Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇමෙරිකාව සහ රුසියාව අතර යුද ගැටුමක් ගැන බිය පළවෙයි

 


ඇමෙරිකාව සහ රුසියාව අතර වැඩිකල් නොගොස් යුද ගැටුමක් ඇති වේවිද? මෙය මේ දවස්වල ජාත්‍යන්තර වශයෙන් නිතර අවධානයට ලක්වන ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. දින කිහිපයකට පෙර සිරියානු යුද්ධය පසුබිම් කරගෙන සිදු වූ සිදුවීමක් නිසා  නැවත වරක් මෙම දෙරට අතර උණුසුම් ආතතියක් වර්ධනය වෙමින් ඇත. සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් කරන කැරලිකාර කණ්ඩායම්වල පාලනයට නතුව ඇති ප්‍රදේශයක් නිදහස් කර ගැනීම සඳහා කෙරෙන මෙහෙයුමකදී සිරියානු හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඇති බවටත්, එයින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් තවත් බොහෝ දෙනෙකු රෝගාතුරව ඇති බවටත් නැගෙන චෝදනාව මෙම තත්ත්වයට බලපා තිබේ.
මෙම අලුත් සිදුවීම ගැන සලකා බැලීමට පෙර මෙයට අදාළ පසුබිම පිළිබඳ සැකෙවින් විමසා බැලීම වැදගත් වෙයි. සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීම සඳහා දැන් වසර ගණනාවක සිට එරට කැරලිකාර කණ්ඩායම් කිහිපයක් සටන් කරමින් සිටියි. මෙම සමහර  කණ්ඩායම්වලට ඇමෙරිකාවේ සහය ලැබෙන බවද සඳහන් වේ. ජනාධිපති බෂාර් අල් අසාද් ඇමෙරිකානු විරෝධියෙකු ලෙසත්, ඇමෙරිකාවේ විරුද්ධවාදීන් ලෙස සැලකෙන රුසියාව, ඉරානය වැනි පාර්ශ්ව වෙත වඩාත් සමීප නායකයෙකු ලෙසත් පිළිගැනීම නිසා ඔහු බලයෙන් ඉවත් කර ගැනීමේ වුවමනාවක් ඇමෙරිකාවටද ඇති බව පෙනේ.  මේ අතර ඉහත කී කැරලිකරුවන්ට එරෙහිව බෂාර් අල් අසාද් ගෙන යන සටනේදී ඔහුට රුසියාවෙන් සහ ඉරානයෙන් විශාල සහයෝගයක් ලැබෙයි. සිරියාව, රුසියාව, ඉරානය මේ වනවිට ක්‍රියා කරමින් සිටින්නේ බටහිර විරෝධී කඳවුරක් වශයෙනි.
කෙසේ හෝ වේවා මෙම බල අරගලය තුළ මේ වනවිට සිරියානු ජනාධිපතිවරයා සිටින්නේ තරමක් ජයග්‍රාහී තත්ත්වයක බව පැවැසිය හැකිය. සිය මිතුරු රටවලද සහය ඇතිව කැරලිකාර කණ්ඩායම් රැසක් බොහෝ දුරට මර්දනය කිරීමට ඔහු සමත්ව ඇති බව පෙනේ. නමුත් තවමත් සිරියාවේ ප්‍රදේශ කිහිපයක්  කැරලිකාර කණ්ඩායම්වල පාලනය යටතේ පවතින අතර ඒවාද මුදාගැනීම සඳහා රජයේ හමුදා දැවැන්ත පරිමාණයෙන් මෙහෙයුම් දියත් කරමින් සිටියි. දැන් ටික කලෙක සිට  නැගෙනහිර ගූටා නමැති ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන එල්ල කරන ප්‍රහාරද එවැනි මෙහෙයුමකි. මෙම ප්‍රදේශවල සිවිල් වැසියන්ද විශාල වශයෙන් රැඳී සිටින නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ වී තිබේ. මෙම නැගෙනහිර ගූටා ප්‍රදේශයද කැරලිකාර කණ්ඩායම්වලට අහිමි වුවහොත් එය බෂාර් අල් අසාද්ටත්, රුසියානු සහ ඉරාන මිතුරන්ටත් ලොකු ජයග්‍රහණයක් වන බව රහසක් නොවේ.
