Coss Ear2
lakbima.lk
COSS Ear 1

තමිල්නාඩුවේ අයි.පී.එල් තරග එපා

දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි නළුවන් දෙපළක් වන කමල් හසන් සහ රජිනිකාන්ත් දේශපාලනයට පිවිසීම පසුගිය කාලයේ කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් විය. ඔවුන් විසින්ම පිහිටුවා ගන්නා ලද පක්ෂ දෙකකින් දේශපාලනයට පිවිසි මේ දෙදෙනා අතර ඉදිරියේදී ලොකු තරගයක් ඇති වනු ඇතැයිද බොහෝදෙනා අපේක්ෂා කරන අයුරු දැකිය හැකි විය. කෙසේ නමුත් මේ දිනවල තමිල්නාඩු ජනතාවගේ ජල ප්‍රශ්නයක් වෙනුවෙන් ප්‍රාන්තය පුරා උත්සන්න වෙමින් ඇති දැවැන්ත අරගලයකට මේ දෙදෙනා සියළු වෙනස්කම් පසෙක ලා එක්ව සිටින බව වාර්තා වෙයි. එමෙන්ම මේ වනවිට ආරම්භ වී ඇති  අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ තරග තමිල්නාඩුව තුළ නොපවත්වන ලෙස ද මොවුන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. 
තමිල්නාඩුව පුරා මෙම විරෝධතාව ආරම්භ වූයේ මෙම ප්‍රාන්තය හරහා ගලා යන කාවේරි නදියේ ජලය පිළිබඳ ගැටලුවක් මුල් කරගනිමිනි. මෙම ප්‍රාන්තයේ  ප්‍රධාන කර්මාන්තයක් වන ගොවිතැනට ජලය ලැබෙන  ප්‍රභවයක් වන්නේ කාවේරි නදියයි. නමුත් කාවේරි ජලයෙන් ගොවිතැන් කරන්නේ තමිල්නාඩුව පමණක් නොවේ. යාබද කර්ණාටක ප්‍රාන්තය ද එහි ජලය පාවිච්චි කරන තවත් ප්‍රාන්තයකි. කාවේරි ජලය තමිල්නාඩුවටත්, කර්ණාටකයටත් බෙදා දෙන්නේ කිසියම් අනුපාතයකට අනුව ය. කෙසේ වෙතත් මෙම ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉතා දීර්ඝ කාලයක සිටම මෙම ප්‍රාන්ත දෙක අතර ගැටුම් පවතින බවද රහසක් නොවේ. මතෛක් තමිල්නාඩුවට ලැබුණු ජල ප්‍රමාණය පසුගිය දිනවල කිසියම් කප්පාදුවකට ලක්ව තිබිණි. මේ අතර මෙම ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා කාවේරි නදිය සම්බන්ධයෙන්  විශේෂ කළමනාකරණ මණ්ඩලයක් පත් කරන ලෙසද පෙබරවාරි මාසයේ එරට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය. මෙම මණ්ඩලය ස්ථාපිත කළ යුතු වන්නේ මධ්‍යම රජයයි. නමුත් රජය මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීම කල් දමමින් සිටින ආකාරයක් පෙනේ. ඇතැමුන් චෝදනා කරන්නේ කර්ණාටකයේ ප්‍රාන්ත මැතිවරණය ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත නිසා භාරතීය ජනතා පක්ෂ රජය මෙය වුවමනාවෙන්ම කල් දමමින් සිටින බවයි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට කර්ණාටකයේ ඡන්ද වැඩියෙන් දිනාගැනීමේ අරමුණින් රජය මෙම මණ්ඩලය පත් කිරීම කල් දමමින් සිටන බවට චෝදනා නැගේ. ශ්‍රේෂ්ඨාධිකරණයද මේ සම්බන්ධයෙන් රජයට චෝදනා කරමින් සිටියි. ඒ සිය තීන්දුව ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙනි.
මේ අතර තමිල්නාඩුව තුළ අරම්භ කළ සිය දේශපාලන ගමන සඳහා ශක්තිමත් ජන පදනමක්  ඇති කර ගැනීමට රජිනිකාන්ත් සහ කමල් ද මේ දිනවල ලොකු උත්සාහයක් ගනිමින් සිටිති. කාවේරි ජලය මුල් කරගෙන  දැන් ප්‍රාන්තය තුළ මතුව තිබෙන අර්බුදය ඔවුන්ට ඒ සඳහා ද මහඟු අවස්ථාවක් උදා කරදී ඇති බව දැකිය හැකි වෙයි. මේ අවස්ථාවේ ඉහත කී ජනතා ව්‍යාපාරයට සිය දායකත්වය ලබා දීම හරහා ජනතාව අතර වඩාත් ස්ථාවර වීමට ඔවුන්ට ඉඩ විවර වනු ඇත.  
(කමල් සහ රජිනි දෙදෙනාට අමතරව දකුණු ඉන්දියාවේ තවත් ජනප්‍රිය තරුණ නළුවන් දෙදෙනෙකු වන විජේ සහ සූරියා  ඇතුළු සිනමාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ද කාවේරි අරගලයට එක්ව සිටිති).
