Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහතීර්ගේ ජයග්‍රහණයෙන් පසු හිටපු අගමැතිට වැඩ වරදින ලකුණු

2003 වසරේ අගමැති ධුරයෙන් සමුගැනීමෙන් වසර 15 කට පසු නැවතත් මැ‍ලේසියාවේ බලය ඇල්ලීමට සමත් වූ මහතීර් මොහොමඩ් මේ දිනවල ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පුවත් මවන්නෙකි. මේ වනවිට මහතීර්ගේ වයස අවුරුදු 92කි. ලොව වියපත්ම රාජ්‍ය නායකයා වන්නේ ද ඔහුයි. ඔහු නායකත්වය දුන් පකතන් හරපන්  (අපේක්ෂාවේ සන්ධානය) විසින් මෙවර මැතිවරණයේදී පරාජය කරන ලද්දේ මැ‍ලේසියාව නිදහස දිනාගත් 1957 වසරේ පටන්ම  වසර 60 කට ආසන්න කාලයක් එරට පාලනය කළ ප්‍රබල බරිසන් නැෂනල් (ජාතික පෙරමුණ) නැමැති සන්ධානයයි. මේ නිසා එක රැයෙන් මහතීර් එරට තුළ වීරයෙකු බවට පත්ව තිබේ. මහතීර්ට ජය අත් කරදුන් මැ‍ලේසියානු මහා මැතිවරණය පැවැත්වුණේ පසුගිය 9 වෙනිදා ය.
පකතන් හරපන් සන්ධානය බලයට පත්වීමත් සමග එතෙක් මැ‍ලේසියාවේ අගමැති ධුරය දැරූ නජීබ් රසාක්ගේ අනාගතය අඳුරු වන ලකුණු පහළ වී තිබේ. ඔහු මේ වනවිට විශාල වශයෙන් වංචා දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින චරිතයකි. ඔහුගේ මැතිවරණ පරාජයට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ද මෙම චෝදනා නිසා රට තුළ ඇති වූ අප්‍රසාදයයි. මේ වනවිට ඔහු මැ‍ලේසියාවෙන් පිටවීම වැළැක්වීම සඳහා ද පියවර ගෙන තිබේ. ඉදිරියේදී රසාක් ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු වඩාත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙයි.
ඔහු සම්බන්ධයෙන් පවතින ලොකුම චෝදනාවක් වන්නේ එරට රජයට අයත් ආයෝජන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට ආසන්න මුදලක් ඔහුගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරගෙන ඇතැයි යන්නයි. පසුගිය කාලයේ සිදු කෙරුණු  වියදම් අධික සාප්පු සවාරි ගැන ද නිතර කතාබහට ලක් වෙයි. කෙසේ නමුත් රසාක් ඉහත කී දූෂණ චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබේ. 
මේ සම්බන්ධයෙන් මේ වනවිට  ජාත්‍යන්තර විමර්ශනයක් පවා පැවැත්වෙමින් ඇති නමුත් රසාක් බලයේ සිටි කාලයේ මෙම විමර්ශන කටයුතු සඳහා  යම් යම් බාධාවන් එල්ල වූ බවට ද මේ වනවිට චෝදනා ඉදිරිපත් වෙමින් ඇත. ඔහුට අගමැති ධුරය අහිමිවීමෙන් පසු මේ සම්බන්ධ විවිධ තොරතුරු අනාවරණය වෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. ඔහු වහාම ඔහුගේ සම්පූර්ණ වත්කම් පිළිබඳ ප්‍රකාශයක් කළ යුතු බවටද මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.  රසාක්ගේ හිතවතුන් ලෙස සැලකෙන බොහෝ දෙනෙකු ද මෙම වංචාවන්ට සම්බන්ධ බව සඳහන් වෙයි. ඒ අනුව ඉහත කී රජයේ සමාගමෙන්  වංචා කරන ලද සමස්ත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න බවටද තොරතුරු පළවී තිබේ. කෙසේ හෝ වේවා තමුන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්‍ෂේප කරන රසාක් පවසන්නේ මෙය තමුන්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි. කෙසේ වෙතත් නව අගමැති මහතීර් මොහොමඩ් පසුගිය දා පවසා තිබුණේ ඉහත කී චෝදනා පිළිබඳ විමර්ශන ඉක්මන් කළ යුතු බව සහ රසාක් වරදකරු වුවහොත් නිසි දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් මැතිවරණ පරාජයෙන් පසු හිටපු අගමැතිවරයා සිය බිරිඳ ද සමග මැ‍ලේසියාවෙන් පිටව ඉන්දුනීසියාව බලා යාමට සූදානම් වූ බව පැවැසුණු අතර ඒ බව දැනගත් මැ‍ලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහුට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීමට නොහැකි වන ආකාරයෙන් ඔවුන් අසාදු ‍ලේඛනගත කර තිබේ. මේ අතර රසාක් ඔහු මතෛක් නායකත්වය දරමින් සිටි එක්සත් මැ‍ලේවරුන්ගේ ජාතික සංවිධානයේ නායකකමෙන් මෙන්ම එම පක්ෂය ඇතුළත් වූ ඉහත කී ජාතික පෙරමුණ නැමැති සන්ධානයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වී ඇත. 
