Coss Ear2
lakbima.lk
COSS Ear 1

තෙරේසා මේ අගමැති ධුරයෙන් ඉවත් වෙයිද?

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ට වැඩි කල් නොගොස්  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇත්ද යන්න මේ දිනවල එරට දේශපාලන කරළියේ නිතර කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ. ඇය මේ ආකාරයේ අර්බුදයකට මුහුණ දී සිටියදී එය තවත් තීව්‍ර කරන ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකටද මුහුණ දෙන්නට පසුගිය බදාදා (04 දා) ඇයට සිදු විය. ඒ මැන්චෙස්ටර්හිදී, ඇයගේ කොන්සර්වේටිව් පක්ෂයේ ඉතා වැදගත් සම්මේලනයක් අමතා කතා කරමින් සිටියදීය. අගමැතිනිය වේදිකාව මත කතා කරමින් සිටියදී සභා ශාලාව හරහා වේදිකාව අසළට ආ අමුත්තෙකු කිසියම් ලියැවිල්ලක් ඇය වෙත දිගු කරනු දක්නට ලැබිණි. එය බ්‍රිතාන්‍යයේ හැඳින්වෙන්නේ 45 ‍ලේඛනය යන නමිනි. සාමාන්‍යයෙන් එය සේවකයෙකුගේ සේවය අවසන් කළ බව අඟවමින් සේවායෝජකයෙකු විසින් නිකුත් කරනු ලබන ආකාරයේ ලියැවිල්ලකි. අර ආගන්තුකයා මෙවැනි ලියැවිල්ලක් තෙරේසා මේ වෙත දිගු කිරීමෙන් සංකේතවත් කිරීමට උත්සාහ කළේ ඇගේ සේවයද අවසන් කර ඇති ආකාරයකි. මෙම සිදුවීම සැලකිය හැක්කේ විහිළුවක ආකාරයෙන් අගමැතිනියගේ පාලනයට විරෝධය දැක්වීමක් ලෙසිනි.  පසුව මෙම පුද්ගලයා ‍පොලිස් අත්අඩංගුවට ගන්නා ලද බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

නමුත් අගමැතිනිය ඊටත් වඩා අපහසුතාවකට මුහුණ දුන්නේ එම පුද්ගලයා සභා ශාලාවෙන් පිටත රැගෙන යාමෙන් අනතුරුවය. ඒ ඇය නැවත කතා කිරීමට පටන් ගත් අවස්ථාවේ නතර නොවන දරුණු කැස්සකට ගොදුරු වීම නිසාය. කැස්ස නිසා ඇයට කතා කරගැනීම බෙහෙවින් අපහසු වූ අතර ඇතැම් අවස්ථාවල ඇගේ කටහඬ නොඇසෙන තරම් මට්ටමකට  පහත වැටිණි. මේ නිසා අගමැතිනිය ඉතා කණගාටුදායක තත්ත්වයකට පත් වූවාය.  සභාවේ රැස්ව සිටි ඇගේ පක්ෂයේ බොහෝ දෙනා තුළ ඇය මුහුණ දුන් තත්ත්වය සම්බන්ධයෙන් කම්පාවක් ඇති වූ බවද පෙනිණි. ඔවුන් විවිධ ආකාරයෙන් ඇය දිරිගන්වන ආකාරයක්ද, ඇය අස්වසාලන්නට තැත් කරන ආකාරයක්ද දැකිය හැකි විය. මේ අතර ඇය රැඳී සිටි වේදිකාවේ පසුබිමෙහි පැවැති පුවරුවක සටහන් කර තිබූ තේමා පාඨයක අකුරු ගැලවී වැටීමක් සිදු වූ බවද සඳහන් වෙයි. එය අගමැතිනියගේ ප්‍රතිපත්ති පිළිබඳ තේමාපාඨයක් වූ අතර සමහර අකුරු ගැලවී වැටීම නිසා කිසියම් හාස්‍යජනක බවක් එයින් පල වූ බවද කියැවිණි.

