Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවුන් සාන් සූ කී ගේ නොබෙල් තෑග්ග ආපසු ගන්නැයි කියති

කලක් ආසියානු දේශපාලන භූමියේ මහා වීරවරියක ලෙස ගෞරවයට පාත්‍ර වූ  මියන්මාරයේ (බුරුමයේ) අවුන් සාන් සූ කී ගේ එම කීර්තිය මේ වනවිට කමෛන් අර්බුදයට ලක් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. ඇය ප්‍රජාතන්ත්‍රවාදයේ මහා නියෝජිතවරියක ලෙස සැලකූ පාර්ශ්වම මේ වනවිට ඇයට එරෙහිව බරපතළ විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ. 
සූ කී මෙම තත්ත්වයට පත්වීමට පසුබිම සැපයුවේ මියන්මාරයේ එක් ප්‍රාන්තයක් වන රැකයින් නැමැති ප්‍රාන්තයේ වෙසෙන, සුළු ජාතික ජන පිරිසක් ලෙස සැලකෙන රොහින්ග්යා ජනතාව මුහුණ දී සිටින අර්බුදයයි. රොහින්ග්යා ජනතාව මුස්ලිම් ජාතිකයෝ වෙති. මියන්මාරයේ බහුතරයක් සිටින්නේ බෞද්ධයන් බව රහසක් නොවේ. මෙම පසුබිම තුළ රැකයින් ප්‍රාන්තයේ වෙසෙන මුස්ලිම් ජාතික රොහින්ග්යා ජනතාව එම ප්‍රාන්තයෙන් පලවා හැරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වෙයි. මේ පිටුපස එරට ආරක්ෂක අංශද, අන්තවාදී බෞද්ධ බලවේග ද සිටින බව බොහෝ පාර්ශ්වවල අදහස වී තිබේ. මියන්මාරයේ වැඩි දෙනෙකු සිතන්නේ රොහින්ග්යා ජනතාව යනු මියන්මාරයට අයිති නැති පිරිසක් කියාය. ඔවුන්  යාබදව පිහිටි බංග්ලාදේශයේ සිට කලකට පෙර මියන්මාරයට පැමිණ  නීති විරෝධීව පදිංචි වූවන් බව බහුතරයේ අදහසයි. ඔවුන් නැවත බංග්ලාදේශයට පලවා හරින්නට කටයුතු කරන්නේ ඒ නිසාය.
මෙම තත්ත්වයට එරෙහිව රොහින්ග්යා ජනතාව අතරින් පැන නැගුණු සටන්කාමී කණ්ඩායම් ද දැන් කාලයක සිටම එම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙයි. මෙම සටන්කාමීන් සහ මියන්මාර ආරක්ෂක අංශ අතර නිතර ගැටුම් ඇති වන අතර එහිදී  සාමාන්‍ය වැසියන්ද දරුණු පීඩාවන්ට ලක් වන බව වාර්තා වේ. ඝාතනය කිරීම්, ස්ත්‍රී දූෂණ ආදිය සම්බන්ධයෙන්ද විශාල වශයෙන් චෝදනා එල්ල වනු දක්නට ලැබේ.
මෙම ගැටුම් පිළිිබඳව අලුත්ම සිද්ධිය වාර්තා වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා ය. එදින රොහින්ග්යා  සටන්කාමීන්  විසින් ‍පොලිස් මුර‍පොළ කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ඒ සමගම ආරක්ෂක අංශ පෙරලා පහර දීම ආරම්භ කළේය.  මෙම ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීමත් සමග අසරණ වූ සාමාන්‍ය වැසියන්  විශාල වශයෙන් රැකයින් ප්‍රාන්තයෙන් පිටව බංග්ලාදේශය වෙත සංක්‍රමණය වීමට පටන් ගෙන තිබේ. පසුගිය දිනවල දවසට විසි තිස් දහස බැගින්  ජනතාව මේ ආකාරයෙන් සිය ගම්බිම් අතහැර යන බව වාර්තා වෙයි. අගෝස්තු 25 වෙනි දින සිට මේ වනවිට ලක්ෂ එකහමාරක පමණ පිරිසක් බංග්ලාදේශය වෙත සංක්‍රමණය වී ඇතැයි පැවසේ. ආරක්ෂක අංශ  සටන්කාමීන්ට පහර දෙන අතරම ඒ මුවාවෙන් සාමාන්‍ය වැසියන්ද ඉලක්ක කරන බවටත්, ඔවුන්ගේ ගෙවල් දොරවල් පවා ගිනි තබන බවටත් ඇතැම් අංශවලින් චෝදනා එල්ල වෙයි. නමුත් ආරක්ෂක අංශ කියන්නේ සටන්කාමීන්ම ගෙවල්වලට ගිනි තබා එහි වරද ආරක්ෂක අංශ මත පැටවීමට ක්‍රියාකරමින් සිටින බවයි.
මේ අතර මෙම ප්‍රාන්තයේ බෞද්ධ ජනතාවද ගැටලුවලට මුහුණ දී සිටින බව පැවසේ. ඒ රොහින්ග්යා මුස්ලිම් සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙනි. ඔවුන්ගෙන් සමහරුන්ද බංග්ලාදේශයට පලායමින් සිටින බව සඳහන් වේ.
මෙම ගැටුම් හේතුවෙන් අහිංසක වැසියන් මුහුණ දෙමින් සිටින පීඩාව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයකට ලක්ව ඇති අතර අවුන් සාන් සූකී සම්බන්ධයෙන්ද විවේචන එල්ල වීමට පටන් ගෙන ඇත්තේ ඒ නිසාය. මෙම අර්බුදය විසඳීමට ඇය ප්‍රමාණවත් තරමින් මැදිහත් නොවන්නේය යන කාරණය මුල් කරගනිමිනි, මෙම චෝදනා එල්ල වන්නේ. 
