Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇෆ්ගනිස්ථානය දෙදරවමින් මරාගෙන මැරෙන ප්‍රහාර පෙළක්

ඇෆ්ගනිස්ථානය මේ වනවිට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර වැලක ඉලක්කය බවට පත්ව සිටින බව පෙනේ. සතියකට ආසන්න කෙටි කාලයක් තුළ එක පෙළට සිදු වූ ප්‍රහාර හතරක් පිළිබඳව පසුගිය දිනවල වාර්තා වූ අතර සිය ගණනක් මේ නිසා මරණයට පත් විය. මෙම තත්ත්වය පිළිබඳව මේ වනවිට විශාල ජාත්‍යන්තර අවධානයක්  යොමු වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. විශේෂයෙන් එරට අගනුවර වන කාබුල් නගරය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර බොහෝ පාර්ශ්ව තුළ මහත්  නොසන්සුන් බවක් ජනිත කිරීමට සමත්ව තිබේ. මේ අතරින් පසුගිය සෙනසුරාදා (27 දා)  එල්ල වූ ගිලන් රථ බෝම්බය මහත් කම්පනයක් සහ භීතියක් ඇති කිරීමට සමත් විය. මෙම ප්‍රහාරය එල්ල වූයේ බෝම්බ සවි කරන ලද ගිලන් රථයක් කාබුල් හි ඉතා ජනාකීර්ණ ඉසව්වක පුපුරා යාමත් සමගය. මෙයින් මිය ගිය සංඛ්‍යාව සියයකට ආසන්න බව පැවසුණු අතර තවත් 160කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය රජයේ කාර්යාල, තානාපති කාර්යාල මෙන්ම සාප්පු සංකීර්ණ ආදියද බහුල ප්‍රදේශයක් විය. ආරක්ෂක අංශවල සැකයෙන් ගැලවී ප්‍රහාරය එල්ල කිරීම සඳහා සටන්කාමීන් ගිලන් රථයක් යොදාගෙන ඇති බව පැහැදිලිය. මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම භාර ගත්තේ තලිබාන් සංවිධානයයි.
මෙම ප්‍රහාරයෙන් දින කිහිපයක් ගතවීමටත් පෙර පසුගිය සඳුදා (29) නැවතත් කාබුල් වෙත තවත් ප්‍රහාරයක් එල්ල විය. මෙවර එයට ඉලක්ක වූයේ හමුදා ඇකඩමියකි. මාර්ෂල් ෆහීම් ජාතික හමුදා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වෙන මෙම ආයතනය අබියස එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 11 දෙනෙකු මිය ගිය බව මාධ්‍ය අනාවරණය කර තිබිණි. මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ අයිසිස් සංවිධානයයි.
මෙම ප්‍රහාර දෙකට කලින් පසුගිය 20 සහ 24 යන දිනවල ද ඇෆ්ගනිස්ථානයෙහි තවත් බිහිසුණු ප්‍රහාර දෙකක් එල්ල විය. 20 වෙනි දින ප්‍රහාරය එල්ල වූයේ කාබුල්හි පිහිටි සුපිරි හෝටලයක් වන ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයටය. එහිදී 22 දෙදෙනෙකු මිය ගිය බව පැවසුණු අතර තලිබාන් සංවිධානය වගකීම භාරගෙන තිබුණි. මෙහිදී මරණයට පත් වැඩි පිරිස විදේශිකයින් බවද සඳහන් විය. 24 වෙනි දින ප්‍රහාරයට ඉලක්ක වූයේ ජලාලාබාද් නගරයේ පිහිටි, ‘සේව් ද චිල්ඩ්රන්’ රාජ්‍ය නොවන සංවිධානයට අයත් කාර්යාලයකි. එහිදී සිව් දෙනෙකු පමණ මියගොස් ඇති බැව් වාර්තා විය. අයිසිස් සංවිධානය ප්‍රහාරය පිළිබඳ වගකීම භාර ගනිමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. කෙසේ හෝ වේවා මෙම ප්‍රහාර මාලාවත් සමග නැවතත් ඇෆ්ගනිස්ථානය තුළ අතිශය ව්‍යාකූල තත්ත්වයක්  හටගෙන ඇති අතර වැසියන් මෙන්ම රජයද මහත් කම්පනයට සහ අපහසුතාවට පත්ව ඇති බව පෙනේ. භීතියට පත්ව සිටින ජනතාව තමුන්ට ආරක්ෂාව සැපයීමට නොහැකි වීම ගැනත්, මෙම සටන්කාමීන් මර්දනය කිරීමට අ‍පොහොසත් වීම ගැනත් රජය වෙත දැඩි අප්‍රසාදය පළ කරන්නට පටන්ගෙන ඇත. 