කෙසේ හෝ වේවා ඉහත සම්මේලනය අතරතුර සිදු වූ මේ සියල්ල දැනටමත් තෙරේසා මේ මුහුණ දී සිටින අර්බුදය තවත් අවුල් කරන්නක් ලෙසිනි බොහෝ දෙනා සලකන්නේ. ඇයගේ ජනප්‍රියත්වය සහ ආකර්ශණීයත්වය ඉතා වේගයෙන් පහත වැටෙමින් ඇති බව මේ වනවිට පැහැදිලිව දැකගත හැක්කකි. එයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය ජුනි මාසයේ ඇය විසින් කැඳවන ලද හදිසි මහා මැතිවරණය නිසා ඇති වූ ගැටළුයි. එම අවස්ථාවේ එවැනි මැතිවරණයක් කැඳවීම වැරදි තීරණයක් බව මේ වනවිට සනාථ වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පාක්ෂිකයින්ගේ අප්‍රසාදය ඇය වෙත එල්ල වී තිබේ. එම මැතිවරණය පැවැත්වීමට පෙර තෙරේසා මේ ගේ කොන්සර්වේටිව් පක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු මට්ටමේ බලයක් තිබිණි. නමුත් ඇයට ඊටත් වඩා බලයක් ඇති කර ගැනීමට වුවමනා විය. එයට හේතු වූයේ ඒ වනවිට කරළියට පැමිණ තිබූ බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා වඩාත් ශක්තිමත් ආණ්ඩුවක් ඇති කරගැනීමට ඇයට වුවමනා වීමය.

මෙම බ්‍රෙක්සිට් ක්‍රියාවලියේදී බ්‍රිතාන්‍යයට වඩාත් වාසිදායක ගිවිසුම් ආදිය යුරෝපා සංගමය සමග ඇති කරගැනීමට නම් ඒ වෙනුවෙන් කේවල් කිරීම සඳහා  බ්‍රිතාන්‍යය තුළ ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතු බව තෙරේසා මේ ගේ විශ්වාසය විය. නමුත් ඇගේ ඉලක්කය වැරදී ගියේය. වැඩි බලයක් දිනා ගැනීම සඳහා ඇය කැඳ වූ හදිසි මැතිවරණයෙන් සිදු වූයේ කලින් තිබූ බලයවත් ඇගේ පක්ෂයට නොලැබි යාමයි. පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් දිනාගන්නට කොන්සර්වේටිව් පක්ෂය අසමත් වූ අතර ඇය ආණ්ඩුවක් පිහිටුවූයේ තවත් සුළු පක්ෂයක් සමග සන්ධානගත වෙමිනි. මෙම සිදුවීම තෙරේසා මේ ගේ නායකත්වය පිළිබඳ විශාල අවිශ්වාසයක් සහ අප්‍රසාදයක් ජනිත කළ සිද්ධියක් බවට පත් විය.

එමෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කටයුත්තේ දී යුරෝපා සංගමය සමග ඇති කරගන්නා ගිවිසුම් සම්බන්ධයෙන් ඇය දරණ අදහස් සහ පක්ෂයේ ඇතැම් ප්‍රබලයින් දරණ අදහස් අතරද ගැටුම් ඇතිවෙමින් තිබේ. මේ නිසා
පක්ෂය තුළ යම් යම් බෙදීම් උත්සන්න වෙමින් ඇති බවටද තොරතුරු පලවෙයි. මේ අතර රටෙහි සාමාන්‍ය ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට ඇගේ රජය අසමත් වෙමින් ඇති බවට විවේචන එල්ල වෙමින් තිබිම තවත් ගැටලුවකි. පසුගිය දා ලන්ඩනය ආසන්නයේ තට්ටු නිවාස සංකීර්ණයක් ගිනිගැනීමෙන් ඇති වූ බිහිසුණු ඛිෙදවාචකයද සාමාන්‍ය ජනතාව තුළ පාලකයින් පිළිබඳ ඇති විරෝධය ඉහළ නංවන්නක් බවට පත් විය.  මේ ආදී කාරණා රැසක් හේතුවෙන් තෙරේසා මේගේ නායකත්වය සහ ඇගේ ආණ්ඩුව කිසියම් අර්බුදයකට ගොදුරු වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වන අතර ඇය වෙනුවට වඩාත් ශක්තිමත් නායකයෙකු/නායිකාවක පක්ෂයට අවශ්‍ය බවට අදහස් මතුවෙමින් ඇති ආකාරයද දැකිය හැකි වෙයි. තෙරේසා මේ ගේ ආණ්ඩුවේ විදේශ ‍ලේකම් ධුරය දරණ බොරිස් ජොන්සන් වැනි අය පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය වෙත ඇස ගසාගෙන සිටින බවටද මේ අතර යම් යම් ඉඟි පළවෙන්නට පටන් ගෙන ඇත. මෙම පසුබිම තුළ පසුගියදා මැන්චෙස්ටර් හි පැවති පක්ෂයේ සම්මේලනය තෙරේසා මේ ට ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකිණි. ඇය එහිදී තමාගේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි කරමින් ඇගේ ස්ථාවරය ශක්තිමත් කරගන්නට අදහස් කරගෙන සිටි බව සඳහන් විය. නමුත්  එහිදී කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් ආගන්තුකයෙකු කඩා වැදීම නිසාත්, කැස්සකට ගොදුරු වීම නිසාත් එම අවස්ථාවද අවුල්ව ගිය බව බොහෝ නිරීක්ෂකයින් පෙන්වා දී තිබිණි. මෙම සිදුවීම ඇගේ කඩා වැටීමෙහි තවත් අවස්ථාවක් සනිටුහන් කරන්නක් ලෙස සලකන බොහෝ දෙනෙකු සිටින බවද ඒ පිළිබඳ ලියැවී තිබූ දෑ අනුව සිතාගත හැකිය.

තෙරේසා මේ අගමැතිනියත්, ඇගේ කොන්සර්වේටිව් පක්ෂයත් බිය වද්දන තවත් කාරණයක් මේ වනවිට කරළියට එමින් තිබේ. එනම් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ගේ ජනප්‍රියත්වය වේගයෙන් ඉහළ යමින් තිබිමයි. සමාජවාදී අදහස් දරන්නෙකු ලෙස සැලකෙන කෝබින් විශේෂයෙන් එරට තරුණ පරපුර තුළ  ඉතා ශක්තිමත් පදනමක් සකස් කර ගනිමින් සිටින බව පෙනේ. මේ වනවිට කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය කොන්සර්වේටිව් පක්ෂයේ ජනප්‍රියත්වයට වඩා වැඩි බව මෑතක පවත්වා ඇති ජනමත සමීක්ෂණවලින්ද සනාථ වී තිබේ. යම් විදියකින් කොන්සර්වේටිව් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව ද බිඳ වැටී නැවත හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් කම්කරු පක්ෂය ජය ලැබිමටත්, කෝබින් අගමැති ධුරයට පත්වීමටත් බොහෝ දුරට ඉඩ ඇති බව පෙනී යයි. කෝබින්ගේ මෙම නැගීම එක්තරා අතකින් තෙරේසා මේ ට පක්ෂය තුළ කිසියම් ආරක්ෂාවක් ලබා දෙන කාරණයක් බවටද පත්ව තිබේ. මන්ද යත් ඇය නායකත්වයෙන් ඉවත් කළහොත් ඉන්පසු පක්ෂය තුළ ඇති විය හැකි අරාජිකත්වය සහ නායකත්ව තරඟය ප්‍රතිවාදී කම්කරු පක්ෂයට තවදුරටත් වාසිදායක පසුබිමක් ඇති කරනු ඇතැයි යන බියක් කොන්සර්වේටිව් පාක්ෂිකයින් තුළ ඇති බව පෙනී යන නිසාය. මේ නිසා අඩුපාඩු සහ දුර්වලතා මධ්‍යයේ වුවද තවදුරටත් තෙරේසා මේ නායකත්වයේ තබා ගැනීමට කොන්සර්වේටිව් පක්ෂය තුළ  පෙළඹීමක් ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් දැනට පවතින අවිනිශ්චිත දේශපාලන, ආර්ථික තත්ත්වය තුළ ඉදිරියේදී සිදුවිය හැකි කිසිවක් පිළිබඳව නිශ්චිතව අනාවැකි කීමට පිළිවන්කමක් නැති බවද ඉතා පැහැදිලි කාරණයක් වී තිබේ.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.