මේ වනවිට ආරම්භ වී ඇති ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ තරග කිහිපයක් තමිල්නාඩුව තුළ ද පැවැත්වීමට නියමිතව තිබේ. නමුත් මෙම තරගවලට එරෙහිවද මේ වනවිට විරෝධයක් පැන නැගී ඇති අතර රජිනිකාන්ත් ද මෙම විරෝධය සාධාරණීකරණය කරමින් අදහස් දක්වා ඇත. තමිල්නාඩුව තුළ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමක අයි.පී.එල් තරග වැනි උත්සවකාරී අවස්ථාවක් එහි පැවැත්වීම සුදුසු නැති බව ඔහු පවසා තිබිණි. එම නිසා එම තරග මෙහි පැවැත්වීමෙන් වැළකී සිටීමට බලධාරීන්ට හැකි නම් එය වඩාත් සුදුසු වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ. එසේ කළ නොහැකි නම් අඩු තරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් කළු පටි පැළඳ විරෝධය දක්වමින් ක්‍රීඩා කිරීමටවත් පියවර ගන්නැයි රජිනි ඉල්ලීමක් කර ඇත. මේ සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, අයි.පී.එල් බලධාරීන් මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන්ද අනුග්‍රහය දක්වන්නේ නම් සුදුසු බවද රජිනිකාන්ත් ප්‍රකාශ කර තිබේ. තරග නැරඹීමට එන ක්‍රිඩා ලෝලීන්ගෙන්ද ඔහු ඉල්ලීමක් කර ඇත්තේ කළු ඇඳුමින් සැරසී පැමිණ ජනතාවගේ අරගලයට සහය ප්‍රකාශ කරන ලෙසයි. මේ අතර අයි.පී.එල් තරග වර්ජනය කරන ලෙස ද කාවේරි අරගලයට  එක්ව සිටින තවත් කණ්ඩායම් ඉල්ලා තිබෙනු දැකිය හැකි වෙයි. අප්‍රේල් 10 සහ මැයි 20 අතර කාලය තුළ මෙම ක්‍රිකට් තරග හතක් තමිල්නාඩුව තුළ පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සටහන ලියන 10 වෙනි දින උදෑසන වනවිට එදින පැවැත්වීමට නියමිතව තිබූ තරගය වෙනුවෙන් 2000ක  පමණ ආරක්ෂක බලඇණියක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර රතිඤ්ඤා, ගිනි ගන්නා සුළු දේ, ගමන් මළු, ජංගම දුරකථන ආදිය ක්‍රීඩාංගනයට ගෙන ඒමද තහනම් කර තිබිණි. 
රජිනිකාන්ත් සහ කමල් හසන් නිල වශයෙන් දේශපාලනයට පිවිසුණේ මාස කිහිපයකට පෙර ය. කමල් පෙබරවාරි මාසයේ සිය පක්ෂය දියත් කළ අතර එය හැඳින්වෙන්නේ ‘’මක්කල් නීති මයියාම්’’ වශයෙනි. එහි තේරුම යුක්තිය පිළිබඳ මහජන කේන්ද්‍රය යන්නයි. ඒ අතර රජිනිකාන්ත්  ‘’රජිනි මක්කල් මන්ද්‍රම්’’ නැමැති සංවිධානයක් හරහා සිය දේශපාලන කටයුතු දියත් කර තිබේ. මෙය ඔහුගේ පක්ෂයේ නිල නාමය වනු ඇත්ද යන්න තවමත් ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ මෙහෙයුමක් සඳහා කටයුතු සිදුවෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබිණි.
කාවේරි ප්‍රශ්නයේදී ඔවුන් දෙදෙනා මේ ආකාරයෙන් එක පෙරමුණේ සටන් කරමින් සිටියත් ඔවුන්ගේ ඇතැම් දේශපාලන අදහස් එතරම් ගැළපෙන ආකාරයක් දක්නට නොලැබේ. රජිනි කාන්ත් මේ වනවිට ඉන්දියාවේ ආණ්ඩු බලය හොබවන, නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට සහය දෙනු ඇති බවටද පසුගිය කාලයේ මත පළවී තිබිණි. භාරතීය ජනතා පක්ෂය යම් දුරකට හින්දුවාදී මතවාදයක් දරණ පක්ෂයක් බව රහසක් නොවේ. නමුත් කමල් හසන් හින්දුවාදයට, ජාතිවාදයට එතරම් කැමැත්තක් දක්වන්නෙකු නොවේ. ඔහු තරමක් දුරට වාමාංශික අදහස්වලට නැඹුරු ගතියක්ද දක්නට ලැබේ. කේරළ ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරන, මාක්ස්වාදියෙකු ලෙස සැලකෙන පිනරායි විජයන් වැනි නායකයන් ඔහුගේ සමීප දේශපාලන මිතුරන් බවට පත්ව සිටින ආකාරයක්ද පෙනේ.
කෙසේ හෝ වේවා කමල් සහ රජිනි දෙදෙනාම තමිල්නාඩුව තුළ පැතිර ඇති වංචා දූෂණ ඇතුළු ජනතාව පෙළන බොහෝ සමාජ ප්‍රශ්නවලට එරෙහිව එකම ආකාරයෙන් හඬ නගන ආකාරය මේ වනවිට දැකිය හැකි වෙයි. වංචාව දූෂණය අතුගා දමා පිරිසිදු දේශපාලන සංස්කෘතියක් තමිල්නාඩුව තුළ ඇති කිරීම තම ලොකුම අරමුණක් බව ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කරමින් සිටිති.  තමිල්නාඩුවේ මීළඟ ප්‍රාන්ත මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇති අතර රජිනි සහ කමල් දෙදෙනාම ඒ සඳහා තරග කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එවැන්නක් සිදු වුවහොත් මෙම සුපිරි සිනමා වීරයින් දෙදෙනා අතර දේශපාලන ‍පොරපිටියේ කවර ආකාරයේ තරගයක් ඇති වනු ඇත්ද යන්න කාගේත් අවධානය, කුතුහලය යොමු වන කාරණයක් වනු ඇත. 
 
නිහාල් පීරිස්

Comments  

0 #1 Saman 2018-04-12 14:56
Kotiyaaa
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1097

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2204

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.