Coss Ear2
lakbima.lk
COSS Ear 1

සෞදි රජුගේ මාළිගය ඉලක්ක කර මිසයිලයක්

සෞදි අරාබියේ පාලකයා වන සල්මාන් රජු ගේ වාසස්ථානය වන, රියාද් හි පිහිටි  අල්-යමාමා මාළිගය ඉලක්ක කර යාබද යේමනයේ ක්‍රියාත්මක වන හෞති (Houthi) සටන්කාමීන් මිසයිලයක් එල්ල කිරීමේ පුවත පසුගිය අඟහරුවාදා (19)  ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් දිනාගත් පුවතක් විය. නමුත් සෞදි ආරක්ෂක අංශ, 'බුර්කන් එච් 2' යනුවෙන් හැඳින්වෙන මෙම බැලිස්ටික් මිසයිලය ගුවනේ දී විනාශ කිරීමට සමත්ව තිබූ අතර යම් හෙයකින් එසේ නොවූවා නම් ඉතා තීරණාත්මක තත්ත්වයක් ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ තිබිණි. මෙය මෑත කාලයේ සෞදිය ඉලක්ක කර යේමන සටන්කාමීන් විසින් එල්ල කරන ලද දෙවැනි මිසයිලයයි. මෙයට මාසයකට පෙර සෞදි අගනුවර වන රියාද්හි පිහිටි ප්‍රධාන ගුවන් තොටු‍පොළ ඉලක්ක කරමින්ද මෙවැනිම මිසයිලයක් එල්ල කළ අතර එයද ගුවනේදී විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශවලට හැකි විය.
යේමන සටන්කාමීන් මේ ආකාරයෙන් සෞදිය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ මන්ද යන්න තේරුම් ගැනීමේදී මෙම පාර්ශ්ව දෙක අතර මේ වනවිට පවතින ගැටුම්කාරී පසුබිම ගැන විමසා බැලීම වැදගත් වේ.
සෞදි අරාබිය සහ යේමනයේ හෞති සටන්කාමීන් අතර ගැටුම දැන් කාලයක් තිස්සේ පවතින්නකි. මැද පෙරදිග කලාපයේ දිළිඳුම රට ලෙස සැලකෙන යේමනය කලෙක සිටම දරුණු සිවිල් යුද්ධයක පැටලී සිටියි. සෞදි අරාබියද එහි එක් පාර්ශ්වයක් නියෝජනය කරයි. එරට ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පිළිගැනෙන්නේ අබ්ද්‍රාබු මන්සූර් හාඩි (Abdrabbuh Mansur Hadi)  වුවත් රටේ අගනුවර වන සානා ඇතුළු විශාල කොටසක පාලනය පවතින්නේ හෞති සටන්කාමීන් යටතේය. මන්සූර් හාඩි සැලකෙන්නේ බටහිර බලවතුන්ගේ මෙන්ම ඔවුන්ගේ සහාය ලබන සෞදි අරාබියේද හිතවතෙකු ලෙසිනි. අනික් අතට හෞති සංවිධානය බටහිරට මෙන්ම සෞදි අරාබියටද විරුද්ධ ස්ථාවරයක සිට සටන් කරන සංවිධානයකි. ඔවුන්ට ඉරානයේ සහාය ලැබෙන බවක් සඳහන් වන අතර එම සංවිධානයට ආයුධ සපයන්නේද ඉරානය බවට සෞදි සහ ඇමෙරිකානු පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වේ. (නමුත් ඉරානය  මෙන්ම හෞති සංවිධානයද මෙම සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරයි.)
මෙහිදී මැද පෙරදිග කලාපයේ දේශපාලන, ආර්ථික  සහ ආගමික ආධිපත්‍යය වෙනුවෙන්  ඉරානය සහ සෞදි  අරාබිය අතර පවතින ද්වන්ද සටන පිළිබඳවද සිහිපත් කළ යුතු වෙයි.  යේමනයේ ජනාධිපතිවරයාට එරෙහි හෞති සංවිධානයේ සටනට ඉරානයේ සහාය ලැබෙන බවට සෞදිය නගන චෝදනා තුළ ද මෙම බල අරගලය පිළිබිඹු වන බව රහසක් නොවේ.  හෞති සංවිධානය යේමනය තුළ බලවත් වීම සෞදි අරාබිය සලකන්නේ එම කලාපය තුළ ඉරානයේ බලය තහවුරුවීමක් හැටියටය. ඉස්ලාම් ආගමේ නිකායන් දෙකක් වන ෂියා සහ සුන්නි නිකායන් අතර බල අරගලයද මෙම ගැටුම්වලට එක් හේතුවකි. ඉරානය ෂියාවරුන්ගේ බල කේන්ද්‍රයක් ලෙසද සෞදි අරාබිය සුන්නි නිකායේ කේන්ද්‍රයක් ලෙසද සැලකේ. හෞති සංවිධානයද බොහෝ දුරට  සැලකෙන්නේ ෂියා නිකාය නියෝජනය කරන සංවිධානයක් වශයෙනි. 
කෙසේ හෝ වේවා, මෙම තත්ත්වය තුළ සෞදි අරාබියේ මූලිකත්වයෙන් රටවල් රැසක් එක්ව තනාගත් යුද සන්ධානයක් මේ වනවිට යේමනයේ හෞති සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් ජනාධිපති හාඩි නැවත බලවත් කිරීම සඳහා මෙහෙයුමක නිරතව සිටියි. හෞති සංවිධානය සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළට මෙන්ම සල්මාන් රජුගේ මාළිගයට මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ ද මෙම තත්ත්වය තුළ ය. මෙයට මාස කිහිපයකට පෙර  ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වෙද්දී මෙම මාළිගයේදී ද රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි විය.