මෙම ප්‍රදේශය තුළ පිහිටා ඇති ඩෝමා (ච්ධභථච) නමැති නගරය ඉලක්ක කර පසුගිය සෙනසුරාදා (07 දා) සිරියානු රජයේ හමුදා  බිහිසුණු රාසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඇති බවට චෝදනා එල්ල වන්නට වූයේ එහි මෙවැනි පසුබිමක් තිබියදීය. කිසියම් රසායනිකයක් අඩංගු වූ බෝම්බ ගුවනින් හෙළා ඇති බවට ඇතැම් පාර්ශ්ව සැක මතු කරන්නට විය. ඒවා විෂ වීමෙන් ඇතැමුන් මිය ගිය බවත්, කුඩා දරුවන්ද ඇතුළු තවත් විශාල පිරිසක් බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවත් වාර්තා විය. 40 දෙනෙකු පමණ මේ ආකාරයෙන් මියගොස් ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. ඇතැමුන් හුස්ම ගැනීමේ අපහසුතාවලට ගොදුරු ව ඇති බවද, සමහරුන් කටින් සෙම දමමින් වැටී සිටිනු දැකිය හැකි වූ බවද පැවැසිණි. මෙම තොරතුරු වාර්තා කරනු ලැබ තිබුණේ මෙම ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නිරතවන සේවකයන්, රජයට විරුද්ධ ඇතැම් ක්‍රියාකාරිකයන්, වෛද්‍ය සේවා සපයන කණ්ඩායම් ආදිය විසින් බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් සැබැවින්ම මෙවැනි රසායනික අවි ප්‍රහාරයක් සිදු වූවාද යන්න තවමත් නිශ්චිතව පැහැදිලි නැත. ඇතැම් පාර්ශ්ව පවසන්නේ සිරියානු හමුදා වෙතින් එල්ල වන ප්‍රහාර නතර කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන්  තෙරපුමක් ඇති කර ගැනීමට කැරලිකාර කණ්ඩායම් සහ ඔවුන්ට සහය දක්වන පිරිස් මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවයි. සිරියානු රජයද දරන්නේ මෙවැනි මතයකි. රුසියාව පවසන්නේ සැබැවින්ම මෙවැනි රසායනික ප්‍රහාරයක් දියත් වූවාද යන්න පිළිබඳව 'රසායනික අවි තහනම පිළිබඳ සංවිධානය'  වැනි සංවිධානයක් හරහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. රුසියානු හමුදා විශේෂඥයන් මෙම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණය කර තිබූ බවත්, රසායනික අවි ප්‍රහාරයක් පිළිබඳ සාක්ෂි හෝ ඔය කියන ආකාරයේ මළ සිරුරු හෝ රෝගීන් හෝ ඔවුන්ට සොයා ගන්නට හැකි වී නැති බවත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබේ. තමුන් රසායනික අවි ප්‍රහාරයකට ගොදුරු වූ බවක් පවසමින් රෝගීන් රෝහල්වලට නොපැමිණි බව වෛද්‍යවරුන් මෙම නිරීක්ෂකයන් සමග පවසා ඇති බවද රුසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබිණි. කෙසේ නමුත් ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරේ රටවල් කටයුතු කරන්නේ නිශ්චිතව මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ බව  විශ්වාස කරන ආකාරයෙනි. මේ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණේ මෙයට වගකිව යුත්තේ කවුරුන්දැයි සොයා බලා නිසි පියවර ගන්නා බවයි. ඛාන් ෂීකුන් (ම්ඩචද ඉඩඥඪඬඩභද) නැමැති ප්‍රදේශයකට එල්ල වූ මෙවැනිම රසායනික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙයට වසරකට පමණ පෙරද සිරියානු හමුදා වෙත චෝදනා එල්ල වූ අතර එම අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එයට ප්‍රතිචාරයක් වශයෙන් සිරියානු හමුදා කඳවුරක් වූ ෂේරත් ගුවන් හමුදා කඳවුර වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කළේය.
