Coss Ear2
lakbima.lk
COSS Ear 1

අති ප්‍රබල භූමිකම්පාවකින් මෙක්සිකෝවට දැවැන්ත විනාශයක්

රිච්ටර් පරිමාණයේ 7.1ක අගයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවක් පසුගිය 19 වෙනි දින මෙක්සිකෝව දෙදරුම් කවමින් පැතිර ගිය අතර මෙම සටහන ලියන අවස්ථාව වන විට පළ වී තිබූ වාර්තා අනුව සිය ගණනක් මරණයට පත්ව තිබිණි. මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යනු ඇති බවද, සමහර විට එය දහස් ගණනක් විය හැකි බවද ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. රිච්ටර් පරිමාණයේ 7 ට වැඩි අගයකින් යුතු භූමිකම්පා සැළකෙන්නේ ප්‍රබලම ගණයේ භූමිකම්පා හැටියටය.

අගනුවර වන මෙක්සිකෝ නගරයේ පමණක් ගොඩනැගිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් දැඩි ලෙස හානියට පත්ව හෝ කඩා වැටී හෝ ඇති බව සඳහන් වෙයි. මේ අතර තට්ටු ගණන් උස මහල් නිවාස සංකීර්ණද පවතින බව පැවැසෙන අතර මේවායේ සුන්බුන් යට විශාල පිරිසක් සිරවී සිටින බව සඳහන්ය. තට්ටු හයක මහල් නිවාස ගොඩනැගිල්ලක්ද කඩා වැටුණු ගොඩනැගිලි අතර ඇති බව වාර්තා වෙයි. ‘මගේ බිරිඳත් මේ ගොඩනැගිල්‍ලේ  සිටියා. මට ඇය ගැන කිසි ආරංචියක් දැනගන්න විදියක් නැහැ. ඇය දුරකථනයට පිළිතුරු දෙන්නෙත් නැහැ. දැන් මෙහෙ බලධාරීන් කියනවා නගරයේ ගෑස් කාන්දුවක් තියෙන නිසා ජංගම දුරකථනත් ඕෆ් කරගන්න කියලා’ එක් තරුණ සැමියෙකු හඬමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ ඒ ආකාරයෙනි. කුඩා ළමුන් පවා සිය ගණනක් මෙම සුන්බුන් අතර සිර වී සිටිනු ඇති බැව් ප්‍රකාශයට පත්ව තිබේ. කඩා වැටුණු ගොඩනැගිලි අතර පාසල් රාශියක් ඇත බව මාධ්‍ය අනාවරණය කර තිබුණි. පාසල් ගොස් සිටි සිය දරුවන් ගැන ආරංචි නොමැති වීමෙන් මව්පියන් දැඩි කම්පනයට පත්ව හඬා වැටෙමින් සිටින අයුරු දැකිය හැකි විය.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ  ජනතාව භූමිකම්පාවලින් බේරීම පිළිබඳ අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී වීම තවත් විශේත්වයකි. මෙයට වසර 32කට පෙර, 1985 දීද මේ ආකාරයෙන්ම සිදු වූ අති ප්‍රබල භූමිකම්පාවකින් මෙක්සිකෝවේ  10,000කට ආසන්න පිරිසක් මිය ගිය අතර එම වසරේ පටන් සෑම වසරකම සැප්තැම්බර් 19 වෙනි දින එය සමරමින් මේ ආකාරයේ අභ්‍යාස පැවැත්වීම සිදු කෙරේ. මෙවර භූමිකම්පාව සිදුව ඇත්තේ විශාල පිරිසක් මෙම අභ්‍යාසවල නිරත වෙමින් සිටියදීය.

භූමිකම්පාව නිසා ගෑස් නළ පුපුරා යාමෙන් ගෑස් කාන්දු සිදුවීමද බරපතළ අනතුරක් ඇති කර තිබේ. මේ නිසා දුම්බිම, ජංගම දුරකථන භාවිත කිරීම වැනි කටයුතුවලටද සීමා පනවා ඇත. කෙසේ නමුත්, මේ වනවිටත් ඇතැම් ස්ථානවල ගිනිගැනීම් වාර්තා වී ඇතැයි සඳහන් වෙයි.

භූමිකම්පාවෙන් වඩාත්ම හානි සිදුව ඇත්තේ මෙක්සිකෝ, මොරෙලොස්, පුවබේලා යන ප්‍රාන්තවලටය. මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ පුවබේලා ප්‍රදේශයේ සිට කි.මී. 50ක් පමණ ‍පොළොව යට බව භූ විද්‍යා අංශ ප්‍රකාශ කර තිබේ. සුළු භූ චලනයක් ලෙස ආරම්භ වූ මෙය කෙටි වේලාවක් තුළ දරුණු භූමිකම්පාවක් බවට පත් වූ බවත්, සැනෙකින් නිවාස, ගොඩනැගිලි කඩා වැටෙන්නට පටන් ගත් බවත්, මහත් භීතියට පත් ජනයා විලාප තියමින් සිය වාසස්ථානවලින් පිටතට දිව එන්නට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටුවන් විස්තර කර ඇත.

භූමිකම්පා අනතුරු අඟවන සංඥාද මෙම අවස්ථාවේ නිකුත් වී ඇති නමුත් බොහෝ දෙනෙකු සිතා ඇත්තේ එය ඒ වනවිට සිදු කෙරෙමින් තිබූ අභ්‍යාසයේම කොටසක් කියාය. භූමිකම්පාවට හසු වූ ප්‍රධාන නරගයක් වන මෙක්සිකෝ නගරය මිලියන 20 කට ආසන්න ජනතාවක් වාසය කරන නගරයකි.
මරණ සංඛ්‍යාව තවත් බොහෝ ගණනකින් වැඩි වනු ඇති බවට  ඇතැම් පාර්ශ්ව අනුමාන කරන්නේ මේ නිසාය.

මෙක්සිකෝව පිහිටා ඇත්තේ ‍පොළොව අභ්‍යන්තරයේ ප්‍රධාන භූ තැටි (Tectonic plates) තුනක් හමුවන සන්ධිස්ථානයකය. එනම් උතුරු ඇමෙරිකානු භූ තැටිය, කොකෝස් භූ තැටිය සහ පැසිෆික් භූ තැටියයි. මෙම භූ තැටිවල චලනයන් සහ ගැටීම් සිදුවන සෑම අවස්ථාවකම පාහේ මෙක්සිකෝවට බලපාන භූ චලන සහ භූමිකම්පා ඇති වන අතර මෙම කලාපය සැලකෙන්නේ ලෝකයේ භූමිකම්පා බහුලම කලාපයක් වශයෙනි.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.