Coss Ear2
lakbima.lk
COSS Ear 1

වසර 24 ක සිර දඬුවම් නියම වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය වූ පාර්ක් ගුන්-හේ වෙත වසර 24 ක සිරදඬුවමක් නියම කිරීම  පසුගිය 06 වෙනි දා ලොව පුරා මහත් අවධානයක්  දිනාගත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. 2013 පෙබරවාරි 25 වෙනි  දින සිට 2017 මාර්තු 10 වෙනි දින දක්වා දකුණු කොරියාව පාලනය කළ ඇය මෙම දඬුවමට ලක් වූයේ ඇයට එරෙහිව එල්ල වූ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් පසුවය. 66 වෙනි වියේ පසුවන පාර්ක් ගුන්-හේ ට එරෙහිව එල්ල වූ චෝදනා හේතුවෙන් රට පුරා ඇයට එරෙහිව විශාල විරෝධයක් එල්ල වන්නට පටන් ගත් අතර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ දෝෂාභියෝගයකින් පසු ඇය පසුගිය වසරේ ජනාධිපති  ධුරයෙන්ද ඉවත් කෙරිණි. ඒ සමගම වාගේ ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. හිටපු ජනාධිපතිනියට එරෙහිව චෝදනා 18 ක් ඉදිරිපත් වූයේය.  එයින් 16 කටම ඇය වැරදිකාරිය ලෙස අධිකරණය විසින් තීන්දු කරන ලදී. ඒ අතරින් බහුතරය අල්ලස් ගැනීම සහ බලය අයුතු ලෙස භාවිත කරමින් බලහත්කාරය යෙදවීම හා සම්බන්ධය. ඉහත කී සිර දඬුවමට අමතරව වොන් බිලියන 18 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක) දඩයක්ද ඇයට නියම කරන ලදී. 
මෙම චෝදනාවලට ඈඳී සිටි තවත් ප්‍රධාන චරිතයක් විය. එනම් පාර්ක් ගුන්-හේ ගේ සමීපතම මිතුරියක ලෙස සැලකුණු චොයි සුන්-සිල් ය. මේ දෙදෙනා ළමා වියේ සිටම මිතුරියන්ව සිටි දෙදෙනෙකි. ඔවුන් අතර කෙතරම් සමීප සම්බන්ධයක් පැවැතියාදැයි කියතොත් රජයේ  රහසිගත ලියකියවිලි පවා පරිහරණය කිරීමට චෝයි සුන්-සිල් ට හැකියාව තිබූ බව පැවසිණි. එපමණක් නොව රජයේ ඇතැම් තීරණවලට පවා ඇයට බලපෑම් කළ හැකිව තිබූ බව පැවැසේ. නමුත් චෝයි සුන්-සිල් රජයේ කිසිදු තනතුරක් දැරූ තැනැත්තියක නොවේ. ඇය හිටපු ජනාධිපතිනිය සමග පැවැති සබඳතා ප්‍රයෝජනයට ගනිමින් දකුණු කොරියාවේ දැවැන්ත සමාගම්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇති බව සඳහන් වෙයි. හිටපු ජනාධිපතිනියද මෙහිදී සිය මිතුරිය සමග සම්බන්ධ වී කටයුතු කර ඇති බවට චෝදනා එල්ල විය. මෙසේ මුදල් ලබාගෙන ඇතැයි පැවසෙන්නේ චොයි සුන්-සිල් විසින් පවත්වා ගෙන යන ලද ඇතැම් ආයතන ආදිය සඳහාය. එමෙන්ම චෝයිට අයත් සමාගම්වලට වාසිදායක වූ ගිවිසුම්වලට එළැඹීම සඳහා පාර්ක් ගුන්-හේ සමහර සමාගම්වලට බල කර ඇති බවද මෙහිදී එල්ල වූ තවත් චෝදනාවකි. එමෙන්ම චෝයි සුන්-සිල් ට සහ ඇගේ දියණියට වටිනා ත්‍යාග ලබා දෙන ලෙසද ඇය බල කර ඇතැයි පැවසිණි. මෙම ඇතැම් සමාගම්වල ඉහළම විධායක නිලධාරීන් පවා මෙයට ඉහත මීට අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. 
චෝයි සුන්-සිල්ද අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිවද නඩු විභාගයක් පැවැත්විණි. මේ වසර මුලදී එහි තීන්දුව ප්‍රකාශ කෙරුණු අතර ඇයටද එහිදී වසර 20ක සිර දඬුවමක් නියම විය.
පාර්ක් ගුන්-හේට අදාළ  චෝදනා මුලින්ම කරළියට පැමිණි අවස්ථාවේ ඒවාට එරෙහිව විශාල මහජන විරෝධයක් පැන නැගුණි. ජනතාව වීදි බැස, ජනාධිපතිනිය ඉවත් විය යුතු බව පවසමින් විරෝධතා පවත්වන්නට වූහ. 