එවර රුසියානු පාර්ශ්වයෙන්  එයට හමුදාමය ප්‍රතිචාරයක් නොදැක්වුණත් මෙවර තත්ත්වය ඊට වෙනස් බව පෙනේ. රසායනික අවි ප්‍රහාර පිළිබඳ චෝදනා නගමින් ට්‍රම්ප් සිරියානු රජයේ හමුදා වෙත නැවත  ප්‍රහාර එල්ල කිරීමට පියවර ගතහොත් තමුන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට රුසියානු හමුදා අංශ පසුගිය දිනෙක අනතුරු අඟවා තිබිණි. රුසියාව පවසන්නේ තම හමුදාවලට සම්බන්ධ නිලධාරීන් ද සිරියාව තුළ සිටින නිසා ඇමෙරිකානු ප්‍රහාරයකින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වීමට ඉඩ දිය නොහැකි බවයි. එවැනි අවස්ථාවක, සිරියාව වෙත එල්ල වන මිසයිලවලට පමණක් නොව ඒවා එල්ල කරන ස්ථාන වෙත ද ප්‍රහාර එල්ල කරනු ඇති බව රුසියානු හමුදා ප්‍රධානීන් පවසා තිබිණි. සිරියාව අවට සාමාන්‍යයෙන් මෙවැනි මිසයිල මුදා හරින්නේ යුද නැව්, සබ්මැරීන ආදියෙහි සිට බව රහසක් නොවේ. මෙවර ඩෝමා නගරයේ සිදු වූ බව කියන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස යම් හෙයකින් ඇමෙරිකානු හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළහොත් රුසියාව ඉහත කී ආකාරයෙන්  පියවර ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආතතියක් ගොඩ නැගෙමින් තිබේ. එවැන්නක්  සිදු වුවහොත් එය මෙම සුපිරි බලවතුන් දෙදෙනා අතර ඉතා බැරෑරුම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙයට දශක කිහිපයකට පෙර ඇමෙරිකාව සහ රුසියාව අතර පැවැති සීතල යුද්ධ සමයෙන් පසු මේ රටවල් අතර මෙතරම් උණුසුම් ආතතියක් වර්ධනය වෙමින් ඇති ප්‍රථම අවස්ථාව මෙය බව ඇතැම් දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.
ඩෝමා නගරයේ රසායනික අවි ප්‍රහාරයක් සිදුව ඇත්නම් සහ එයට සිරියානු හමුදා වගකිව යුතු නම් ඇමෙරිකාව සිරියාවට එරෙහිව ප්‍රහාර දියත් කරනු ඇත්ද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබුණේ නැත. එවැනි ප්‍රහාරයක් දියත් වුණත් නැතත් සිරියානු යුද්ධය පසුබිම් කරගෙන මෙම දෙරට අතර ගොඩනැගෙමින් ඇති ගැටුම්කාරී වාතාවරණය දිනෙන් දින උත්සන්න වෙමින් ඇති බව නම් ස්ථිරවම පැවැසිය හැකිය.  ඉදිරියේදී කොයි මොහොතක හෝ එය හමුදා ගැටුමකට පරිවර්තනය වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් කුතුහලයක් සහ නොසන්සුන් බවක් බොහෝ පාර්ශ්ව තුළ පවතින බව පෙනී යයි.
මේ අතර පෙරේදා (10 දා) රසායනික අවි තහනම පිළිබඳ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඩෝමා හි රසායනික අවි ප්‍රහාරයක් සිදු වූවාද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා තම කණ්ඩායමක් එහි යැවීමට සූදානම් වන බවයි.


නිහාල් පීරිස්

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1087

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.