රසාක්ට එරෙහිව කෙරෙන ජාත්‍යන්තර විමර්ශනවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ඇමෙරිකාව සහ චීනය අතර පවතින බල අරගල ද මැ‍ලේසියානු දේශපාලනය තුළ එහා මෙහා යන බව මෙහිදී අමතක කළ හැක්කක් නොවේ. රසාක්ගේ කාලය තුළ මැ‍ලේසියාව සහ චීනය අතර සබඳතා වැඩි දියුණු වූ බවද, එරට තුළ චීන ආයෝජන වැඩි වූ බවද ප්‍රසිද්ධ කාරණයකි. මේ වනවිට මැ‍ලේසියාව තුළ ඉදිරියට යමින් ඇති දේශපාලන සිදුවීම් පිළිබඳ සලකා බැලිය යුත්තේ මෙම පසුබිම ද සැලකිල්ලට ගනිමිනි.
මේ අතර අලුතෙන් අගමැති ධුරයට පත් වූ මහතීර් මොහොමඩ් ද කිසියම් අභියෝගයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙයි. ඒ ඔහු නායකත්වය දුන් පකතන් හරපන් සන්ධානයට අයත් පක්ෂ අතර ඇති වී තිබෙන යම් යම් ආතතීන් නිසාය. විශේෂයෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට අදාළව යම් යම් ගැටුම් ඇති වී තිබෙන බව සඳහන් වේ.
මැතිවරණයෙන් ජයගත් ඉහත කී සන්ධානය සෑදී ඇත්තේ ප්‍රධාන පක්ෂ කිහිපයක එකතුවෙනි. මහතීර් එහි නායකත්වයට පත් වුව ද මෙම සන්ධානයේ වඩාත්ම ජනප්‍රිය පක්ෂය ලෙස සැලකෙන්නේ ඔහුගේ එක්සත් මැ‍ලේසියානු ස්වදේශීය පක්ෂය නොවේ. පසුගිය කාලය පුරාම නජිබ් රසාක්ගේ පාලනයට එරෙහිව විශාල වැඩ කොටසක් කළ, හිටපු විපක්ෂ නායකයෙකු වන අන්වර් ඉබ්‍රහිම් ගේ  ‘සාධාරණත්වය පිළිබඳ මහජන පක්ෂය’ මෙම සන්ධානයේ සිටින ජනප්‍රියම පක්ෂයයි. අන්වර් ඉබ්‍රහිම් මේ වනවිට සිටින්නේ සිර දඬුවම් විඳිමිනි. එය ද ඔහුට එරෙහිව කළ දේශපාලන පළිගැනීමක් ලෙසින් ද සැලකේ. මහතීර් ද කලින් සිටියේ නජීබ් රසාක් ගේ පක්ෂයේයි. ඔහු විපක්ෂ දේශපාලනයට එක් වූයේ 2016 වසරේ එම පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුවය. මහතීර්ගේ මෙම ඉවත් වීමට බලපෑවේද රසාක්ගේ දූෂිත බව පිළිබඳ චෝදනායි.
මහතීර් විපක්ෂ දේශපාලනයට එක් වන කාලය වනවිටත් අන්වර් ඉබ්‍රහිම් විපක්ෂය තුළ ප්‍රබල නායකයෙකු බවට පත්ව සිටියේය. මෙවර මැතිවරණයෙන් ජයගත් සන්ධානය තුළ වැඩිම ආසන ගණනක් දිනාගත් පක්ෂය වන්නේ ද ඔහුගේ පක්ෂයයි. (මේ වනවිට එහි සභාපතිත්වය දරන්නේ අන්වර්ගේ බිරිඳ වන වැන් අසිසා වැන් ඉස්මායිල් ය.) කෙසේ වෙතත් මහතීර් කැබිනට් සාමාජිකයින් නම් කිරීමේදී සිය පක්ෂයට යම් අසාධාරණයක් වී ඇතැයි යන්න එම පක්ෂයේ ඇතැම් ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී තිබේ. යම් අර්බුදයක් පැන නැගී ඇත්තේ එබැවිනි. මේ සම්බන්ධයෙන් මහතීර් සහ අන්වර් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත්, ඉක්මනින් මෙම ගැටලු විසඳාගෙන ශක්තිමත් ආණ්ඩුවක් සමග ඉදිරියට යාම ඔවුන්ගේ අභිප්‍රාය බවත් සඳහන් වෙයි.  අන්වර් ඉබ්‍රහිම් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම ද මහතීර්ගේ එක් ‍පොරොන්දුවක් වූ අතර මෙම සතිය තුළ ඒ සඳහා පියවර ගැනෙනු ඇති බවද මැ‍ලේසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
නිහාල් පීරිස් 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.