මියන්මාරයේ සිට පලා එන සරණාගතයන් වෙනුවෙන් බංග්ලාදේශයේ කඳවුරු පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ. නමුත් පැමිණෙන සරණාගතයන් ගණන දිනෙන් දින වැඩි වීමත් සමග දැන් එම කඳවුරුද පිරී ඉතිරී ගොස් ඇති බවත්, අනාථ ජනයා අව්වෙන්, වැස්සෙන් බැටකමින් පාරවල්වල පවා නිදාගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන්ම ඔවුන් ආහාර පාන හිඟකමෙන්ද පීඩාවට පත්ව ඇති බව සඳහන් වෙයි. 
රෝහින්ග්යා ජනතාව මුහුණ දී සිටින මෙම ඛිෙදවාචකය විශේෂයෙන් ආසියාවේ මුස්ලිම් රටවල දැඩි අවධානයට යොමුව ඇති බව පෙනේ. ඉන්දුනීසියාව, මැ‍ලේසියාව, පාකිස්තානය, මාලදිවයින වැනි රටවල් මියන්මාරයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය නොසතුට ප්‍රකාශ කර ඇති අතර ඉන්දුනීසියාව තුළ ඊට එරෙහිව විරෝධතා පවා පැවැත්වෙමින් ඇත. මාල දිවයින මේ වනවිට මියන්මාරය සමග  වෙළෙඳ සබඳතා පවා අත්හැර දමා තිබේ. තුර්කිය වැනි රටවලින්ද යම් යම් විරෝධතා මතු වන්නට පටන් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. කිර්ගිස්තානය සහ මියන්මාරය අතර පැවැත්වීමට නියමිතව තිබූ, ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ පූර්ව වටයක තරගයක්ද කල්දමා ඇත. ඒ විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වනු ඇතැයි යන සැකසංකා නිසාය.
අවුන් සාන් සූකි මියන්මාරයේ ජනාධිපතිනිය නොවුණද එහි අප්‍රකාශිත නායිකාව ලෙස පිළිගැනෙන්නේ ඇයයි. (ඇයට ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි වී ඇත්තේ එරට ව්‍යවස්ථාවේ පවතින වගන්තියක් නිසාය.) මේ වනවිට ඇය අගමැති ධුරයට බෙහෙවින් සමාන ධුරයක් දරමින් සිටියි. මේ නිසා රොහින්ග්යා ජනතාව මුහුණ දී සිටින  අර්බුදය සම්බන්ධයෙන් කාගේත් ඇඟිල්ල දිගු වන්නේ ඇය දෙසටය. මෙම අර්බුදය විසඳා සාමාන්‍ය ජනයාට එල්ල වී ඇති පීඩාවන්ගෙන් ඔවුන් ගලවා ගැනීම පිණිස ඇය පියවර නොගන්නා බවට දැන් කලෙක සිටම ජාත්‍යන්තරයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ අතර සූකී ට මෙයට වසර 26කට පෙර, එනම් 1991 වසරේ පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබා ගත යුතුය යනුවෙන්ද හඬක් නැගෙන්නට පටන් ගෙන තිබේ. ඒ රොහින්ග්යා ජනතාවගේ ඛිෙදවාචකය විසඳීමට පියවරක් නොගන්නා ඇය එවැනි  සම්මානයකට සුදුසු නොවන බව කියමිනි. ඒ අතර නොබෙල් සම්මානලාභීන් කිහිපදෙනෙකු විසින් අත්සන් කරන ලද විවෘත ලිපියක්ද පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් කෙරුණි. මියන්මාරයේ විශාල ජන සංහාරයක් සිදු විය හැකි බවට ඔවුන් ඒ මගින් අනතුරු අඟවා තිබිණි. මෙයට අත්සන් තැබූවන් අතර ඩෙස්මන්ඩ් ටුටූ, මලාලා යූසෆ්සායි වැනි අයද වූහ. 
මෙම ගැටලුවේදී අවුන් සාන් සූ කී ද විශාල පීඩනයකට මුහුණ දී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. රොහින්ග්යා ජනතාව මියන්මාරයට අයත් නොවන, බංග්ලාදේශයෙන් නීති විරෝධී ලෙස පැමිණ සිටින පිරිසක් බව රටේ බහුතරයක් පවසද්දී සහ එරට ඉතාම බලවත් පාර්ශ්වයක් වන හමුදාව ද එම අදහස අනුමත කරන ආකාරයෙන් කටයුතු කරද්දී සූ කී කිසියම් දුරකට අසරණ වන බවක්ද පෙනී යයි. රටේ බහුතරයට විරුද්ධව යමින් රොහින්ග්යාවරුන් වෙනුවෙන් පෙනී සිටින්නට ගියහොත් තමාගේ දේශපාලන අනාගතය මුහුණ දිය හැකි අනතුර ගැන ඇගේ සිතේ දෙගිඩියාවක් තිබෙනවා වන්නට පිළිවන. කෙසේ හෝ වේවා, මෙම පසුබිම තුළ ඉදිරියේදී ඇය මෙම අර්බුදයට කවරාකාරයෙන් විසඳුමක් සොයනු ඇත්ද යන්න තවමත් පැහැදිලිව සිතාගත නොහැකි කාරණයක් වී තිබේ.
 
නිහාල් පීරිස්
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.