'බුර්කන් එච් 2' මිසයිලය අහසේ දී විනාශ වීමෙන් පසු දුම්රොටු නැගෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ විඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු ද  දක්නට ලැබිණි. හෞති සටන්කාමීන් ගේ රූපවාහිනි නාළිකාවක් බව පැවසෙන අල් මසීරා නාළිකාව ද මෙම මිසයිලය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබිණි. සෞදි අරාබියේ සහ ඇමෙරිකාවේ මූලිකත්වයෙන්  යේමන වැසියන්ට එරෙහිව සිදු කරන අපරාධවලට ප්‍රතිචාරයක් වශයෙන් මෙම මිසයිලය එල්ල කරන බව හෞති සංවිධානය එහිදී ප්‍රකාශ කර තිබිණි. සෞදි අරාබියේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක යුද සන්ධානය යේමනයේ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු 9000 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන් වේ. පසුගිය දින දහයක කාලය තුළ පමණක් යේමන සිවිල් වැසියන් 140 කට ආසන්න පිරිසක් සෞදි සන්ධානයේ ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි ද චෝදනා එල්ල වී තිබිණි. මේ බව ප්‍රකාශ කරනු ලැබූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලය විසින් වීමද විශේෂත්වයකි. 
තමුන් මෙම මිසයිලය එල්ල කළේ ඉහත කී රජ මාළිගය තුළ පැවැති සෞදි නායකයින්ගේ හමුවක් ඉලක්ක කර බවද හෞති සංවිධානය පවසා තිබේ. අල් මසීරා නාළිකාව පවසන ආකාරයට මෙම හමුවේදී සෞදි අරාබියේ අනාගත රජු වන මොහොමඩ් බින් සල්මාන් කුමරු රටේ වාර්ෂික අයවැය පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතව තිබි ඇත. 
සෞදියේ වත්මන් පාලකයා වන සල්මාන් රජු මේ වනවිට සිටින්නේ ඉතා වියපත්ව සහ රෝගී තත්ත්වයෙනි. මේ නිසා ඔහුගේ පුත් මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉතා ඉක්මනින්ම එරට රජකම බාරගනු ඇතැයි අපේක්ෂා කෙරේ. සල්මාන් රජු රජකමේ සිටියද දැනටමත් සෞදියේ පාලනය සම්බන්ධයෙන් මොහොමඩ් බින් සල්මාන් කුමරු විශාල වශයෙන් මැදිහත් වන අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික ක්‍ෂේත්‍රවල විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඔහු සැලසුම් කරමින් සිටියි. මේ වනවිට සෞදියේ විදේශ ප්‍රතිපත්තියද හැඩගැසෙන්නේ ඔහුගේ සැලසුම්වලට අනුව බව පෙනී යයි. මොහොමඩ් බින් සල්මාන් සෞදියේ පාලනයට මැදිහත්වීමට පටන් ගැනීමත් සමග යේමනයේ හෞති සටන්කාමීන්ට එරෙහි සටන වඩාත් උත්සන්න කර ඇති බවටද අදහස් පල වෙයි. හෞති සංවිධානය ඔහු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නට සැරසෙන්නේ මෙම තත්ත්වය නිසා විය හැකිය. 
යේමනයේ පවතින සිවිල් යුද්ධය නිසා එහි ජනතාව දැඩි දුෂ්කරතා විඳිමින් ජීවත්වන පිරිසක් බවට පත්ව තිබේ. ආහාර නිශ්පාදනය මෙන්ම බෙදාහැරීමද බිඳ වැටීමෙන් රටේ බොහෝ ප්‍රදේශවල අතිශය දරුණු සාගත තත්ත්වයක් පවතින අතර කුඩා දරුවන් ඇතුළු විශාල ජනතාවක් කුසගින්නේ දුක් විඳින බව වාර්තා වෙයි. මන්ද‍පෝෂණය වැනි ගැටලු දැඩි ලෙස උත්සන්නව ඇත. ආහාර, වෙනත් මානුෂීය ආධාර සහ ඉන්ධන වැනි ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලට බාධා කරන බවට සෞදි අරාබි සන්ධානය වෙතද චෝදනා එල්ල වෙයි.  යුද්ධය හේතුවෙන් රටේ ජල සැපයුම් පද්ධතිවලටද බාධා ඇති වීම නිසා සෞඛ්‍ය ප්‍රශ්නද රාශියක් උද්ගතව තිබේ. ලොව දරුණුම කොළරා වසංගතය වාර්තා වන්නේ යේමනයෙනි. මෙම බිහිසුණු තත්ත්වය තුළ 2017 වසරේ පමණක් දරුවන් 50,000 ක් පමණ කුසගින්න සහ සෞඛ්‍ය ගැටලු නිසා මියගොස් ඇති බවටද සංඛ්‍ය‍ලේඛන පලවී තිබේ. එමෙන්ම දිනකට සාමාන්‍යයෙන් දරුවන් 130 දෙනෙකු පමණ මියයමින් සිටින බවද වාර්තා වෙයි. 
 
නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1932

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2949

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3275

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2371

Please publish modules in offcanvas position.