය යන චෝදනාව මෙම කැරලිකාර කණ්ඩායම් විසින් නිර්මාණය කරනු ලැබූ ව්‍යාජ චෝදනාවක් බව සිරියානු රජයේ මතයයි. මෙම බොරු චෝදනාව හරහා සිරියානු රජයට එරෙහිව ජාත්‍යන්තර මතයක් ඇති කර  ඩෝමාහි එල්ල වන ප්‍රහාර නතර කර ගැනීමට කැරලිකරුවන් කුමන්ත්‍රණය කරන බව සිරියාව පවසයි. ඉහත සිද්ධියේදී රුසියාව ද පවසා තිබුණේ ඩෝමා හි රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූ බවට සාක්ෂි නැති බව සහ ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බවය. නමුත් එවැනි පරීක්ෂණයක් සිදු කිරීමට පෙරම ඇමෙරිකා-ප්‍රංශ-බ්‍රිතාන්‍ය පාර්ශ්වය සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම පසුබිම තුළ ඇතැම් නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ඇමෙරිකා-බ්‍රිතාන්‍ය-ප්‍රංශ හමුදා පසුගියදා එල්ල කළ මිසයිල ප්‍රහාරයේ සැබෑ අරමුණ සිරියාව තුළ ශක්තිමත් වෙමින් ඇති රුසියානු-ඉරාන බලපෑමට අභියෝග කිරීම බවයි. සිරියාව රුසියානු-ඉරාන පාර්ශ්වයේ ආධිපත්‍යයට නතු වීම මෙම කලාපය තුළ එම පාර්ශ්වයේ ආර්ථික, දේශපාලනික බලය ඉහළ නංවන්නක් බව ඇමෙරිකානු පාර්ශ්වය දනියි. එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් දරමින් සිටින බව රහසක් නොවේ.  මෙම බල අරගලය තුළ ඇමෙරිකා-බ්‍රිතාන්‍ය-ප්‍රංශ පාර්ශ්වය පසුගිය දිනවල එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියා-රුසියා-ඉරාන පාර්ශ්වයද කිසිවක්ම නොකර සිටිනු ඇත්ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැක. මෙයට පෙර රුසියාව පවසා තිබුණේ ඇමෙරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් සහ ඒවායින් සිරියාව තුළ රැඳී සිටින රුසියානු හමුදාවන්ට තර්ජනයක් එල්ල වුවහොත් ඔවුන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. එවැනි අවස්ථාවක ඇමෙරිකානු මිසයිලවලට පමණක් නොව ඒවා මුදා හරින ස්ථානවලට ද පහර දෙන බව රුසියාව පවසා තිබිණි. කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා ප්‍රහාරයේ දී රුසියානු පාර්ශ්වයට කිසිදු හානියක් සිදු නොවූ අතර ඒ නිසා මෙම බලවතුන් අතර ගැටුමක් දක්වා එය දුරදිග ගියේ නැත. නමුත් ඉදිරියේදී ද බටහිර කඳවුරෙන් මෙවැනි ප්‍රහාර එල්ල වුවහොත් එය ජාත්‍යන්තර සබඳතාවල විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා තිබේ.  ඔහු මේ බව පවසා ඇත්තේ ඉරාන ජනාධිපති හසන් රොහානි සමග දුරකථන සංවාදයක නිරත වෙමිනි. පුටින් මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න නිශ්චිතව පැවැසිය නොහැකි වුවත් ඉතාම ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ ඉඟියක් ඒ තුළ පවතින බව බැහැර කළ හැකි නොවේ.
මේ අතර රුසියාවට එරෙහිව තවත් සම්බාධක වටයක් ගෙන ඒමටද ඇමෙරිකාව සූදානම් වෙයි. රුසියාව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමග පවත්වන සමීප සම්බන්ධයට සහ ඔහු වෙත දක්වන සහයෝගයට එරෙහිව මෙම සම්බාධක ගෙන එන බවද මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. කෙසේ හෝ වේවා සිරියාව කේන්ද්‍ර කරගෙන බටහිර බලවතුන් සහ රුසියානු-ඉරාන පාර්ශ්ව අතර උත්සන්න වෙමින් ඇති ආතතිය  ඉදිරි දිනවල කවර දිශාවක් ගනු ඇත්ද යන්න මේ වනවිට ලෝකයේම දැඩි අවධානයට හසුව ඇති කාරණයක් බවට පත්ව ඇත්තේ මෙම ආතතිය ලෝකයේම සාමයට බලපාන ගැටුමක් බවට පත්වීමේ අනතුරක් පවතින නිසාය.

නිහාල් පීරිස්

  1. ඇමෙරිකාව සහ රුසියාව අතර යුද ගැටුමක් ගැන බිය පළවෙයි
  2. තමිල්නාඩුවේ අයි.පී.එල් තරග එපා
  3. වසර 24 ක සිර දඬුවම් නියම වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය
  4. බ්‍රසීලයේ හිටපු ජනපති සිරදඬුවම ඇරඹිය යුතු බවට අධිකරණයෙන් නියෝගයක්
  5. වැඩ වර්ජන රැල්ලකින් ප්‍රංශය උණුසුම් වෙයි
  6. දකුණු කොරියානු ‍පොප් සංගීතඥයෝ උතුරු කොරියාවේ ප්‍රසංග පවත්වති
  7. චීනයෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර
  8. පාලනයෙන් තොරව මහ ‍පොළොවට කඩා වැටුණු චීන අභ්‍යවකාශ යානය
  9. පාකිස්තානයට ආ මලාලාට ඇතැමුන්ගේ විරෝධය
  10. පාසල් අහිමි දරුවන් හාරදහසක් බ්‍රිතාන්‍යයේ
  11. සිම්බාබ්වේ හිටපු ජනාධිපති මුගාබේ ගේ බිරිඳට එරෙහිව විමර්ශනයක්
  12. 64කට මරු කැඳ වූ ගින්න නොසැලකිල්ල නිසා සිදු වූ බව පුටින් කියයි
  13. ඉන්දියාවේ කැලයක දුම්පිටකරන ඇතා
  14. උතුරු කොරියානු නායකයා චීනයට ගිය බවට පුවතක්
  15. ඇමෙරිකාව සහ චීනය අතර අලුත් 'යුද්ධයක්'
  16. අවි පාලනය කරන ලෙස ඉල්ලා ඇමෙරිකාව පුරා පෙළපාළි
  17. වෙනිසුවෙලාවේ දිළිඳු ළමා ජීවිත වෙනස් කළ සංගීතඥයා මියයයි
  18. කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වීමේ අරගලය යළිත් උත්සන්න වෙයි
  19. දූෂණ චෝදනා මත ප්‍රංශයේ හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි
  20. ටෙක්සාස් බෝම්බ සැකකරු හඳුනාගනියි
  21. දූෂණ චෝදනා නිසා ජේකබ් සූමා හිරේ යයිද?
  22. සිව්වන වරටත් පුටින් ජනපති
  23. ජනප්‍රිය බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ට දුලබ රෝගී තත්ත්වයක්
  24. දූෂණ විරෝධී අංශයේ ප්‍රධානියා චීනයේ උප ජනපති තනතුරට
  25. එවරස්ට් පිරිසිදුකිරීම ඇරඹෙයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.