පසුගිය 6 වෙනිදා, ඇයට එරෙහිව පැවැති නඩු විභාගයේ  තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාව සජීවිව රූපවාහිනිය ඔස්සේද විකාශය කෙරිණි. නමුත් හිටපු ජනාධිපතිනිය එම අවස්ථාවේ අධිකරණය තුළ නොසිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇය දිගටම මෙම නඩු විභාගයට විරෝධය දැක් වූ අතර අධිකරණය  තමා සම්බන්ධයෙන් අගතිගාමී ස්ථාවරයක සිටින බවටද චෝදනා නැගුවාය. පාර්ක් ගුන්-හේ සඳහන් කර ඇත්තේ තමා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ලබන සිකුරාදා දක්වා ඇයට ඒ සඳහා කාලය තිබේ. ඇයට එරෙහිව තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා  පවසා ඇත්තේ රට තුළ විශාල ව්‍යාකූලත්වයක් ඇති කරන ආකාරයෙන් කටයුතු කිරීමෙන් පසුව පවා හිටපු ජනාධිපතිනිය ඒ සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් පෙන්නුම් කර නැති බවයි. 
පාර්ක් ගුන්-හේ මෙවැනි කනගාටුදායක ඉරණමකට මුහුණ දුන්නද ඇය ඉතා ගෞරවාන්විත ලෙස ඉතිහාස ගත වීමට හැකියාව තිබූ නායිකාවකි. ඇය දකුණු කොරියාවේ  ජනාධිපති ධුරයට පත් ප්‍රථම කාන්තාව වීමද ඊට ප්‍රධාන හේතුවකි. ඇය එම පදවියට පත් වූයේ 2012 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගනිමිනි. එම ජනාධිපතිවරණයේදී  ඇගේ ප්‍රතිවාදියා වූයේ වත්මන් ජනාධිපති මූන් ජේ- ඉන් ය. තියුණු තරගයකින් පසු ඔහු පරදවා ජනපති අසුනට පත්වීමට පාර්ක් ගුන්-හේ සමත් වූවාය. ඒ වනවිට ඇය භුක්ති විඳිමින් සිටි ජනප්‍රියත්වය පිළිබඳ සැලකීමේදී දැන් ඇය පත්ව සිටින තත්ත්වය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමටත් අපහසු වී ඇති බව පෙනේ. ස්ත්‍රී-පුරුෂ වෙනස තීරණාත්මක සාධකයක් වන දකුණු කොරියාවේ කාන්තාවක  ජනාධිපති පදවියට පත්වීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකිණි. 
ඇයගේ පියා පාර්ක් චුන්-හී ද දකුණු කොරියාවේ ජනාධිපති ධුරය හෙබ වූ කෙනෙකි. ඔහු 1963 සිට 1979 දක්වා වසර 16 ක්ම එරට පාලනය කළේය. 1974  එරට ජාතික දින උත්සවය අවස්ථාවේ  ඔහු ඝාතනය කිරීමට තැත් කෙරුණු අතර එහි දී ඇති වූ වෙඩි තැබිමෙන් අවසානයේ  ඔහුගේ බිරිඳ වූ යුක් යං-සූ මරණයට පත් වූවාය. මෙම වෙඩි තැබිම සම්බන්ධයෙන්  චෝදනා එල්ල වූයේ උතුරු කොරියානු ජාතිකයෙකුට යි. එයින් වසර පහකට පසු 1979 දී පාර්ක් චුන්-හීද ඝාතනයට ලක් විය. 
දකුණු කොරියානු නායකයෙකු මෙවැනි වංචා දූෂණ චෝදනාවකට ලක් වූ පළමු වතාව මෙය නොවේ.  තවත් හිටපු ජනාධිපතිවරයෙකු වූ රෝ මූ-හූන් ට එරෙහිව කලකට පෙර මෙවැනිම විමර්ශනයක් දියත් වූ අතර එය සිදුවෙමින් තිබියදී ඔහු සිය දිවි නසා ගැනීම විශාල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. 
කෙසේ වෙතත් පාර්ක් 
ගුන්-හේ ට හිතවත් විශාල පිරිසක්ද දකුණු කොරියාවේ සිටිති. ඔවුන් මේ වනවිටත්, ඇය නිදහස් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කිරීමට පටන්ගෙන ඇති බව පෙනේ. 
 
නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1101

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.