Coss Ear2
lakbima.lk
COSS Ear 1

උතුරු කොරියාව ඇමෙරිකාව සමග සාකච්ඡාවට සූදානම් ?

පසුගිය කාලය පුරාම ලෝක දේශපාලන කරළියේ රඟදැක්වෙන ප්‍රධානම නාටකයක් බවට පත්ව ඇත්තේ උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවතින දැඩි ගැටුම්කාරී තත්ත්වයයි. උතුරු කොරියාව ඉදිරියට ගෙන යමින් සිටින න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගෙන මෙම දෙපාර්ශ්වය අතර ආතතිය කෙතරම් වැඩි දියුණු වෙමින් පවතීද යත් ඔවුන් අතර කොයි මොහොතක හෝ යුද ගැටුමක් ඇති වේවිද යන සැකසංකා පවා උත්සන්න වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. නොවැම්බර් මාසයේ අවසන් සතියේ උතුරු කොරියාව මතෛක් ඔවුන් අත්හදා බැලූ දරුණුම මිසයිලය ලෙස සැලකුණු හොසොංග් 15 මිසයිලය පරීක්ෂාවට ලක් කළේය. එයට ඇමෙරිකාවේ නිව්යෝක්, වොෂින්ටන් වැනි ප්‍රධාන නගරද ඇතුළුව එරට ඕනෑම ප්‍රදේශයක් ඉලක්ක කළ හැකි බව කියැවිණි. මෙම අත්හදාබැලීමත් සමග ඇමෙරිකාව යළිත් වරක් නොසන්සුන් වූ ආකාරයක් පෙනී ගිය අතර දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා වාග් ප්‍රහාර නැවතත් වඩාත් ගිනියම් වනු දැකගන්නට ලැබිණි.
නමුත් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරන ලද පුවතක් නිසා කිසියම් ධනාත්මක තත්ත්වයක් පිළිබඳ බලා‍පොරොත්තුවක් ඇති වන්නට පටන් ගෙන ඇති බවක්ද දැකිය හැකි වෙයි. මෙම පුවතින් කියැවුණේ ඇමෙරිකාව සමග සෘජුව සාකච්ඡා ආරම්භ කිරීමට උතුරු කොරියාව සූදානමින් පසුවන බවයි. යුද්ධය හැරෙන්නට වෙනත් කිසිදු විසඳුමක් නැති ආකාරයක් පෙනී ගිය මෙම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයක් වෙත යොමුවන්නේ නම් එය ලෝකයේ බොහෝ පාර්ශ්ව තුළ කිසියම් සැනසිල්ලක් ඇති කරන කාරණයක් වනු ඇති බව රහසක් නොවේ.
උතුරු කොරියාව මේ ආකාරයෙන් ඇමෙරිකාව සමග සෘජු සාකච්ඡා සඳහා සූදානම් යයි තමුන් දන්නා බවක් ප්‍රකාශ කර තිබුණේ රුසියානු විදේශ අමාත්‍යවරයා වන සර්ගේයි ලැව්රෝව්ය. ඔහු මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ වියානා නුවර පැවැති ජාත්‍යන්තර සමුළුවක් අතරතුර වන අතර තමා මේ පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් රෙක්ස් ටිලර්සන් හටද දැනුම් දුන් බව ලැව්රෝව් සඳහන් කර තිබේ. මෙහිදී විශේෂයෙන් උතුරු කොරියාව සාකච්ඡා කිරීමට බලා‍පොරොත්තු වන්නේ සිය රටේ ආරක්ෂාව සම්බන්ධ කාරණා පිළිබඳව බවද සඳහන් වෙයි.
මේ අතර තවත් දුර්ලභ ආකාරයේ සිදුවීමක්ද උතුරු කොරියාව කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතියේ සිදු විය. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම මට්ටමේ නිලධාරියෙකු උතුරු කොරියාව තුළ සංචාරයක නිතර වෙමින් එරට විදේශ  අමාත්‍යවරයා වන රී යොංග්-හෝ මුණගැසී සාකච්ඡා කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ මට්ටමේ නිලධාරියෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වූයේ වසර හයක කාලයකට පසුව බව සඳහන් වේ. ජෙෆ්රි ෆෙල්ට්මාන් නැමැති, එක්සත් ජාතීන්ගේ මෙම නිලධාරියා ඇමෙරිකානු ජාතිකයෙකු වීම ද තවත් වැදගත් කාරණයකි. ප්‍රතිපත්තිමය කාරණා ගැන සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මුල් වරට ඇරයුමක් ඉදිරිපත් වූයේ පසුගිය සැප්තැම්බරයේය. නමුත් එය නිල වශයෙන් තහවුරු කර තිබුණේ පසුගිය සතියේ බව සඳහන් වෙයි. මේ අතර මෙයට සති කිහිපයකට පෙර, උතුරු කොරියාවේ ප්‍රධානම ආර්ථික සහ වෙළෙඳ සහකරුවා වන චීනයද ඔවුන්ගේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු උතුරු කොරියාවට යවා තිබිණි. එහිදී දැන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් චීනය සහ උතුරු කොරියාව අතරද වැදගත් සාකච්ඡාවක් සිදුවන්නට ඇතැයි අපේක්ෂා කළ හැකි වෙයි.