ඇෆ්ගනිස්ථානය මේ ආකාරයේ ප්‍රහාරයන්ට ඉලක්ක වන්නේ ඇයි? මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ පවතින්නේ බටහිර රටවලද සහය ලබන පාලනයකි. එහි ජනාධිපතිවරයා වන්නේ අෂ්රෆ් ගානිය. මේ අතර තලිබාන් සංවිධානය සහ අයිසිස් සංවිධානය මෙම පාලනයට එරෙහිව සටන් කරමින් සිටිති. තලිබාන් සංවිධානය දැන් කාලයක සිටම ඇෆ්ගනිස්තානයේ ප්‍රබල කැරළිකාර කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින අතර කලකට පෙර, අනූව දශකයේ අවසන් භාගයේ ටික කලක් ඇෆ්ගනිස්තානය පාලනය කළේද ඔවුන්ය. ඒ කාලයේ ඔවුන් ගෙන ගියේ ඉතා දැඩි නීති රීති සහිත ආගමික පාලනයකි. නමුත් 2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ  ප්‍රහාරයෙන් පසු  ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුමක් දියත් කළ ඇමෙරිකාව ඇතුළු බටහිර පාර්ශ්වය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර තලිබාන් සහ ඒ වනවිට ක්‍රියාත්මකව තිබූ අල් කයිඩා කණ්ඩායම්වලට එරෙහිව සටනක් දියත් කළේය. එහිදී මෙම සටන්කාමීන් බොහෝ දුරට අඩපණ කරමින් බටහිර රටවල සහය ලබන පාලනයක් එහි ස්ථාපිත කිරීමට හැකියාව ලැබිණි. එයින් පසුව ජනාධිපති ධුරයට පත් වූයේ  හමීඩ් කර්සායි ය. (ඔහු 2014 දක්වා එරට ජනාධිපති ධුරය දැරුවේය.) කෙසේ නමුත් තලිබාන් සංවිධානය මුළුමනින් පරාජය කිරීමට කර්සායි රජයට හෝ ඔහුට සහය දුන් බටහිර කඳවුරට හෝ හැකි වූයේ නැත. ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසක් තම අණසක යටතේ තබා ගැනීමට තලිබාන් සංවිධානයට හැකි වූ අතර අදටත් ඔවුහු රජයට එරෙහිව ප්‍රබල කැරැල්ලක් ඉදිරියට ගෙන යමින් නැවතත් එරට බලය තහවුරු කර ගැනීමට සටන් කරමින් සිටිති. මේ අතර අයිසිස් සංවිධානයද මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ තහවුරු වෙමින් සිටියි. නමුත් ඔවුන් සහ තලිබාන් සංවිධානය අතර ද බල අරගලයක් වෙයි. එක් කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළ විට අනෙක් කණ්ඩායමද තවත් ප්‍රහාරයක් එල්ල කරන්නේ එකිනෙකාට නොපරදිමින් තම බලය පෙන්වීම සඳහා යයිද සැලකිය හැකිය.
මේ අතර කාලයක සිටම තලිබාන් සංවිධානයට  පාකිස්තානයේ සහය ලැබෙන බවටද විශ්වාසයක් පවතී. විශේෂයෙන් පාකිස්තාන බුද්ධි අංශවල සහය ඔවුන්ට ලැබෙන බවට චෝදනා එල්ල වෙයි. ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් කලාපයක වන අතර මෙම කලාපයේ බලය තහවුරු කර ගැනීම සඳහා පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති බල තරගයද මෙහිදී අවධානයට ලක් විය යුතු වැදගත් සාධකයකි. ඉන්දියාව මේ වනවිට ඇමෙරිකාවේ සමීපම මිතුරෙකු බවට පත්ව සිටින නිසා මෙම තරගයේදී ඔවුන්ට වැඩි වාසියක් හිමි වීමේ පසුබිමක්ද නිර්මාණය වෙමින් තිබේ. ඒ අතර මෑත කාලයේ ඉන්දියාව ඇෆ්ගනිස්තානය සමග වඩාත් සමීප සබඳතා ගොඩ නගා ගනිමින් සිටීමද පාකිස්තානයට යම් හිසරදයක් බවට පත්ව ඇති බව පෙනේ. මෙම තත්ත්වය පසුබිමෙහි ඇෆ්ගනිස්තානය තුළ සිය බලපෑම පවත්වාගෙන යාම සඳහා පාකිස්තානය තලිබාන් සංවිධානය යොදා ගන්නා බව බොහෝ විට සාකච්ඡාවට ලක්වන කාරණයකි. ඉන්දියානු තානාපති කාර්යාලය, කොන්සියුලර් කාර්යාල මෙන්ම ඉන්දියානු නිලධාරීන් ද බොහෝ අවස්ථාවල ඇෆ්ගනිස්තානය තුළ ත්‍රස්ත ප්‍රහාරවලට ඉලක්ක වී ඇති බවද අමතක කළ හැකි කාරණයක් නොවේ. 2008 වසරේ ඇෆ්ගනිස්තානයේ ඉන්දියානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඇමෙරිකාව සෘජුවම චෝදනා කළේ පාකිස්තාන බුද්ධි අංශවලටය. (පාකිස්තානය මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය.)
අනෙක් අතට, පාකිස්තානය සහ ඇමෙරිකාව අතර දැන් කාලයක සිටම යම් ආතතියක් වර්ධනය වෙමින් ඇති බවද නොරහසකි. පාකිස්තානය තලිබාන් වැනි ත්‍රස්තවාදීන්ට උදව් කිරීම පිළිබඳව ඇමෙරිකාව නිරන්තරයෙන් ඔවුන්ට චෝදනා කරමින් සිටින අතර පාකිස්තානයට දෙන ආධාර අඩු කිරීමේ තීරණයක්ද පසුගිය දා ට්‍රම්ප් රජය විසින් ගනු ලැබිණි. තලිබාන් සංවිධානය පසුගිය සතිවල ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර වැඩි කළේ මෙයට ප්‍රතිචාරයක් වශයෙන්ය යන අදහසක්ද ඇතැම් නිරීක්ෂකයින් මතු කර තිබෙනු දැකිය හැකි විය. කෙසේ නමුත් මේ වනවිට තලිබාන් සහ අයිසිස් කණ්ඩායම් සිය ප්‍රහාර වේගවත් කර තිබිමේ අවසන් අරමුණ කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුට පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.  ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකිද, ඊට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගන් රජය සහ ඔවුන්ට සහය දෙන බලවතුන් කුමක් කරනු ඇත්ද යන කාරණා සම්බන්ධයෙන් මේ වනවිට විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වෙමින් ඇති බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ. 
 
නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.