රුසියානු විදේශ ඇමැතිවරයා පවසා ඇති ආකාරයේ සාකච්ඡා ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ඇති වුවහොත් එහිදී පෙරට වඩා ශක්තිමත් පදනමක සිට සිය වුවමනාවන් වෙනුවෙන් කේවල් කිරීමට දැන් උතුරු කොරියාවට හැකියාවක් තිබෙනවා විය හැකිය. මේ වෙද්දී ඔවුන් සිය න්‍යෂ්ටික මිසයිල වැඩසටහන තුළ එක්තරා ශක්තිමත් මට්ටමක් වෙත අවතීර්ණ වී ඇති ආකාරයක් දැකිය හැකි වන අතර හොසොංග් 15 මිසයිලය එහි සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිවේ. උතුරු කොරියාව පවසන්නේ දැන් ඔවුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත්ව ඇති බව සහ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ තාක්ෂණයෙහි කෙළ පැමිණ ඇති බවයි. මෙය සත්‍යයක් නම් උතුරු කොරියාව දැන් සිටින්නේ අවි බලය අතින් සහ යුද ශක්තිය අතින් පෙරට වඩා ප්‍රබල තත්ත්වයක යයි පැවැසිය හැකිය. ඒ අනුව ඔවුන්ට වඩාත් ශක්තිමත් පදනමක සිට ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට, කේවල් කිරීමට දැන් හැකියාවක් තිබෙන බව පෙනී යයි.
එසේම අනෙක් අතට ඇමෙරිකාව සමග යම් එකඟාවකට පැමිණීමෙන් තොරව  ඉදිරියට යාමෙහි අසීරු බවක් උතුරු කොරියාව හමුවේ පවතින බැව්ද මෙහිදී අමතක කළ හැකි නොවේ. ඇමෙරිකාව  ගෙන එමින් සිටින වෙළෙඳ සම්බාධක ආදිය නිසා පසුගිය කාලයේ උතුරු කොරියාවට දැඩි පීඩනයක් එල්ල වූ බව රහසක් නොවේ. මෙම සම්බාධක ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු කොරියාවේ සහකරුවා වන  චීනයේද උපරිම සහාය ලබා ගැනීමට ඇමෙරිකාව දැඩි වෙහෙසක් ගනිමින් සිටියි. මෙයට සති කිහිපයකට පෙර ඇමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටියේ උතුරු කොරියාවට ඛණිජ තෙල් සැපයීම සම්පූර්ණයෙන් නතර කරන ලෙසයි. චීනය එවැනි පියවරක් ගතහොත් එය උතුරු කොරියාවේ පාලනයට තීරණාත්මක පහරක් එල්ල කරනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. කෙසේ නමුත් චීනය එවැනි පියවරක් ගැනීමට සූදානම් බවක් තවම ප්‍රකාශයට පත්ව නැත. එහෙත් ඇමෙරිකාවේ ඉල්ලීම් ගැන සහමුලින් නොසලකා සිටීමේ හැකියාවක්ද චීනයට නොමැත්තේ සිය ආර්ථික සහ වෙළෙඳ කටයුතු ඇතුළු ජාත්‍යන්තර කාරණාවලදී ඇමෙරිකාව ඔවුන්ගේ වැදගත් පාර්ශ්වකරුවකු වන බැවිණි. මේ නිසා ඉදිරියේදී යම් ආකාරයක සාකච්ඡා මාර්ගයක් වෙත අවතීර්ණ වීමට චීනයෙන්ද උතුරු කොරියාවට යම් බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා විය හැකිය.
උතුරු කොරියාව ඇමෙරිකාව සමග සෘජු සාකච්ඡා සඳහා සූදානම් බවක් රුසියානු විදේශ ඇමැතිවරයා පවසන්නේ මෙම පසුබිම තුළය. තමුන්ගේ ආරක්ෂාවට අදාළ කාරණා ගැන ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට උතුරු කොරියාවට දැඩි ලෙස අවශ්‍යව ඇති බව අපි දන්නවා. ඒ සඳහා සහාය වීමට අප සූදානම්. එවැනි සාකච්ඡා ක්‍රියාමාර්ගයකදී පහසුකම් සපයන්නෙකු ලෙස ඊට සහභාගි වීමට අප සූදානම්'' යි සර්ගේයි ලැව්රොව්  ඉහත කී සමුළුව අතරතුර ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකාව පැත්තෙන් තවමත් කිසිවක් ප්‍රකාශයට පත්ව නැති බවද වාර්තා වෙයි.
ඇමෙරිකාව මුල සිටම දැරූ ස්ථාවරය වූයේ කිසියම් සාකච්ඡා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නම් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ අත්හැරීමට සූදානම් විය යුතු බවය. නමුත් උතුරු කොරියාව ඊට කිසිසේත් එකඟත්වයක් නොදක්වයි. ඔවුන්ගේ අදහස වන්නේ තමුන් සිය න්‍යෂ්ටික අවි වැඩසටහන අත් හැරියහොත් ඇමෙරිකාව ඉදිරියේදී සිය රටට එරෙහිව 'ආක්‍රමණයක්' දියත් කරනු ඇති බවයි. ඒ මගින් දැන් පවතින කිම් ජොං-උන් පාලනය වෙනස් කර ඇමෙරිකානු හිතවාදී පාලනයක් එහි ස්ථාපිත කිරීමට පියවර ගනු ඇති බවයි. මෙම තත්ත්වය තුළ මෙම දෙපාර්ශ්වය අතර ඇත්තේ කිසිසේත් එකිනෙක පෑහෙන තත්ත්වයක් නොවන බවද පැහැදිළිව දැකිය හැකි වෙයි. මෙම පසුබිම අනුව, රුසියානු විදේශ ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයේ අනාගතය කෙබඳු වනු ඇත්ද යන්න නිශ්චිතව පැවැසිය නොහැකි, ඉතා කුතුහලය දනවන සුළු කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 23

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2321

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3299

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3553

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1439

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3425

Please publish modules in offcanvas position.